ස.ජ.බ.යට එරෙහිව ඩයනාගේ පෙත්සමක් විභාගයට ගැනීමට දින නියම වෙයි

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබෙනවා.

අදාළ පෙත්සම ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අදාළ පෙත්සම ජුනි මස 8 වනදා විභාගයට ගැනීමට දින නියම කර ඇති බවයි සඳහන් වන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධනයට සහාය පළකළේ යැයි චෝදනා කරමින් වගඋත්තරකරුවන් තමන්ව මන්ත්‍රි ධූරයෙන් නෙරපීමට කටයුතු කරමින් ඇති බවත්, එම තීරණයට එළඹීමට පෙර වගඋත්තරකරුවන් කිසිදු සාධාරණ විනය පරීක්ෂණයක් ලබාදීමට කටයුතු නොකළ බවත් ඇය පෙන්වා දෙනවා.

ඒ අනුව සිය මන්ත්‍රී ධුරය අහිමි කිරීමට වගඋත්තරකරුවන් ගෙන තිබෙන තීරණය නීතියට පටහැනි යැයි තීන්දු කොට, එය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් සිය පෙත්සමෙන් රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

මැතිවරණයට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයින් යළි සේවයේ පිහිටුවීමට අදාළ නිර්දේශ ලබාදෙයි

පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින රාජ්‍ය සේවකයින් යළි සේවයේ පිහිටුවීමට අදාළ නිර්දේශ ලබාදී ඇති බව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.

ඒ අනුව ඡන්දයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ට සිය ඡන්ද කොට්ඨාසයෙන් බාහිර වෙනත් ප්‍රදේශයක තාවකාලිකව රාජකාරි කටයුතු ආරම්භ කිරීමට අවස්ථාව ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන්ට අදාළ වැටුප් සහ දීමනා ගෙවීමටද නිර්දේශ ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර වැඩිදුරටත් සඳහන් කළා.

සමගි ජන බලවේගයේ මැයි දින රැලිය ගුණසිංහපුර දී ඇරඹෙයි

සමගි ජනබලවේගයේ මැයි පෙලපාලිය මෙවර මාලිගාවත්ත පී.ඩී සිරිසේන ක්‍රීඩාංගණයෙන් ආරම්භ වූ අතර ගුණසිංහපුර ඒ.ඊ ගුණසිංහ ක්‍රීඩාංගණයේ දී මැයි දින රැළිය මේ වන විට පැවැත්වෙනවා.

සමගි ජනබලවේගයේ මෙවර මැයි දිනය “වැඩබිමෙන් ඇරඹෙන මව්බිමේ අරගලය” ලෙස නම් කොට තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණේ රතු මැයි රැලිය ඇරඹේ

මෙවර ජනතා විමුක්ති පෙරමුණේ “රතු මැයි රැලිය” විහාර මහාදේවී උද්‍යානය ඉදිරිපිට දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඊට සමගාමීව පවත්වනු ලබන මැයි දින පෙළපාලියද මීට සුළු මොහොතකට පෙර කොළඹ කොළඹ BRC පිටිය අසලින් ආරම්භ වුණා.

නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

IMF ගිවිසුම ගැ​න පාර්ලිමේන්තු විවාදය අද දෙවන දිනටත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතා ගිවිසුම සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය අද (27) දෙවන දිනටත් පැවැත්වෙනවා.

ඒ අනුව එම විවාදය ඊයේ (26) ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවේදී ආරම්භ කළා.

මේ සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම හෙට (28) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

සමගි ජන බලවේගයෙන් විනය කමිටුවක්

පක්ෂය තුළ සිටිමින් පක්ෂය විවේචනය කරන පිරිස් සඳහා පියවර ගැනීමට විනය කමිටුවක් පත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (24) පැවති එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි එම පක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහන් කළේ.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් සඳහන් කළේ, පක්ෂය තුළ සිට වෙනත් පක්ෂ සඳහා සහයෝගය දක්වා ප්‍රකාශ නිකුත් කරන අයෙක් සිටීනම් ඔහුට එරෙහිව විනය පියවර ගැනීමට තීරණය කළ බවයි.

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (25) රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තුව අද පෙ.ව. 9.30 ට රැස්වන අතර පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කර ඇති බවයි සඳහන් වන්නේ.

පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනත යටතේ 2023 ජනවාරි 30 දිනැති අංක 2317/28 ගැසට් පත්‍රයේ පළ කළ නියමය විවාදයට ගැනීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අද

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අද (24) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ එම රැස්වීම පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සඳහන් කළේ.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතා සම්බන්ධයෙන් පැවැත්වෙන විවාදය හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

පොහොට්ටුවේ මහ සභා රැස්වීම නීත්‍යානුකූල නැහැ – ජී.එල්

ඊයේ (22) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ සභා රැස්වීම කිසිසේත් නීත්‍යානුකූල නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා.

ඒ අනුව එම රැස්වීමේ ගන්නා ලද සියලු තීරණ ශුන්‍ය හා ක්‍රියාවිරහිත වන අතර, ඒවාට කිසිම වලංගු භාවයක් අයත් නොවන බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ.

එම තීරණ නීතිවිරෝධී බවට ප්‍රකාශ කිරීම සඳහා සුදුසු අධිකරණ ක්‍රියාමාර්ගවලට අවතීරණ වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් වැඩිදුරටත් සඳහන් කරන්නේ.