අද විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක්

අද (28) දිනයේ විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව විදේශීය මෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා එහිදී කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ.

මේ අතර ජුලි 01 වන සෙනසුරාදා පාර්ලිමේන්තුව රැස්වීමට අදාළ විශේෂ ගැසට් නිවේදනයක් කථානායකවරයා විසින් නිකුත් කර තිබෙනවා.

දේශීය ණය කපා හැරීමක් සඳහා සමගි ජන බලවේගය 100% ක් විරුද්ධයි – හර්ෂ

දේශීය ණය කපා හැරීමක් සඳහා සමගි ජන බලවේගය 100% ක් විරුද්ධ බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

ඒ අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදුකළ යුතු නම් එය සිදුකළ යුතු ආකාරය සම්බන්ධයෙන් වන අදහස් තම පක්ෂය විසින් ඉදිරිපත් කර තිබූ බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ණය කපා හැරීමකින් තොරව යම් ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදුකරනවා නම් රජය ලබාගත් ණය ඒ ආකාරයෙන්ම ගෙවිය යුතු බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

කෙසේ නමුත් රජයේ යෝජනාව සම්බන්ධයෙන් තවමත් නොදන්නා බවත්, එය අද දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට හෙට දිනයේ ඉදිරිපත් කරනු ඇති බවත්, එම යෝජනාවලිය ප්‍රකාරව සාකච්ඡා කිරීමට සූදානමින් සිටින බවයි ආචාර්ය හර්ෂ ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළේ.

ජනපති හා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අතර හෙට සාකච්ඡාවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හෙට (28) දිනයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව හෙට පස්වරු 5.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී අදාළ සාකච්ඡාවට පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

අයවැය කාර්යාල පනත් කෙටුම්පත සම්මත වෙයි

පාර්ලිමේන්තු අයවැය කාර්යාල පනත් කෙටුම්පත තෙවැනිවර කියවීම අද (20) පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා.

ඒ අනුව කාරක සභා අවස්ථාවේදී සංශෝධන සහිතව පනත් කෙටුම්පත සම්මත කරගත් බවයි කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ.

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (20) සිට 23 වනදා දක්වා රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද දිනයේ 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයද අද පැවැත්වීමට නියමිතයි.

ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය ගෙනෙන යෝජනාවකට අනුව සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

නවීන් දිසානායක සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කෙරේ

හිටපු අමාත්‍යවරයෙකු වන නවීන් දිසානායක මීට සුළු මොහොතකට පෙර සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කර තිබෙනවා.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් අදාළ පත් කිරීම සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මැතිවරණ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය

මැතිවරණ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

විවිධ කමිටු විසින් ලබාදුන් නිර්දේශ අනුව මැතිවරණ නීති වෙනස් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් අනුමැතීන් ලබාදී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළා.

ඒ අනුව මැතිවරණයට අදාළ පනත් කෙටුම්පත් කිහිපයක් සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් අනුමැතිය ලබාදී ඇති බවත්, විටින් විට මැතිවරණ නීති සංශෝධනය කිරීම වෙනුවට මැතිවරණ විශේෂ විධිවිධාන පනත නමින් නව පනතක් හඳුන්වා දී එයට මෙම සංශෝධන සියල්ල ඇතුළත් කිරීමට ජනාධිපතිවරයා යෝජනා කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව නව කෙටුම්පතක් සකස් කරන නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිවී ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

නවීන් දිසානායකට ලබන සතියේ ආණ්ඩුකාර ධූරයක් හිමිවීමට නියමිතයි – රුවන් විජේවර්ධන

හිටපු අමාත්‍යවරයෙකු වන නවීන් දිසානායකට ලබන සතිය තුළ දී ආණ්ඩුකාර ධුරයක් ලබාදීමට නියමිතව ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පවසනවා.

ඒ අනුව ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමින් රුවන් විජේවර්ධන මේ බව සඳහන් කළා.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ලබන අඟහරුවාදා දිනයේ ඔහුට එම ධූරය හිමිවනු ඇති බවයි.

පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගය අද සිට විරෝධතා ආරම්භ කරයි

ජාතික ජන බලවේගය විසින් උද්ඝෝෂණ මාලාවක් අද (08) සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව ‍”ජනමතයට ඉඩදෙනු – පළාත් පාලන මැතිවරණය වහා පවත්වනු” යන මැයෙන් මෙම විරෝධතා සංවිධානය කර ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සඳහන් කළේ.
අද රාජගිරිය මැතිවරණ කොමිසම ඉදිරිපිට පැවැත්වෙන එම උද්ඝෝෂණය සදහා ජාතික ජනබලවේගය නියෝජන කරමින් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී සිටින සියලු අපේක්ෂකයින් සහභාගී වීමට නියමිතයි.

පොලිස් රාජකාරියට බාධා කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් අත්අඩංගුවට

පොලිස් රාජකාරීයට බාධා කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් කොළඹ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගියදා වඩමාරච්චි ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයක් අසලදී පොලිස් නිලධාරීන් පිරිසක් අතර ඇති කරගත් ආරවුල සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.