ලබන අවුරුද්දේ ඔක්තෝම්බර් වෙනකොට අපේ රටේ තියෙන්නේ අලුත් ආණ්ඩුවක්, අලුත් පාලනයක් – අනු​ර

ආණ්ඩු පෙරළියක් සිදුවන මැතිවරණ වැළැක්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශාල උත්සහයක් දරමින් සිටියද එය වැළැක්වීමට ඔහුට නොහැකි වන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

මේ වන විට මහජනතාව ඉවසාගත නොහැකි තරමට පීඩාවට පත් වී ඇති බවද, ඔවුන් තවදුරටත් ඉවසා සිටින්නේ ලබන වසරේ ජාතික ඡන්දයට තව ඇත්තේ කෙටි කාලයක් බැවින්, එහිදී තම වැඩ පෙන්වීමේ බලාපොරොත්තුවෙන් බවද ඔහු පෙන්වා දෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඡන්දය නොතියා බලයේ සිටීමට උත්සාහ කළහොත්, ව්‍යවස්ථානුකූලව ඔහුට බලයේ සිටිය හැකි කාලයවත් ඔහුට සිටිය නොහැකි වනු ඇති බවද, ඔහු ගෝඨාභය 02 බවට පත්වනු ඇති බවද ඔහු අවධාරණය කරනවා.

පවතින ව්‍යවස්ථාව අනුව ලබන වසරේ අගෝස්තු මාසයේදී මැතිවරණය ප්‍රකාශයට පත්කළ යුතු බවද, එමනිසා ඔවුන් කුමන උත්සාහ දැරුවද ලබන වසරේ ඔක්තෝබර් මාසය වන විට මෙරට අලුත් ආණ්ඩුවක් සහ අලුත් පාලනයක් ඇති වන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමති ධූරයෙන් ඉවත​ට

සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙන් කෙහෙළිය රඹුක්වැල්ල ඉවත්කර ඇති අතර ඔහු පරිසර අමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබෙනවා.

ඒ අනුව වෛද්‍ය රමේෂ් පතිරණ නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කර ඇති අතර ඔහු කර්මාන්ත අමාත්‍යවරයා ලෙසද කටයුතු කරනවා.

මීට අමතරව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරය සඳහා මහින්ද අමරවීර පත්කර ඇති අතර දැනට මුදල් රාජ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කරන රංජිත් සියඹලාපිටිය කැබිනට් නොවන වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස පත්කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඊශ්‍රායල ගාසා යුධ ගැටුම ගැන පාර්ලිමේන්තු විවාදය අද

ගාසා යුධ ගැටුම්වලට සාමකාමි විසදුම් සඳහා ක්ෂණික මැදිහත්වීමක් සිදුකරන ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් ඉල්ලීමක් කිරීම සඳහා වන කල්තැබීමේ විවාදයක් අද (20) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා එම කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සංනිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කඩිනම් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන ලෙස සියලු පාර්ශවයන්ගෙන් මෙහිදී ඉල්ලීමක් කිරීමටද නියමිතයි.

අජිත් මාන්නප්පෙරුමට සති 4 ක පාර්ලිමේන්තු තහනමක්

අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු සේවය සති හතරකට අත්හිටුවීමට කතානායකවරයා තීරණය කර තිබෙනවා.

ඒ මීට සුළු මොහොතකට පෙර පාර්ලිමන්තුවේ ඇතිවූ උණුසුම් තත්ත්වය අතරතුර සෙංකෝලය ස්පර්ශ කිරීම හේතුවෙන් බවයි කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

පාර්ලිමේන්තුව විනාඩි 10 කට කල් තබයි

පාර්ලිමේන්තුව මිනිත්තු 10 කට කල් තැබීමට කතානායකවරයා තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ඇතිවූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් මෙලෙස සභාව කල් තැබීමට කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.

අලි සහීර් මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

අලි සහීර් මවුලානා මහතා මන්ත්‍රී ධුරයේ දිවුරුම්දීම කතානායකවරයා ඉදිරියේදී මීට සුළු මොහොතකට පෙර සිදු වුණා.

නසීර් අහමඩ්ගෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අලි සහීර් මවුලානා තෝරාගෙන තිබුණා.

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (17) උදෑසන 9.30 ට කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් කළ වැඩසටහනේ එල්ල කර ඇති චෝදනා විමර්ශනයට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන්නැයි වූ යෝජනාවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අදාළ යෝජනාව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ඉදිරිපත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

වැඩබලන අමාත්‍යවරු පස් දෙනෙක් පත් කෙරේ

ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටින කාලසීමාව තුළ ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යංශ කිහිපයකට වැඩබලන අමාත්‍යවරුන් පත්කර තිබෙනවා.

ඒ අනුව වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පත්කර ඇති අතර වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස රංජිත් සියඹලාපිටිය පත්කර ඇති බවයි සඳහන් වන්නේ.

එසේම වැඩබලන තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස කනක හේරත් පත්කර ඇති අතර වැඩබලන කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් සහ වැඩබලන පරිසර අමාත්‍යවරිය ලෙස පවිත්‍රා වන්නිආරච්චි පත්කර තිබෙනවා.

වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස ශෙහාන් සේමසිංහ පත් කෙරේ

මුදල් අමාත්‍ය ධුරයේ රාජකාරී ආවරණය කිරීම සඳහා වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පත්කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජර්මනියේ නිල සංචාරය නිමාවී නැවත දිවයිනට පැමිණෙන තෙක් මෙය බල පැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

පළාත් පාලන මැතිවරණයට භාරදුන් නාමයෝජනා අවලංගු කිරීමට ඒකමතික එකඟතාවක්

පළාත් පාලන මැතිවරණය සඳහා භාරදුන් නාමයෝජනා අවලංගු කිරීමට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ඒකමතික එකඟත්වය පළකර තිබෙනවා.

ඒ අනුව අද (21) දින පැවැති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මෙම එකඟතාවයට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.

පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම හේතුවෙන් ඒ සඳහා නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින් අපහසුතාවයට පත්වී ඇති බවත් අර්බුදකාරී තත්ත්වයට පිළියමක් ලෙස එසේ භාරදුන් නාමයෝජනා අවලංගු කිරීමට කටයුතු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.