ලංකා විදුලිබල මණ්ඩලය මාස 3 ක් තුළ රුපියල් බිලියන 108 ක ආදායමක් ලබා තිබෙනවා – පාඨලී

ලංකා විදුලිබල මණ්ඩලය මාස තුනක් තුළ රුපියල් බිලියන 108ක පමණ ආදායමක් ලබා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

විදුලිබල මණ්ඩලය නව ගාස්තු අය ක්‍රමය ක්‍රියාත්මක කළ පළමු මාස තුනක කාලය තුළ මෙම ආදායම උපයා ඇති බවයි සමුළුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඒ අනුව මූල්‍ය අර්බුදයක් හේතුවෙන් සහ පාඩු ලැබීම හේතුවෙන් අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට නොහැකි බවට සිදුකරන ප්‍රකාශ පිළිගත නොහැකි බවයි පාඨලී චම්පික රණවක වැඩිදුරටත් සඳහන් කළේ.

නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (27) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද පස්වරු 1.00 ට පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

මෙහිදී පළාත් පාලන මැතිවරණයේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන බව පක්ෂයේ ප්‍රචාරක ලේකම් තිසර ගුණසිංහ වැඩිදුරටත් සඳහන් කළා.

සජබ හා ජවිපෙ අතර තරගයේ ඉදිරියෙන් ඉන්නේ සජ​බ අපි – අජිත් පී. පෙරේරා

සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර තරගයක් නිර්මාණය වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසනවා.

පොහොට්ටුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ගෝඨාභය රාජපක්ෂ සමඟ සිටි සියලු දේශපාලන කණ්ඩායම් ද විනාශ වී ඇති ගොස් ඇති මොහොතක සමගි ජන බලවේගයට තරගයක් දීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ උත්සාහ කිරීම හොඳ දෙයක් බවයි ඔහු පවසා සිටියේ.

නමුත් මෙම තරගයේ දී ඉදිරියෙන් සිටින්නේ සමගි ජන බලවේගය බවයි අජිත් පී. පෙරේරා වැඩිදුරටත් පවසා සිටියේ.

කොමිසමේ සාමාජිකයෙකු ඉවත් වීම මැතිවරණයට බාධාවක් නෙමෙයි – මැතිවරණ කොමසාරිස් ⁣ජෙනරාල්

මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ඉල්ලා අස්වීම මැතිවරණය පැවැත්වීමට බාධාවක් නොවන බව මැතිවරණ කොමසාරිස් ‍ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

සාමාජිකයෙකු එලෙස ඉල්ලා අස්වූ පසුව එමගින් ඇතිවෙන පුරප්පාඩුවට නව සාමාජිකයෙකු පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ වගකීමක් බැවින් එය හැකි ඉක්මණින් සිදුවනු ඇතැයි තමා අපේක්ෂා කරන බවද ජෙනරාල්වරයා පවසා සිටියා.

ඊයේ (25) දිනයේ දී මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික පී.එස්.එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කළ අතර ඇයගේ ඉල්ලා අස්වීමේ ලිපිය ද ජනාධිපතිවරයාට ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

අනීතිකව පුද්ගලයන් සිරගත කරන්න මේක ඒකාධිපති රටක් නෙවෙයි – සජිත්

රටේ බදු බර වැඩිකර, විදුලි බිල වැඩි කර, ජනතාවට ජන ජීවිතය පවත්වා ගෙන යාමට නොහැකි මොහොතක, මේ රටේ දුක්විදින පොදුජනතාව වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයන්ව සිරගත කිරීම ගැන තමා අතිශය කණගාටු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

සිරගත කර සිටින වෘත්තීය සමිති නායකයන් දෙදෙනකු වන ආනන්ද පාලිත සහ සංජීව ධම්මික බැලීමට වැලිකඩ බන්ධනාගාරයට යන අතරතුර ඔහු මේ බව පැවසුවා.

විදුලිබිල වැඩි කිරීමට එරෙහිව, බලශක්ති ක්ෂේත්‍රයේ දූෂණයට එරෙහිව, වර්තමාන රජයේ දුෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් ඔවුන් පෙනී සිටි බවත්, ඔවුන් කිසිඳු ප්‍රචණ්ඩත්වයක් ක්‍රියාත්මක නොකළ බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ලබා දී ඇති භාෂණයේ අයිතිය ක්‍රියාත්මක කළ බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නා.

එසේ අනීතිකව පුද්ගලයන් සිරගත කිරිමට අප රට ඒකාධිපති හෝ ආඥාදායකත්වයක් සහිත රටක් නොවන බවත්, අප රට ප්‍රජතන්ත්‍රවාදී රටක් බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.

ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද සර්ව පාක්ෂික හමුවක් රැස්වෙයි

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් සර්වපාක්ෂික හමුවක් අද (26) ප.ව 4.00ට ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සර්වපාක්ෂික හමුවට කථානායකවරයාට, අග්‍රාමාත්‍යවරයාට, විපක්ෂනායකවරයාට මෙන්ම හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන ද, අනුර කුමාර දිසානායක ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ නායකවරුන්ටද ආරාධනා කර ඇති බවයි වාර්තා වන්නේ.

ජනපති ප්‍රධානත්වයෙන් හෙට සර්වපාක්ෂික හමුවක්

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් සර්වපාක්ෂික හමුවක් හෙට (26) ප.ව. 4.00 ට ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සර්වපාක්ෂික හමුවට කථානායකවරයාට, අග්‍රාමාත්‍යවරයාට, විපක්ෂනායකවරයාට මෙන්ම හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේනට ද ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ට ආරාධනා කර ඇති බවයි සඳහන් වන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ධූරයට පත්වීමෙන් පසු 2022 දෙසැම්බර් 13 දින කැඳවන ලද පක්ෂ නායක හමුවේ දී සාකච්ඡා වූ සංහිඳියාව වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරෙනු ඇති අතර ඒ පිළිබඳ පක්ෂ නායකයන්ගේ එකඟතාවක් ඇති කර ගැනීමට ද නියමිතයි.

bfbaaadf32c06c98df59f84dce9a25c6

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (25) පළමු වතාවට රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එහිදී ඉදිරි වැඩකටයුතු සිදු කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවයි කතානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කළේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා සියලුම සාමාජිකයන් පත් කිරීමෙන් අනතුරුව මෙම සාකච්ඡාව සිදුවන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

A.H.M. ෆවුසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ගැසට් කෙරේ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා A.H.M ෆවුසි පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කොළඹ නගරාධිපති ධූරය සඳහා තරග කිරීමට පසුගියදා මුජිබර් රහුමාන් තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කර තිබුණා. අදාළ ගැසට් නිවේදනය පහතින්,

fc63eba99e0e639ca24918f6deedbff6

ඡන්ද දායකයෙක් වෙනුවෙන් වියදම් කළ හැකි උපරිමය රුපියල් 15 යි

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී එක් ඡන්ද දායකයෙකුට රුපියල් 15 ක ප්‍රමාණයක් වියදම් කළ හැකි බවට දේශපාලන පක්ෂ ලේකම්වරුන් එකඟතාවකට පැමිණ තිබෙනවා.

එම අගය ජනතාවගේ ප්‍රමාණයෙන් වැඩිකර ලැබෙන අගය එක් අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි සීමාව බවත්, එයින් 60% ක ප්‍රමාණයක් පක්ෂයකට වියදම් කළ හැකි සීමාව බවත්, මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සඳහන් කළා.

මැතිවරණය අවසන්වී දින 21 ක් තුළ තරග කරන අපේක්ෂකයින් සහ දේශපාලන පක්ෂ විසින් ඔවුන්ගේ සියලුම ආකාරයේ වියදම් ඇතුළත් කර විගණනය කරන ලද වාර්තාවක් මැතිවරණ කොමිෂන් සභාවට භාරදිය යුතු බවද, මුදල් සීමාවලින් ඔබ්බට වියදම් සිදුකර ඇති බවට ඔප්පු වුවහොත් අධිකරණය තුළදී අදාළ ධූරය අහිමිවීමට හැකියාවක් ඇති බවද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළා.