දයාසිරි, චරිත, මරික්කාර් COPE කමිටුවෙන් ඉල්ලා අස්වෙයි

විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා වෙත යොමුකර තිබෙනවා.

මීට අමතරව මහාචාර්ය චරිත හේරත් සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්ද එම කමිටුවෙන් ඉල්ලා අස්වී ඇති බවයි වාර්තා වෙන්නේ.

කථානායකට එරෙහි විශ්වාසභංග විවාදයට තවත් දිනයක්

කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (19) සිට 21 වනදා දක්වා විවාදයට ගැනීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබෙනවා.

ඉන් අනතුරු ලබන 21 වනදා ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමටයි වැඩිදුරටත් තීරණය කර තිබෙන්නේ.

69 ලක්ෂයේ අභිලාෂ ඉටුකළ හැකි නායකයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා – ගම්මන්පිල

69 ලක්ෂයේ අභිලාෂ ඉටුකළ හැකි නායකයෙක් එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

ඒ අනුව 69 ලක්ෂයක් ඡන්දය ලබාදුන්නේ රනිල් වික්‍රමසිංහ එළවීමට හා සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායකද එම ජනාධිපතිවරණයට ඉදිරිපත්වී සිටියදී බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ගෝඨාභය රාජපක්ෂ 69 ලක්ෂයේ අභිලාෂ ඉටු කිරීමකින් තොරව පළා ගියද එම අභිලාෂ ඉටුකළ හැකි නායකයෙක් මෙවර ඉදිරිපත් කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ජාතික ජන බලවේගයේ තරුණ රැලිය අද මාතරදී

ජාතික ජන බලවේගය සංවිධානය කරන “තරුණ රැලිය” එහි නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (17) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද සවස 3.30 ට මාතරදී මෙම රැලිය ආරම්භ වීමට නියමිත බවයි එම පක්ෂය සඳහන් කළේ.

සාගලගේ සොහොයුරා ලංකා බැංකුවේ සභාපති ලෙස පත්කරයි

ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ සොහොයුරා වන කාවන් රත්නායක පත්කර තිබේ.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත්කිරීම සිදුකර ඇති අතර මහ බැංකුවේ අනුමැතිය ලැබීමෙන් පසු ඔහු අද දින (14 ) එම සභාපති ධුරයේ වැඩ භාරගැනීමට නියමිතයි.

මීට පෙර කාවන් රත්නායක වරාය අධිකාරියේ සහ සංචාරක සංවර්ධන අධිකාරියේ මෙන්ම ලංකා එක්සත් ප්‍රවෘත්ති පත්‍ර ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබෙනවා.

විපක්ෂයේ අයට ජනපති ආරාධනා කළ සාකච්ඡාවට IMF එකටවත් ආරාධනා කරලා නැහැ – සුනිල් හඳුන්නෙත්ති

විපක්ෂයේ පක්ෂවලට IMF නියෝජිතයින් සමඟ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා සූදානම් කළ සාකච්ඡාවට, අඩුතරමේ IMF නියෝජිතයින්ටවත් ආරාධනාවක් සිදුකර නොමැති බව සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

ජනාධිපතිවරයා සූදානම් කළ එම සාකච්ඡාව සඳහා IMF නියෝජිතයින්ටවත් ආරාධනා නොකිරීමෙන් පෙන්නුම් කරන්නේ, ජනාධිපතිවරයා සහ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා, විපක්ෂය ද සම්බන්ධ කරගනිමින් IMF එක පාවිච්චි කර වෙනම ප්‍රචාරක කටයුත්තක් දියත් කළ ආකාරයක් බවයි සුනිල් හඳුන්නෙත්ති වැඩිදුරටත් සඳහන් කළේ.

ජනාධිපතිවරයා සිදු කළ එම ක්‍රියාව රටක් ලෙස අප හැල්ලුවට ලක්වන ක්‍රියාවක් බවයි අද (14) IMF නියෝජිතයින් හා ජාතික ජන බලවේගය අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ.

IMF සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයින් අතර හමුවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානී Peter Breuer ඇතුළු කණ්ඩායමක් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (14) පෙරවරුවේ කොළඹ ශ්‍රැංගිලා හෝටලයේදී පවත්වා තිබෙනවා.

මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ සහ වංචා දූෂණ වැළැක්වීමට අදාළ ක්‍රියාවලීන්හි ප්‍රගතිය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වූ බවයි එම පක්ෂය සඳහන් කළේ.

ජනතාවට මෙතෙක් ලබා දී නොමැති තාක්ෂණ සහායක වාර්තාව පිළිබඳවද ජාතික ජන බලවේගයේ නියෝජිතයින් විසින් මෙහිදී IMF නියෝජියින්ගෙන් විමසීමක් සිදු කර තිබෙනවා.

මේ හමුව සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් එහි ආර්ථික කවුන්සිලයේ සාමාජිකයින් වන මහාචාර්ය අනිල් ජයන්ත, මහාචාර්ය සීතා බණ්ඩාර, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ එහි ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, ජාතික විධායක සභික මුදිත නානායක්කාර සහ සුනිල් හඳුන්නෙත්ති යන අය සහභාගී වී තිබෙනවා.

එක්සත් වෘත්තීයවේදීන්ගේ සංගමය විසින් දිවයින පුරා සිදු කරන දේශපාලන සමීක්ෂණයේ කොළඹ දිස්ත්‍රික් ප්‍රතිපලය අප වෙත ලැබී තිබේ.

එක්සත් වෘත්තීයවේදීන්ගේ සංගමය විසින් දිවයින පුරා සිදු කරන දේශපාලන සමීක්ෂණයේ කොළඹ දිස්ත්‍රික් ප්‍රතිපලය අප වෙත ලැබී තිබේ.

මාර්ග ගත ආකාරයට සිදුවෙමින් පවතින එම සමික්ෂණයේ මේ වන විට ලද ප්‍රතිඵල අනුව,

කොළඹ දිස්ත්‍රික්කය

2020 මහ මැතිවරණයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඡන්දය භාවිතා කළ පිරිසෙන්
43.1% රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට
23.5% අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාට
7.8% නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාට
3.9% සජිත් ප්‍රේමදාස විපක්ෂනායක තුමාටද සහාය පළකරයි.
19.6% තවම තීරණය කොට නොමැත.
2020 මහ මැතිවරණයේ සමගි ජනබලවේගයට ඡන්දය භාවිතා කළ පිරිසෙන්
27.02% රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට
2.7% අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාට
45.94% සජිත් ප්‍රේමදාස විපක්ෂනායක තුමාටද සහාය පළකරයි.
24.32% තවම තීරණය කොට නොමැත.
2020 මහ මැතිවරණයේ ජාතික ජනබලවේගයට ට ඡන්දය භාවිතා කළ පිරිසෙන්
100% අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාට සහාය පළකරයි.
2020 මහ මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂයට ඡන්දය භාවිතා කළ පිරිසෙන්
93.3% රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට
6.6% අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාට සහාය පළකරයි.
ඒ අනුව 2024 මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රතිඵලය
39.81% රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට
22.4% අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාට
4.9% නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාට
19.16% සජිත් ප්‍රේමදාස විපක්ෂනායක තුමාටද සහාය පළකරයි.
12.4% තවම තීරණය කොට නොමැත.

සංවර්ධන ඉලක්ක සපුරාලීමේ අරමුණෙන් රජයේ නිලධාරීන්ට දිමනාවක්

2024.03.12

• සංවර්ධන ඉලක්ක සපුරාලීමේ අරමුණෙන් රජයේ නිලධාරීන්ට දිමනාවක්…
• පාසලෙන් පිටවෙන දරුවන් තොරතුරු තාක්ෂණය සහ වෘත්තීය පුහුණුවට යොමු කිරීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට බලය…
– අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (2024.03.12) පුත්තලම, මුන්දලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නව ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා –
ජනතාවගේ ප්‍රශ්න වලට රජය මගින්, රාජ්‍ය දෙපාර්තමේන්තු මගින් ඉටු කළ යුතු සේවාවට මුල් වියයුත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයි.
ඔබ ඉටුකරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අලුතෙන් ප්‍රකාශයට පත් කර තිබෙන සංවර්ධන ක්‍රියාදාමයේ එක වැදගත් කොටසක්. ප්‍රාදේශීය සංවර්ධනයට, දිස්ත්‍රික් සංවර්ධනයට අපේ ආණ්ඩුකාරවරුන් සමඟ ඒ සැලසුම් ගමට ගෙනයාම ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ වගකීම.
මේ කටයුත්ත ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ඇඟිලි තුඩුවල තියෙන්න ඕනේ. ආපහු පොතපත බලන්න බැහැ. මේ කාර්යාලය හෙට දිනයේ සිට එවැනි තත්ත්වයකින් අලුත් ජවයකින් සේවාව ඉටුකළ යුතුයි. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාගේ බලාපොරොත්තු ඉටු වෙන්න ඕනේ. ආදායම් ඇති සහ ආදායම් දුර්වල ජන කොට්ඨාස දෙකක් මේ සමාජයේ සිටිනවා. ඒ හැමෝගෙම බලාපොරොත්තු ඉටු කළ යුතුයි. ආදායම් ඇති අයට ඒ ආදායම් වැඩිදියුණු කර ගැනීමටත් ආදායම් දුර්වල ජන කොට්ඨාස නගා සිටුවීමටත් පියවර ගතයුතුයි. රජයේ ප්‍රකාශිත අයවැය ‍ලේඛනයේ වැඩපිළිවෙළ අනුව පෞද්ගලික අංශය දියුණු වෙන්න ඕනේ. සම්පත් වැඩි වෙන්න ඕනේ. සම්පත් එසේ වැඩිවෙන්න නම් තවත් ආයෝජනයන්ට රුකුල් ලබාදිය යුතුයි.
ජනාධිපතිතුමා ධූරය භාරගෙන ආණ්ඩුව භාරගත්ත වේලාවේ රට තිබුණු තත්ත්වය ඔබ සැමට කලින් මතක් කලා. එය ඔබේ මතකයෙන් ගිලිහී ගොස් නැතැයි කියා අපි විශ්වාස කරනවා. එවැනි තත්ත්වයක් අපි යළි ප්‍රාර්ථනා නොකරමු. එවැනි තත්ත්වයකට යළිත් රට ගෙන නොයන්න, ඒ කාල පරිච්ඡේදයේ මුහුණ දෙන්නට සිදුවුණු අමාරුම සේවා සහ පහසුකම් වගේම ද්‍රව්‍යමය අත්‍යවශ්‍ය පහසුකම් සඳහා වේගවත් සහනයක් අප ලබා දීලා තියෙනවා.
ප්‍රශ්න ඉවර නැහැ. ප්‍රශ්න හමාර කර ගත හැකි අලුත් උත්සාහයකට ආර්ථිකය ගමන් කළ යුතුයි. ඒ ගමන රාජ්‍ය නායකයාට හෝ පාර්ලිමේන්තුවට හෝ අග්‍රාමාත්‍යවරයාට පමණක් කරන්නට බැහැ.මුළු රටම එකතුවෙලා ගන්න ඕන පියවරක්.

රට පණ ගන්වන්නට නම් අලුත් බලාපොරොත්තු ඇතිව ආර්ථිකය වර්ධනය කරගත යුතුයි. විදේශ ආයෝජනයන් සහ දේශීය ව්‍යාපාරිකයන්ද ඊට එකතු වී අලුත් උත්සාහයක නිරත විය යුතුයි. මේ දේට රුකුල් දීමයි ප්‍රාදේශීය ලේකම්තුමා සිදු කළ යුත්තේ.
රාජ්‍ය සේවකයින්ට යම්කිසි දීමනාවක් වැඩි කරන්නට පුළුවන් වෙන ආකාරයට ආදායම් වැඩි කරගන්න අපට පුළුවන් වුණා. විශ්‍රාමිකයෝ හය ලක්ෂයක් ලංකාවේ ඉන්නවා. ඒ අයගේ විශ්‍රාමයත් එලෙස ශක්තිමත් කරල ලබාදෙන්න පුළුවන්කමට අද රට ගෙනල්ලා තියෙනවා. විශ්‍රාම අර මුදලට බිලියන 18ක හිඟයක් තිබුණා. අප ඒ සියල්ල ගෙව්වා. අරමුදල හිඟයක් නැතුව දැන් ශක්තිමත්ව වැඩ කරනවා.
ඔබේ රාජකාරිය ඉෂ්ට කරන්න වගකීමක් හා යුතුකමක් තිබෙනවා. ඒ මහජනයා වෙනුවෙන්. එය ඉෂ්ට කිරීම සඳහා මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ශක්‍රීය වෙයි කියලා මම විශ්වාස කරනවා.
අපි ඊයෙ ජනාධිපතිතුමා සමග සාකච්ඡා කරලා තීරණයක් ගත්තා. සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම සිටින උප නිලධාරීන්ට දීමනා ගණනාවක් වැඩි කරන්න. සංවර්ධනය ඉලක්කයන් සපුරාලීම සඳහායි එය තීරණය කරනු ලැබුවේ. ඒ අනුව සංවර්ධන ඉලක්ක සපුරාලීම සඳහා නිලධාරීන්ට අලුත් දිමනාවක් එක් වෙනවා ඇති. දිසාපතිතුමා, ප්‍රාදේශීය ලේකම්වරුන්, ඉලක්කයන්ට වැඩ කිරීමෙන් ඵලදායී නිෂ්පාදන සහ සේවාවන් ඇති කිරීමයි අවශ්‍ය වන්නේ.
සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාශයකම පුරප්පාඩු සඳහා ලබන මාසේ අන්තිම වෙන්න පෙර අලුත් ග්‍රාම නිලධාරිවරයෙක් පත් විය යුතුයි. අඩුපාඩුවක් තිබෙනවා නම් එය සපුරාලීමෙන් අපට ප්‍රාදේශීය ලේකම් ජාලය ශක්තිමත් කළ හැකියි.
පාසලෙන් පිටවෙන දරුවන් තොරතුරු තාක්ෂණය සහ වෘත්තීයමය දැනුම ඇති කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන බලයක් පැවරුවා. රාජ්‍ය දෙපාර්තමේන්තු වෙන්න පුළුවන්, ප්‍රාදේශීය සභාව මගින් හෝ පළාත් පාලන ආයතන සියල්ලටම පුළුවන් මේ වැඩ පිළිවෙලට අවතීරණය වීමට. අවශ්‍ය මූල්‍ය පහසුකම් සහ අවශ්‍ය දැනුම ඇති වෘත්තිකයන් ලබාගෙන අපේ දරුවන්ට විශේෂ දැනුමක් ලබාදීමේ ඉලක්ක සපුරාලන්න. එයින් අලුත් සමාජයකට, අලුත් දැනුම ඇති සමාජයකට පිවිසෙන්න පුළුවන්කම කරා ගමන් කරන අධ්‍යාපනයේ තවත් මාර්ගයකට ඉදිරි මාස දෙක තුළ පිවිසෙන්නට ප්‍රාදේශීය ලේකම්වරුන් සහාය වෙනු ඇතැයි මම හිතනවා.
වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන අශෝක ප්‍රියන්ත, අරුන්දික ප්‍රනාන්දු, පුත්තලම් දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති චින්තක අමල් මායාදුන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන යාදාමිණි ගුණවර්ධන, ජගත් ප්‍රියංකර, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න, ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගි වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

WhatsApp Image 2024-03-12 at 17.06.45 (4) WhatsApp Image 2024-03-12 at 17.06.45 (3) WhatsApp Image 2024-03-12 at 17.06.45 (2) WhatsApp Image 2024-03-12 at 17.06.45 (1) WhatsApp Image 2024-03-12 at 17.06.45

ජාතික ජන බලවේගයේ “ගැහැණු අපි එක මිටට” කොළඹ දිස්ත්‍රික් කාන්තා සමුළුව අද

ජාතික ජන බලවේගය සංවිධානය කරන “ගැහැණු අපි එක මිටට” කොළඹ දිස්ත්‍රික් කාන්තා සමුළුව එහි නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (10) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද සවස 3.00 ට හෝමාගම නගරයේදී මෙම සමුළුව ආරම්භ වන බවයි එම පක්ෂය සඳහන් කළේ.