භාණ්ඩාගාර බැඳුම්කර මගින් ණය ප්‍රමාණය වැඩි කිරීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට

භාණ්ඩාගාර බැඳුම්කර මගින් දේශීය වශයෙන් ලබාගන්නා ණය ප්‍රමාණය වැඩි කිරීමට අදාළ යෝජනාව අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

ඒ අනුව රාජ්‍ය මුදල් කාරක සභාවේ වැඩ බලන සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන ඊට අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් විපක්ෂයෙන් දැඩි විරෝධයක් එල්ලවී තිබෙනවා.

කෙසේ නමුත් ආණ්ඩු පක්ෂය සඳහන් කරන්නේ මේ සඳහා අනුමැතිය ලබාදීම නීත්‍යානුකූලව සිදුව ඇති බවයි.

පළාත් පාලන මැතිවරණයට එරෙහි පෙත්සම සලකාබැලීම කල් යයි

පළාත් පාලන මැතිවරණයට එරෙහිව විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයෙකු වන ඩබ්ලිව්. එම්. ආර්. විජේසුන්දර විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම සලකා බැලීම සැප්තැම්බර් මස 04 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

එම පෙත්සම අද (11) ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

එහිදී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, මේ අවස්ථාව වන විට පළාත් පාලන ඡන්ද විමසීම සඳහා තම සේවාදායකයින් විසින් දිනයක් නියම කර නොමැති බවයි.

මැතිවරණය පැවැත්වීම සඳහා භාණ්ඩාගාරය විසින් මුදල් නිකුත් කරන අවස්ථාවක හෝ අදාළ ඡන්ද විමසීම පවත්වන ලෙස අධිකරණය විසින් නියෝගයක් නිකුත් කරන අවස්ථාවක හෝ අදාළ ඡන්ද විමසීම පැවැත්වීම සඳහා දිනයක් නියම කරන බව තේරීම් භාර නිලධාරීන් විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇති බවයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් දැනුම්දී තිබුණේ.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැන විවාදය අද ආරම්භ වෙයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සිදුවූ පරිසර හානිය සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය අද (10) ආරම්භ වනවා.

ඒ අනුව විපක්ෂය විසින් ගෙන එන සභාව කල් තැබීමේ යෝජනාවක් අනුව මෙම විවාදය පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

අදාළ විවාදය අද (10) සහ හෙට (11) පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ටෙලිකොම් කොටස් විකිණීම සම්බන්ධයෙන් මුදල් ලේකම්වරයාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක්

ජුනි මස 15 වනදා වන තෙක් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජයට අයත් කොටස් විකිණීම සිදු නොකරන බව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබාදී තිබෙනවා.

ඒ අනුව මෙම කොටස් පැවරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල බවයි මුදල් අමාත්‍යාංශ ලේකම් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා තිබෙන්නේ

ටෙලිකොම් ආයතනයේ කොටස් පැවරීමට එරෙහිව ටෙලිකොම් වෘත්තිය සමිති ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු විසින් ඉදිරිපත්කළ පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

පක්ෂය සඳහා සේවයක් කළ, දූෂණ චෝදනා නැති පිරිසක් ආණ්ඩුකාරවරුන් ලෙස පත් කරාවි – නවීන් දිසානායක

පක්ෂය සඳහා විශාල සේවයක් කළ, දූෂණ චෝදනා නොමැති පිරිසක් ආණ්ඩුකාරවරුන් ලෙස ජනාධිපතිවරයා විසින් පත් කරනු ඇති බව හිටපු අමාත්‍ය නවීන් දිසානායක පවසනවා.

ඒ අනුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි එම පත් කිරීම් සිදුකරනු ඇති බවයි.

එසේම ජනාධිපතිවරයා විසින් දේශපාලනයක් සිදු නොකරන බවත්, ජනාධිපතිවරයා විසින් සිදු කරන්නේ රටේ ස්ථාවරභාවය ආරක්ෂා කිරීම බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ආණ්ඩුකාර ධූරවල වෙනසක් සිදුවිය හැකි බවට පසුගිය දිනවල දේශපාලඥයින් විසින් විවිධ ප්‍රකාශ සිදුකර තිබුණා.

විපක්ෂයේ දේශපාලන පක්ෂ අතර අද විශේෂ සාකච්ඡාවක්

විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් අතර විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී එම සාකච්ඡාව අද (08) පෙරවරුවේ පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව විපක්ෂයේ දේශපාලන පක්ෂ එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙහිදි අවදානය යොමුකිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පත්කෙරේ

වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පත් කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකයට සහභාගි වීම සඳහා එංගලන්තය බලා පිටත්ව යාම හේතුවෙන් මෙම පත් කිරීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

19579f18276e595336dff7a55967eb51

ශෙහාන් සේමසිංහ වැඩබලන මුදල් ඇමති ලෙස පත් කෙරේ

වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පත්කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකයට සහභාගි වීම සඳහා එංගලන්තය බලා පිටත්ව යාම හේතුවෙන් මෙම පත් කිරීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව ජනාධිපතිවරයාගේ එංගලන්ත සංචාරය නිමාකර දිවයිනට පැමිණෙන තෙක් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමට නියමිතයි.

අලි සබ්රි ඉන්දීය මුදල් අමාත්‍යවරිය හමුවෙයි

විදේශ අමාත්‍ය අලි සබ්රි කොරියාවේ සෝල් නුවරදී ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් හමුවී තිබෙනවා.

ආසියානු සංවර්ධන බැංකුවේ 56 වැනි වාර්ෂික රැස්වීමට සමගාමීව මෙම හමුව සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

එහිදී දෙරටේ ජනතාවගේ අභිවෘද්ධිය සඳහා ද්විපාර්ශ්වික සබඳතා සහ ආර්ථික හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කර ඇති බව සඳහන්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (03) රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව දැනට පත්කර නොමැති කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත් කිරීම මෙම සතිය තුළ අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කළේ.

රාජ්‍ය සේවා කොමිසම, ප්‍රසම්පාදන කොමිසම සහ විගණන සේවා කොමිසම සඳහා සාමාජිකයන් පත් කිරීම අවසන් කර ඇති බවයි සඳහන් වන්නේ.

ජාතික පොලිස් කොමිසම, මානව හිමිකම් කොමිසම, අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම, මුදල් කොමිසම, අධිකරණ සේවා කොමිසම, හා සීමා නීර්ණ කොමිසම සඳහා තවදුරටත් සාමාජිකයන් පත් කිරීමට නියමිත බවත් කෙසේ නමුත් මැතිවරණ කොමිසම සඳහා සාමාජිකයන් පත් කිරීම ගැන අවසන් තීරණයක් ගෙන නොමැති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.