කැලිකසළ බැහැර කිරීමට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි -ශ්‍රේෂ්ඨාධිකරනයට යොමු කළ පෙත්සම් විභාගය කල් ය

කැලිකසළ බැහැර කිරීම පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස රජයට නියම කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සමක් සලකා බැලීම කල්දමා තිබේ.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සමෙන් ජනාධිපතිවරයා, මධ්‍යම පරිසර අධිකාරිය, කොළඹ මහනගර සභාව ඇතුළු පාර්ශව කිහිපයක් වගඋත්තරකරුවන් වශයෙන් නම් කර ඇති බව වාර්තා වේ.

කැලිකසළ බැහැර කිරීම පිළිබඳව විධිමත්, විද්‍යාත්මක ජාතික ප්‍රතිපත්තියක් නොමැතිකමින් ගැටළු රාශියක් පැනනැඟී ඇති බවත්, මීතොටමුල්ල ඛේදවාචකය එයින් එකක් පමණක් බවත්, රට පුරා එවැනි ගැටළු දකින්නට ඇති බවත් පෙත්සම්කරුවන් පෙන්වාදී තිබේ.

මේ හේතුව නිසා කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකසන ලෙස රජයට නියෝගයක් නිකුත් කරන මෙන් පෙත්සම්කරුවන් විසින් ඉල්ලා තිබේ.

මෙහිදී වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥයින් පවසා ඇත්තේ මෙම සිද්ධියට අදාළව කරුණු අධ්‍යයනය කිරීමකින් තොරව යමක් ප්‍රකාශ කළ නොහැකි බව හා ඒ හේතුවෙන් කරුණු අධ්‍යයනය කිරීම සඳහා කාලය අවශ්‍ය බවයි.

ඉදිරිපත්වූ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ පෙත්සම අගෝස්තු 09 වන දින යළි කැඳවීමටත්, එදිනට පෙත්සම සලකා බැලීමටත් තීරණය කළ බව වාර්තා වේ.

තැපැල් වර්ජනය අඛණ්ඩව ඉදිරියට – තැපැල් වෘත්තිය සමිති පෙරමුණ

නුවරඑළිය, මහනුවර හා ගාල්ල හා කොටුව තැපැල් කාර්යාල ගොඩනැගිලිවලින් තැපැල් කාර්යාල ඉවත් කර සංචාරක හෝටල් ඉදිකිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධතාවය පලකිරීම ඇතුළු ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් තැපැල් සේවකයන් දියත් කළ වැඩ වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ කැදවුම්කරු බොස්ටන් ලංකා අප කළ විමසීමකට පිළිතුරු වශයෙන් පැවසීය.

මේ වන විට සිය ගැටලු සදහා විසදුම් ලබාදීමට කිසිදු පාර්ෂවයක් ඉදිරිපත්ව නැති බවද හෙතෙම අවධාරණය කළේය.

වර්ජනය හේතුවෙන් මේ වන විට දිවයින පුරා තැපැල් කාර්යාල 653ක් හා උපතැපැල් කාර්යාල 3410ක් අඩපණව ඇති බවද වෘත්තිය සමිති පෙරමුණේ කැදවුම්කරු සදහන් කළේය.

එසේම වැඩ වර්ජනය හේතුවෙන් ඊයේ මධ්‍යම රාත්‍රිය වන විට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරැවේ පමණක් ලිපි ලක්ෂයක් පමණ ගොඩගැසී ඇති බවද හෙතෙම පැවසීය.

ඊශ‍්‍රායල් රජයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන රැකියා ආරක්ෂා කිරීමේ වගකීම ශ්‍රී ලාංකිකයන් සතුයි

ඊශ‍්‍රායල් රජයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන රැකියා ආරක්ෂා කිරීමේ වගකීම එරට රැකියාවල නිරත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සතුව පවතින බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය පවසයි.

ඊශ‍්‍රායලයේ රැකියා සඳහා යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සිය සේවා කාලසීමාව ඉක්මවීමෙන් පසු නීති විරෝධීව එරට රැදී සිටීම හේතුවෙන් ඊශ‍්‍රායලයේ කෘෂි අංශයේ රැකියා අවස්ථාවන් අහිමිවීමේ තර්ජනයක් ඇති බව අමාත්‍යවරිය පෙන්වා දෙයි.

මේ හේතුවෙන් නීති විරෝධීව එරට රැදී සිටින ශ්‍රමිකයින්  සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව තලතා අතුකෝරාල මහත්මිය සඳහන් කළේය.

ඊශ‍්‍රායලයේ රැකියා සඳහා යන ශ්‍රමිකයින් 38 දෙනෙකු සඳහා ගුවන් ටිකට් පත් පිරිනැමීමේ අවස්ථාවකට සහභාගී වෙමින් විදේශ රැකියා අමාත්‍යවරිය මෙම අදහස් පල කර තිබේ.

සයිටම් ආයතනය ජනසතු කරන්න- නැත්නම් අඛණ්ඩ වර්ජනයක් – GMOA

සයිටම් ආයතනය ජනසතු කර එම ආයතනයේ දැනට ඉගෙනුම ලබන සිසුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිළිගන්නා විසඳුමක් ලබා දීමට කමිටුවක් පත් කරන ලෙස රජයට යෝජනා ඉදිරිපත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.
ඒ අනුව මුලික කරුණු 5 කින් සමන්විතව මෙම යෝජනාවලිය සකස් වී ඇත.
අද(29) පැවති රැස් වු එම සංගමයේ මධ්‍යම කාරක සභාව විසින් මෙම තීරණය ඒකමතිකව තීරණය කළ බවත් මෙම තීරණයන්ට රජය නිසි ලෙස ප්‍රතිචාර නොදක්වන්නේ නම් අඛණ්ඩ වැඩ වර්ජනයක් සඳහා යොමු වන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ලේකම් සමන්ත ආනන්ද මහතා පවසයි.
මෙහිදි මුලික කරුණු 3 ක් පිළිබඳ මධ්‍යම කාරක සභාව තුළදී සාකච්ඡාවට යොමුව තිබේ.
මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ සමන්ත ආනන්ද මහතා මෙම අදහස් පළ කළේය.

ලෙනින් පවා වරෙක විරෝධතාකරුවන් ත්‍රස්තවාදීන් ලෙස හදුන්වා තිබෙනවා – රාජිත

ලෙනින් පවා වරෙක විරෝධතාකරුවන් ත්‍රස්තවාදීන් ලෙස හදුන්වා ඇති හෙයින් රාජ්‍ය දේපල විනාශ කරමින් විරෝධතා කරන සිසුන් මර්දනය කිරීම කළ යුතු යැයි සම කැබිට් ප්‍රකාශක සෞඛ්‍ය පෝෂණ හා දේශිය අමාත්‍ය රාජිත සේනාරත්න පැවසීය.

ඊයේ (ජුනි 28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

එසේම ඔවුන් පලවා නොහැර අමාත්‍යංශයට ගිනි තබා විනාශ කරනතෙක් තමා බලා සිටින්නදැයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රශ්න කළේය.

රතුපස්වල සහ කදාන ප්‍රදේශ වල ඇතිවූ උද්ඝෝෂණ වලදී රජපක්ෂ රජය විසින් විරෝධතාකරුවන් ඝාතනය කළ ලෙසට වත්මන් රජය විරෝධතාකරුවන් ඝාතය නොකිරීම මහින්ද රාජපක්ෂට ඇති ගැටලුවක්ව ඇති බැවින් අමාත්‍යංශයට කඩාවැදුන සිසුන් පලවාහැරීම සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ නිකුත් කරමින් සිටිනවා යැයි හෙතෙම කීය.

එසේම විශ්ව විද්‍යාල සිසුන් කිසිදු දිනක තමා හමුවීම සදහා වෙලාවක් වෙන්කරගෙන නැතැයිද අමාත්‍යවරයා පැවසීය.

විරෝධතාකරුවන් අමාත්‍යංශයට කඩාවදින තෙක් පොලීසියේ නිලධාරීන් පවා ඒ පිළිබද නොදන්නා බවත් විශේෂකාර්ය බලකායේ නිලධාරීන් පමණක් පැමිණ අමාත්‍යංශය වැටලූ අවස්ථාවේ ආරක්ෂක පියවර ගත් බවත් අමාත්‍යවරයා පැවසීය.

ලෝකයේ කිසිම පොලීසියක් ලබානොදෙන ලෙස එම අවස්ථාවේ විරෝධතාකරුවන්ට ඉවත්වීමට පොලීසිය  විනාඩි පහලොවක් ලබාදුන් බවද පැවසූ අමාත්‍යවරයා පොලීසිය එම අවස්ථාවේ හැසිරුණ ආකාරය සම්බන්ධයෙන්  ජනාධිපති ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි සදහන් කළේය.

අමාත්‍යංශ දේපල වලට හානි කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය දේපල පනත යටතේ නඩු පැවරිය හැකි බවත් අමාතයංශයට සිදුවූ හානිය  මිලියන ගණනාවක් වන මුත්   තවම එම ප්‍රමාණය මෙතෙක් ගණනය කර නැතැයි අමාත්‍යවරයා සදහන් කළේය.

කොළඹ කුණු මුතුරාජවලට බැහැර කිරීමට එරෙහිව පෙත්සම 20දා සළකා බැලීමට නියමිතයි

කොළඹ නගරයේ එක්රැස් වන කැලිකසළි මුතුරාජවෙල රක්ෂිතයට බැහැර කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ජූලි මස 20 වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
මුතුරාජවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් 35 දෙනෙකු විසින් අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබුණි.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කොළඹ මහනගර සභාව, මධ්‍යම පරිසරඅධිකාරිය හා භූවිද්‍යා හා පතල් කාර්යාංශය ඇතුළු පිරිසක් නම් කර ඇත.
අග්‍රවිනිශ්චකාර ප්‍රියශාන්ත් ඩෙප්ත් හා අනිල් ගුණරත්න යන විනිසුරුවන් හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබීය.
එහිදි මධ්‍යම පරිසර අධිකාරිය හා භූවිද්‍යා හා පතල් කාර්යාංශය වෙනුවෙන් පෙනීසිටි රජයේ නිතීඥයා පවසා සිටියේ පෙත්සමට අදාළ උපදෙස් ලබා ගැනීමට කල් අවශ්‍ය වන බවයි.
ඒ අනුව ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය ජුලි මස 20 තෙක් කල් තැබු අතර එදිනට ඉල්ලීමට අදාළ කරුණු දක්වන ලෙස පැවසීය.

ලන්ඩනයේ ගිනි ගත් මහල් නිවාසයේ ශ්‍රී ලාංකිකයන් සිටි බව තවම වාර්තා වී නැහැ- රවී

ද(14) අළුයම බටහිර ලන්ඩනයේ, ලැටිමර් ප්‍රදේශයේ මහල් 24කින් සමන්විත ගොඩනැඟිල්ලක දැවැන්ත ගින්නක් හටගත් අතර ගින්න නිවා දැමීම සඳහා මේ වන විටත් ගිනි නිවන භටයින් කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 ගිනි ගැනීමට ලක්වූ මහල් නිවාස සංකීර්ණයේ ශ්‍රී ලාංකිකයන් සිටියේද යන්න පිළිබඳව එරට මහ කොමසාරිස් කාර්යාලය හරහා තොරතුරු ලබා ගනිමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
එසේම අමාත්‍යවරයා සඳහන් කළේ එම ගොඩනැඟිල්ලේ ශ්‍රී ලාංකිකයන් සිටි බවට මෙතෙක් වාර්තා වී නොමැති බවයි.
ගොඩනැගිල්ල තුළ පුද්ගලයින් සිරවී ඇති බවට තොරතුරු වාර්තා වන අතර ඔවුන් මුදා ගැනීම සඳහා ද මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ අධ්‍යක්ෂ මණ්ඩලය ජනපති සමග සාකච්ඡාවක

ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කිරීම සම්බන්ධයෙන් ඊයේ පැවති කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී කතාබහට ලක්වූ බව සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පැවසීය.

එසේම එම අධ්‍යක්ෂ මණ්ඩලය ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් සදහා කැදවා ඇතැයිද ඒ සදහා තමාද සහභාගීවීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය.

අද (ජුනි 14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අසන ලද පැනයකට පිළිතුරුදෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

එසේම ශ්‍රී ලන්කන් ගුවන්සේවට සේවක සේවිකාවන් 1250ක් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අනුදැනුුම මත බදවා ගෙන ඇති බවද හෙතෙම අවධාරණය කළේය.

ගං වතුරෙන් විපතට පත් අයට සමෘධි සහනාධාර

පසුගිය දිනවල ඇතිවූ ගං වතුරෙන් හා නාය යාම් වලින් විපතට පත් ජනතාවගේ  නිවාස පිරිසිදු කර ගැනීම සඳහා අවශ්‍ය පිරිසිදු  කිරීමේ උපකරණ හා ද්‍රව්‍ය ඇතුළත් ආධාර පාර්සල් 50000ක් වහාම ලබා දීමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

සමාජ සවිබල ගැන්වීම්  සුබසාධන හා උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍ය එස්බී දිසානායක මහතාගේ උපදෙස් මත සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් නීල් බණ්ඩාර හපුහින්න මහතාගේ අධීක්ෂණය යටතේ මෙම ආධාර වැඩසටහන ක්‍රියාත්මක වන අතර කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත කොට්ඨාශයට ප්‍රමුඛත්වය ලබා දෙමින් ආධාර පාර්සල් 5000ක් අද (10) දෙපාර්තමේන්තුව සතු ලොරි රථ වලින් කළුතර දිස්ත්‍රික්කයට ප්‍රවාහනය කරන ලදි.

වෙළෙඳපොලේ රුපියල් 1250ක් පමන වටිනාකමකින් යුත් දත්බුරුසු, සබන් , බිම පිරිසිදු කිරීමේ බුරුසු, ලයිසෝල් , හාපික් වැනි  ද්‍රව්‍ය මෙම පාර්සලයට අඩංගු බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

ජනාධිපතිවරයා විසින්  ගංවතුරෙන් හා නායයාම් වලින් විපතට පත් අගලවත්ත ප්‍රදේශයේ ජනතාවට සහන සැලසීමේ කමිටුවේ ප්‍රධානියා ලෙස අමාත්‍ය එස්.බී දිසානායක මහතා පත්කරනු ලැබූ අතර පසුගියදා ඇමැතිවරයා අගලවත්ත, වලල්ලාවිට, පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල තත්වය සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකද නිරත විය.

එම ප්‍රදේශ වලට අමතරව දිවයිනේ සෙසු  ප්‍රදේශ වල විපතට පත් ජනතාව වෙනුවෙන්ද සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මෙම පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය පාර්සල් ලබා දෙන බව සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් නීල් බණ්ඩාර හපුහින්න මහතා පවසයි.

තමා අත් අඩංගවට ගැනීම නවත්වන්න – ඥානසාර හිමි

තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

ජාතීන් අතර සුහදතාව කඩාකප්පල්කිරීමක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කොට්ඨාසය මගින් කිසිදු විධිමත් පරීක්ෂණයක් නොපවත්වා තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව උන්වහන්සේ තම පෙත්සමෙන් පෙන්වාදී තිබේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන්   ලෙස සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කොට්ඨාසයේ ස්ථානාධිපති, නීතිපති ඇතුළු පිරිසක් නම් කර ඇති බව අධිකරණවාර්තා සනාථ කර සිටියි.

මේ අනුව නිසි පරීක්ෂණයක් පවත්වා අවසන් වන තුරු හෝ නීතිපති උපදෙස් ලැබෙනතුරු තමන් වහන්සේ අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ඥානසාර හිමියන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.