රත්මලාන දුම්රිය ඩීසල් බලවේග කට්ටල කර්මාන්ත ශාලාව ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව චීන සමාගමකට

ආසියානු සංවර්ධන බැංකු අරමුදල් මඟින් ක්‍රියාත්මක වන දුම්රිය කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ රත්මලාන දුම්රිය ඩීසල් බලවේග කට්ටල කර්මාන්ත ශාලාව සැලසුම් කර ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සඳහා ජාත්‍යන්තර ලංසු කැඳවා තිබෙනවා.

ඒ අනුව ලංසු 09 ක් ඉදිරිපත් වී ඇති අතර ලංසු 02 ක් ප්‍රතික්ෂේප වී ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

ඉතිරි ලංසු 07 ඇගයීමට ලක් කිරීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි සාරානුකූලව ප්‍රතිචාර දක්වන ලද අවම මිල ගණන් ඉදිරිපත් කර ඇති චයිනා සිවිල් ඉංජිනියරින් කන්ස්ට්‍රක්ෂන් සමාගම වෙත එකී කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස කැබිනට් අනුමැතිය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

කල් දැමූ VAT සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඇරඹේ

කල් දැමූ එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත විවාදය අද (11) නැවතත් ආරම්භ කර තිබෙනවා.

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත විවාදය ඊයේ (10) ආරම්භ කළ අතර ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන් පාර්ලිමේන්තුව යළිත් අද දිනය දක්වා කල් දැමීමට කටයුතු කළා.

VAT බදු පනතට ඡන්දය දෙන්න මම එන්නේ නැහැ – නාමල්

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පතට ඡන්දය ලබාදීමට තමා නොපැමිණෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඒ අනුව අසීමිතව වැට් බද්ද වැඩි කිරීමට විරෝධය පළ කරමින් තමන් මෙම තීරණය ගත් බවත් මේ සම්බන්ධයෙන් පක්ෂය ද දැනුවත් කර ඇති බවයි අද (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එම පනතට විරුද්ධව ඡන්දය ලබාදීම පක්ෂයක් ලෙස මෙතෙක් තීරණය කර නොමැති බවත්, සවස් වරුවේ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

VAT විවාදය අතරතුර පාර්ලිමේන්තුවේ ඝන පූර්ණය නැතිවී පාර්ලිමේන්තුව කල් තබයි

අද (10) විවාදය පැවැත්වෙන අවස්ථාවේ පාර්ලිමේතුවේ ඝන පූර්ණය නොමැතිවී ඇති බවට විපක්ෂය විසින් විරෝධතාවක් මතු කළා.

ඒ අනුව මන්ත්‍රීවරුන් කැඳවීමට නියෝජ්‍ය කතානායකවරයා විසින් සීනුව නාද කිරීමට කටයුතු කර අතර පසුව පාර්ලිමේන්තුව හෙට (11) දක්වා කල් තැබීමට කටයුතු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

සජිත් සාටකයක් පැළඳ පාර්ලිමේන්තු එයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ලෝකයට, මැදපෙරදිගට සාමය ප්‍රාර්ථනා කිරීම සඳහා  සුදු සහ කළු පැහැති මෝස්තරයක් සහිත සාටකයක් පැළඳ අද (07) පාර්ලිමේන්තුවට පැමිණ තිබුණා.

ඒ අනුව එම සාටකය පළඳිමින් විපක්ෂ නායකවරයා විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට සහභාගී වූ බවයි සඳහන් වන්නේ.

දෙපැත්තේම සිවිල් ප්‍රජාව කේන්ද්‍ර කර ගත් ප්‍රහාර අප ප්‍රතික්ෂේප කරන බවත් මව්වුවරුන් දරුවන් සිවිල් පුරවැසියන් මිය යෑම ඝාතනය වීම සමූල ඝාතන සංහාර ප්‍රතික්ෂේප කරන අතර ලෝක සාමය ආරක්ෂාව වෙනුවෙන් සැමවිටම පෙනී සිටින බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඩයනා, සුජිත් සහ රෝහණට පැනවූ පාර්ලිමේන්තුව තහනම් කිරීමේ යෝජනාව සම්මත වෙයි

ඩයනා ගමගේ, සුජිත් සංජය සහ රෝහණ බණ්ඩාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට මාසයක කාලයක් සඳහා පාර්ලිමේන්තුව තහනම් කිරීම පිළිබඳ යෝජනාව සභානායක විසින් අද (02) සභාගත කළා.

පසුව මෙම තහනම පිළිබඳ යෝජනාව සඳහා පාර්ලිමේන්තු ඡන්දයක් පැවැත්වුණා.

යෝජනාවට පක්ෂව ඡන්ද 57 ක්ද, විපක්ෂව ඡන්ද එකක් ද ලැබුණු අතර, මන්ත්‍රීවරුන් තිදෙනෙක් යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිටියා.

ඒ අනුව, අදාළ තහනම් යෝජනාව වැඩි ඡන්ද 56කින් සම්මත වී තිබෙනවා.

පාර්ලිමේන්තුවේ සිදුකරන ප්‍රකාශයකට අධිකරණයේ නඩු පැවරිය නොහැකියි – කතානායක

මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ සිදුකරනු ලබන ප්‍රකාශයක් මත අධිකරණය හමුවේ නඩු පැවරිය නොහැකි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.

අද (30) විපක්ෂ නායකවරයා යොමු කළ පැනයකට පිළිතුරු ලබාදෙමින් කතානායකවරයා සඳහන් කළේ, හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට එරෙහිව පනවා ඇති නඩුව වැරදි සහගත බවයි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට එරෙහිව නීතීඥවරයෙක් විසින් ඊයේ (29) අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබුණා.

එළැඹෙ​න මැතිවරණ ගැන සාකච්ඡාවකට එජාප ප්‍රබලයින් අද රැස්වේ

ඉදිරියේදී එළැඹෙන මැතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයින් පිරිසක් අතර සාකච්ඡාවක් අද (27) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

2024 ජනවාරි සිට නව නිලධාරී මණ්ඩලයක් සමග පක්ෂ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවද ඒ අනුව මෙම සාකච්ඡාව තීරණාත්මක සාකච්ඡාවක් වනු ඇති බවද එක්සත් ජාතික පක්ෂය සඳහන් කරනවා.

පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්

පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ප්‍රකාශයක් සිදුකරමින් සිටින අවස්ථාවේ මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මේ හේතුවෙන් පාර්ලිමේන්තුව සුළු මොහොතකට කල් තබා තිබෙනවා.

කාරක සභා රැස්වීම් සඳහා බාහිර පුද්ගලයින් සම්බන්ධ කර ගන්නවා නම්, ලිඛිතව අවසර ගත යුතුයි – කතානායක

පාර්ලිමේන්තුවේ පැවැත්වෙන කාරක සභා රැස්වීම් සඳහා බාහිර පුද්ගලයින්ට සහභාගී වීමට හැකියාවක් නොමැති බව කතානායකවරයා අද (20) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඒ අනුව කාරක සභාවල සාමාජික මන්ත්‍රීවරුන්, අදාළ කාරක සභා සඳහා කැඳවන පුද්ගලයින්, කාර්ය මණ්ඩලය සහ කාරක සභාවේ සභාපතිවරයාගේ විධිමත් අවසරය ලබාගත් සාමාජිකයින් නොවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් එම කාරක සභා රැස්වීම් සඳහා සහභාගී විය හැකි බවයි කතානායකවරයා දැනුම් දුන්නේ.

කාරක සභාවේ කටයුතු සම්බන්ධීකරණය හා උපදේශනය සඳහා බාහිර පුද්ගලයෙකුගේ සහාය ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ නම් කතානායකවරයාගේ ලිඛිත අවසරය ලබාගත යුතු බව කතානායකවරයා වැඩිදුරටත් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.