සියලු දෙනාටම පුළුවන් දැන් ආර්ථිකය විනාශ කරපු අයගෙන් වන්දි ඉල්ලන්න – විපක්ෂ නායක

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නම් කළ කණ්ඩායමට, දැන් සමස්ත සමාජයටම ආර්ථිකය විනාශ කිරීම වෙනුවෙන් වගකියන්නට සිදු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

එබැවින් රටේ සියලු පුරවැසියන්ට දැන් එම කණ්ඩායමෙන් වන්දි ඉල්ලීමේ හැකියාව පවතින බවයි ඔහු පෙන්වා දුන්නේ.

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් රටේ ආර්ථිකය අර්බුදයට වගකිව යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව ගැන අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.

පාර්ලිමේන්තුවේ ගැටුම ගැන සොයා බැලූ කමිටුවේ වාර්තාව කථානායකවරයාට භාරදෙයි

2023 ඔක්තෝබර් 20 වනදා පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ සිදුවූ සිදුවීම පිළිබඳව සොයාබැලීමට පත් කළ කමිටුවේ වාර්තාව කථානායකවරයාට භාරදී තිබෙනවා.

ඒ අනුව කථානායකවරයා විසින් පත්කරන ලද පාර්ලිමේන්තු කමිටුවේ වාර්තාව කමිටු සභාපති නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා අද (14) කථානායකවරයා වෙත භාරදී ඇති බවයි සඳහන් වන්නේ.

පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඩයනා ගමගේ මන්ත්‍රීවරිය, රෝහණ බණ්ඩාර සහ සුජිත් සංජය පෙරේරා යන මන්ත්‍රීවරුන් අතර ඇතිවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මෙම වාර්තාව මඟින් සඳහන් කර තිබෙනවා.

සටකපට නරි නාඩගමක් වැනි සිල්ලර අයවැයක් – සජිත්

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් “සටකපට නරි නාඩගමක් වැනි සිල්ලර අයවැයක්” ඉදිරිපත් කර රටේ ජනතාව රැවැට්ටවීමට උත්සාහ කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

මෙම අයවැය මාධ්‍ය සංදර්ශනයක් බවටද, රටේ ජනතාව නොමග යැවීම සඳහා උපයෝගී කරගෙන ඇති බවටද අයවැයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා සඳහන් කළා.

වැඩ කරන ජනතාවගේ ජන ජීවිතය ශක්තිමත් කිරීමට මෙවර අයවැය තුළ ඇති සාධනීය වැඩ පිළිවෙළ කුමක්ද සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බවද ඔහු සඳහන් කළා.

මේ සඳහා කවුරුන් රැවටුනත්, රටේ පොදු මහජනතාව මෙම අයවැයට නොරැවටෙන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කළේ.

2024 අයවැයෙන් පැරණි අසාර්ථක ගමනටම නැවතත් අපේ රටත් ආර්ථිකයත් තල්ලු කරනවා – අනුර

රට තුළ ඇතිවී ඇති ගැඹුරු ආර්ථික අර්බුදයන්ට විසඳුම් සොයනවා වෙනුවට පැරණි අසාර්ථක ගමනටම රටත් ආර්ථිකයත් තල්ලු කිරීම ජනාධිපතිවරයාගේ ආර්ථික ගමන වී ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

අයවැයේ මුල් පරිච්ජේදයේ සඳහන්ව තිබුණේ, ජනාධිපතිවරයා සහ ආණ්ඩුව විසින් දීර්ඝ කාලයක් රට පත්කර ඇති ආර්ථික විනාශය සම්බන්ධයෙන් පාපොච්චාරණයක් බවයි අයවැයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

වසර 75 ක් තුළ මාරුවෙන් මාරුවට ඔවුන්ගේ ආර්ථික ගමන වී ඇත්තේ ණය ගැනීම, මුදල් මුද්‍රණය කිරීම හා විකිණීම බවත් නමුත් මෙවර අයවැයෙන් ඉදිරිපත් කර ඇති සමස්ත යොජනාම සමන්විත වී ඇත්තේ, ණය ගැනීම විකිණීම යන මාර්ගයම බවද ඔහු සඳහන් කළා.

අයවැය තුළින් ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 3400 කින් පමණ ඉහළ දැමීම තුළින් ඔහු ඉදිරිපත් කළ ආර්ථික ඛේදවාචකයේ පාපොච්චාරණයේ දිගුවක් අයවැය යෝජනා තුළ සමන්විත වී ඇති බවයි අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කළේ.

ජනාධිපති ඇවිත් ඉන්නේ පොහොට්ටුවේ මුදල් ඇමති විදියට, අපේ ප්‍රතිපත්ති තියෙන්න ඕනේ – නාමල්

මෙවර අයවැය තුළින් ඉදිරිපත් කළ බොහෝ කාරණා ගියවර අයවැය තුළද පැවති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඒ අනුව එකම කාරණය දෙවරක් පැවසීම යනු එය ප්‍රායෝගිකව බිම් මට්ටම තුළ ඉටුවී ඇද්ද නැද්ද යන්න සම්බන්ධයෙන් ගැටලු සහගත බවයි අයවැයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

අයවැය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව තම අදහස් පාර්ලිමේන්තු විවාදයේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැමිණ ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මුදල් අමාත්‍යවරයා ලෙස බවත්, ඒ හේතුවෙන් පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති අයවැය යෝජනා තුළ පැවතිය යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප ඉහළ දැම්මේ රජයට පුළුවන් උපරිම ගාණෙන් – රංජිත් සියඹලාපිටිය

මේ අවස්ථාවේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ දැමීමට කටයුතු කර ඇත්තේ රජයට හැකි උපරිම හැකියාවෙන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

බුද්ධිමත් රාජ්‍ය සේවකයින් මේ සම්බන්ධයෙන් ධනාත්මකව දකිනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි අයවැයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙවර අයවැය තුළින් රාජ්‍ය සේවකයන් හා විශ්‍රාමිකයින් වැටුප් වැඩිවීමක් බලාපොරොත්තු වූ බවත් බදු ගෙවන්නන් බදු වැඩි නොවනු ඇති බවට බලාපොරොත්තු වූ බවත් එම ඉල්ලීම් දෙක තුලනය කිරීමට රජයට විශාල වෙහෙසක් දැරීමට සිදුවූ බවයි රාජ්‍ය අමාත්‍යයවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

හරියටම දැනගත්තා එළැඹෙන වසරේ මැතිවරණය තියෙනවා කියලා – හර්ෂ

ඉදිරි වසරේ මැතිවරණය ඉලක්ක කර ගනිමින් ජනාධිපතිවරයා විසින් විවිධ දේවල් ලබාදීමට මෙවර අයවැය තුළින් කටයුතු කර ඇති බව හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පවසනවා.

රාජ්‍ය සේවකයින් සඳහා රුපියල් 10,000 ක දීමනාවක් ලබාදීමට කටයුතු කර ඇති අතර එය අප්‍රේල් මාසයේ සිට ලැබීමෙන් අදහස් වන්නේ අප්‍රේල් හා ඔක්තෝම්බර් අතර මැතිවරණයක් පැවැත්වෙනු ඇති බවටයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මෙවර අයවැය තුළින් ආර්ථිකය නිවැරදි දිශානතියකට ගමන් කරවීම සඳහා උත්සාහයක් ගෙන ඇති බව පෙනෙන්නට ඇති බවත්, නමුත් එය ක්‍රියාත්මක කළ හැකිද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවද ඔහු සඳහන් කළා.

ණය ගැනීමේ සීමාව විශාල වශයෙන් වැඩි කර ඇති බවත් එම ණය ලබාගන්නේ කෙසේදැයි සම්බන්ධයෙන්ද ගැටලු පවතින බවයි හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

අතුරු පාලක කමිටුව ඉවත් නොකළොත් ක්‍රීඩා නීතිය තමා යටතට ගන්නා බව ජනපති පැවසුවා – ක්‍රීඩා ඇමති

තමා විසින් පත් කළ ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලය ඉවත් කරන ලෙස ජනාධිපතිවරයා දැනුම්දුන් බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

ජනාධිපතිවරයා විසින් තමාව කැඳවා එසේ නොකළහොත් ක්‍රීඩා නීතිය තමා යටතට ගන්නා බවට ප්‍රකාශ කළ බවයි අද (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව තමන් විසින් පත් කළ කමිටුව ඉවත් නොකරන බවත් ක්‍රීඩා නීතිය නොව තමාව ඉවත් කර තීන්දුවක් ගන්නා ලෙස එහිදී තමන් ජනාධිපතිවරයාට ප්‍රකාශ කළ බව ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළා.

එසේම තහනම් නියෝගය පැනවීමත් සමඟ නැවතත් දූෂකයින් පිරිසක් විසින් අද සිට ක්‍රිකට් ආයතනයේ වැඩ බාරගන්නා බවත් වත්මන් ක්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් හෙට (08) දිනයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

එළඹෙන ​යල කන්නයේත් නියඟයක් ඇති විය හැකියි – කෘෂිකර්ම ඇමති

එළඹෙන යල කන්නයේදී ද නියඟයක් ඇති විය හැකි බවට තොරතුරු අනාවරණ වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

පසුගිය කන්නයේ පැවතියටත් වඩා වැඩි නියඟයක් එළඹෙන යල කන්නයේ ඇතිවන බවට වාර්තා වී ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට චර්යා ධර්ම පද්ධතියක් හඳුන්වාදීමට අවධාන​ය

ස්වාධීන පාර්ලිමේන්තු ප්‍රමිති අධිකාරියක් ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ලෝකයේ බොහෝ රටවල මෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වූ චර්යා ධර්ම පද්ධතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ස්වාධීන ආයතනයක් පිහිටුවීමේ අවශ්‍යතාවය හඳුනාගෙන තිබෙන බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

ඒ අනුව එම කාර්යය සඳහා සකස් කරනු ලැබ ඇති මූලික කෙටුම්පත පිළිබඳව කතානායක සහ සියලුම පක්ෂ නායකයන් ගේ අදහස් ලබා ගැනීමටත් අනතුරුව එකී අදහස් සැලකිල්ලට ගනිමින් පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වගවීම, විශ්වාසනීයත්වය, පැහැදිලි භාවය හා වෘත්තීය භාවය පිළිබඳ සහතික වීම, ව්‍යස්ථාදායකයේ සඵලත්වය ආදිය, විනිවිදභාවය සහ සාධාරණත්වය පිළිබඳව මහජන විශ්වාසය ඉහළ නැංවීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් බවයි අදාළ කැබිනට් තීරණයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

65377e7de132d