කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිවෙක්ට දෙන්නෙ නැහැ – ජනපති

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙනත් පාර්ශවයකට ලබා නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පෞද්ගලිකකරණය කරන බවට පසුගිය කාලයේ දැඩි කතාබහක් ඇති වී තිබුණි.

ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ අද (01) පැවැති රැස්වීමක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දෙන බවට පැතිර යන වාර්තාවල කිසිඳු සත්‍යතාවක් නොමැති බව වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සඳහන් කළේය.

මේ අතර හම්බන්තොට වරාය සම්බන්ධයෙන් චීනය සමඟ අත්සන් කරන ලද සංශෝධිත ගිවිසුම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේ අවශ්‍ය නම් මෙම ගිවිසුම පාර්ලිමේන්තුව තුළ විවාදයට ගැනීමට පක්ෂ නායකයින්ට හැකියාව පවතින බවයි.

රජය මීළඟට විකුණන්නේ මත්තල ගුවන්තොටුපළ – මහින්ද

හම්බන්තොට වරාය චීන සමාගමකට විකුණූ රජය මීළඟට විකුණන්නේ මත්තල ගුවන්තොටුපළ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 
 
බලයට පත්වූ හැටියේ මත්තල ගුවන්තොටුපල වීගබඩාවක් කර වසා දමා ගුවන් යානා එන්නේ නැති නිසා එයින් වැඩක් නැතැයි කියා දැන් විකිණීමට සූදානම් වන බවද එ් මහතා පැවසීය. 
එ් දිනවල මත්තල ගුවන්තොටුපළට ගුවන් යානා පැමිණි බවත් එ් බව හම්බන්තොට ජනතාව දන්න බවද එ් මහතා කීවේය. 
 
 ඕනෑම රටකට අඩුම වශයෙන් ගුවන්තොටුපළ දෙකක් තිබිය යුතු අතර මත්තල ගුවන්තොටුපල නොතිබුණු අවධියේ ඉන්දියාවට හා මාලදිවයිනට මුදල් ගෙවමින් ගමන් කිරිමට සිදුවූ බව හොදින්ම දන්නා කාරණායක් යැයිද එ් මහතා කීවේය. 
මත්තල ගුවන්තොටුපල සමඟ මේ රජයට ඇත්තේ මහ වෛරයක් යැයිද තංගල්ල කාල්ටන් නිවසේදී මාධ්‍යයට අදහස් දක්වමින් එ් මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 

රටේ ඉඩම් වෙන කිසිම රටකට දෙන්නෙ නෑ – මහින්ද අමරවීර

ජනාධිපතිවරයාගේ පාලනය යටතේ කිසිඳු ඉඩමක් කිසිඳු රටකට විකිණීමට කටයුතු නොකරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
හික්කඩුව ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ හම්බන්තොට වරාය සම්බන්ධයෙන් විවිධ පාර්ශව අසත්‍ය ප්‍රචාර ගෙන යන බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ රජය ස්වභාවික ව්‍යසන රැසකට මුහුණදෙමින් ඉදිරියට ගමන් කරන බවය.

මේ වන විට ඉන්ධන බවුසර් 15 ක් පිටත් කර අවසන් – බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න

යුද හමුදා මැදිහත්වීමෙන් කොළොන්නාවේ සිට ඉන්ධන බෙදා හැරීම සඳහා  මේ වන විට ඉන්ධන බවුසර් 15 ක් පිටත් කර හැර ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කර තිබේ.

එසේම ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කොළොන්නාව නිමාව ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී  තිබුණි.

ඒ හේතුවෙන් කොළොන්නාව-කොළඹ ප්‍රධාන මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් නිර්මාණය වී තිබූ  අතර තාවකාලිකව මාර්ගය වසා දැමීමට සිදුවිය.

වැඩවර්ජනයට සම්බන්ධ සේවකයන් පිරිසක් විසින් කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයට, තෙල් ගෙනයාම සඳහා පැමිණි දුම්රියට විරෝධය පළකරමින් දුම්රිය මාර්ගය හරස් කරමින්  ආරම්භ කළ විරෝධතාවක් හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන තිබේ.

මේ හේතුවෙන් කැරළි මර්දන ඒකක සහ ජල ප්‍රහාරක රථ හතරක්ද මේ වන විට එම ස්ථානයට කැඳවා ඇති බව වාර්තා වෙයි.

අදාළ දුම්රිය ගුවන්තොටුපොළ වෙත තෙල් ගෙනයාම සඳහා පැමිණ ඇතැයිද එම දුම්රිය මේ වන විට පිටත්වීමට සූදානම් බවද සඳහන්ය.

ජපන් ඉන්දීය හවුල්කාරීත්වයෙන් ස්වභාවික වායු බලාගාරයක් ඉදිකිරීමේ සැලසුමක්

සාම්පූර්හී ගල් අගුරු බලාගාරයක් වෙනුවට ජපන්, ඉන්දීය හවුල්කාරීත්වයකින් යුත් ස්වභාවික වායු බලාගාරයක් ඉදිකිරීමට තීරණය වී ඇතැයි සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සදහන් කළේය.

ඊයේ (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ මාධ්‍යවේදීන් නගන ලද ප්‍රශ්න වලට පිළිතුරුදෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඉන්දියානු රජය විසින් සාම්පූර්හී ගල් අගුරු බලාගාරයක් ඉදිකිරීමට මුලදී තීරණය වී තිබුණත් ඉන් වන පරිසර හානිය සලකා ජනාධිපතිවරයා ගල් අගුරු බලාගාරයක් ඉදි නොකිරීමට තීරණය කළ බැවින් මෙලෙස ස්වභාවික වායු බලාගාරයක් ඉදිකිරීමට නියමිත බව අමාත්‍යවරයා පැවසීය.

ගල් අගුරු බලාගාරයක් වෙනුවට ස්වභාවික වායු බලාගාරයක් ඉදිකිරීමට ඉන්දියානු රජය අකමැති බැවින් එය ඉන්දිය ජපන් හවුල්කාරීත්වයක් යටතේ ඉදිකිරීමට සිදු වන බවද හෙතෙම කීය.

කෙසේ වෙතත් සාම්පූර්හී ස්වභාවික වායු බලාගාරයක් ඉදිකිරීමට කොරියානු සහ ජපන් රජයෙන් යෝජනා ඉදිරිපත් වූ බවත් ඉන් කොරියානු රජය ඉදිරිපත් කළ යෝජනාව වඩා වාසි සහගත එකක් වූ බවත් අමාත්‍යවරයා පැවසීය. නමුත් ජපානය තාක්ෂණික වහයෙන් ඉදිරියෙන් සිටින බැවින් සහ ශ්‍රී ලංකාව හා ජපානය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබදතා සළකා බලා ජපාන රජය සමග ගිවිසුමට ඇතුළත් වීමට තීරණය කළ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

රන්මිණිතැන්නට පාලක මණ්ඩලයක්

රන්මිණිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානයේ කටයුතු සදහා පාලක මණ්ඩලයක් පත්කර ගැනීම සදහා අමාත්‍ය මණ්ඩල අනමැතිය හිමිව තිබේ.

එහි කටයුතු නිර්මාණාත්මකව හා කාර්යක්ෂමව ඉටු කිරීම සදහා මෙන්ම ඒ සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී ඇති වන ප්‍රමාදයන් වළක්වා ගැනීම පිණිස මෙම පාලක මණ්ඩලය පත්කීරීමට නියමිතය.

ඒ අනුව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හා අදාළ ආයතන වල නියෝජිතයන්ගෙන් සමන්විත පාලක මණ්ඩලයක් පත් කිරීම සදහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රවේශ පත් නිකුත් කරයි

මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රවේශ පත් නිකුත් කර ඇතැයි ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ අනුව විභාගය  සඳහා පෙනී සිටින පාසල් අයදුම්කරුවන් 2,37943කගේ ප්‍රවේශ පත්‍ර අදාළ විදුහල්පතිවරුන් වෙතත් පෞද්ගලික අයදුම්කරුවන් 77,284 කගේ ප්‍රවේශ පත්‍ර  ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන් වෙතත්  තැපැල් කර ඇත.

මෙවර අ.පො.ස. (උ.පෙ) විභාගය  ලබන අගෝස්තු මස 08 වන දින සිට සැප්තැම්බර් මස 02 දිින දක්වා පැවැත්වීමට නියමිතය. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,230 ක් මෙම විභාගය පැවැත්වීමට සැළසුම් කර තිබේ.

නියමිත දිනය පුවේශපත් නොලද පෞද්ගලික අයදුම්කරුවන් තමා ඉදිරිපත් කළ ඉල්ලුම්පතේ පිටපතක්, විභාග ගාස්තු ගෙවූ කුවින්තාන්සියේ පිටපතක් හෝ විභාග ගාස්තු ගෙවූ බවට  තැපැල් ස්ථානාධිපතිගෙන් ලබාගත් සහතික කළ ලිපියක් සහ අයදුම්පත්‍රය ලියාපදිංචි තැපෑලට යොමු කළ කුවින්තාන්සිය විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන ශාඛාව වෙත ඉදිරිපත් කර ප්‍රවේශ පත්‍රය ලබා ගත හැක.

ප්‍රවේශ පත්‍රයන්හි විෂය සංශෝධන , භාෂා මාධ්‍ය සංශෝධන හෝ වෙනත් සංශෝධන සිදු කිරීමට අවශ්‍යය පාසල් අයදුම්කරුවන් තම විදුහලේ විදුහල්පති මඟින් ද පෞද්ගලික අයදුම්කරුවන් තමා විසින් ද 2017.07.20 දිනට පෙර  පාසල් විභාග සංවිධාන ශාඛාව වෙත යොමු කිරීමෙන්  අදාල සංශෝධන සිදු කර ගත හැකි බව ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් යම් විමසිමක් වෙතොත් පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ 0112784208/ 0112784537/ 0113140314යන දුරකතන අංක අමතා හෝ ෆැක්ස් අංක 0112784422 මගින් නැතිනම් ක්ෂණික ඇමතුම් අංක 1911 මගින් තොරතුරු විමසිය හැකි බව ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.

රහසිගතව වීදි සුනඛයින් මරා දැමීමේ ඛේදවාචකය යළිත් හිස ඔසවයි

මොරටුව සරසවියේ අයාලේ යන සුනඛයන් සදහා නිර්වින්දන ඹෟෂධ එන්නත් කිරීමෙන් පසුව එම සුනඛයින් මිය යාම සම්බන්ධය නීතිමය පියවර ගන්නා බව රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමය සදහන් කරයි.

මෙම සුනඛයින් නිර්වින්දනය කිරීම සදහා තහනම් ඖෂධවර්ගයක් යොදාගෙන ඇතැයි එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රදීප් කුමාරවඩු පෙන්වාදෙයි.

මේ පිළිබද අදහස් දක්වමින්  මොරටුව විශ්ව විද්‍යාලයේ උපකුලපති  මහාචාර්ය ආනන්ද ජයවර්ධන පැවසුවේ විශ්ව විද්‍යාලය තුළ සුනඛයන් අධික බැවින් අධ්‍යාපනය සදහා සුදුසු ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීමට සුනඛයින් එලවා දැමීමටත් එළවා දැමිය නොහැකි සුනඛයින්  සදහා වද එන්නත් ලබාදීමට විශ්වවිද්‍යාල ආරක්ෂක අංශ වෙත දැනුම් දුන් බවයි.

එහිදී එම එන්නත් විෂ වීමෙන් සුනඛයින් දෙදෙනෙක් පමණක් මිය ගොස් ඇතැයි වාර්තා වූ බවත් ඒ සම්බන්ධයෙන් සිය කණගාටුව ප්‍රකාශ කරන බවත් හෙතෙම මාධ්‍ය වෙත අදහස් දක්වමින් අවධාරණය කළේය.

 කෙසේ වෙතත් මේ බව අනාවරණය වූ වහාම එම සුනඛයින්ට හිංසාකාරී වන ලෙස කටයුතු නොකරන මෙන් තමා උපදෙස් දුන් බවද ඒ මහතා වැඩිදරටත් පැවසීය

දූෂණ ලේකම් කාර්යාලයේ කාලය අවසන් වීමක් මිස අහෝසි කිරීමක් සිදු වන්නේ නැහැ – රාජිත

දූෂණ ලේකම් කාර්යාලයේ කාලය අවසන් වීමක් මිස  අහෝසි කිරීමක් සිදු වන්නේ නැතැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය  සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න පැවසීය.

මෙම කාර්යාලය  වසරක කාලයක් සදහා පමණක් ආරම්භ කළ බවත් පසුව තවත් කැබිනට් පත්‍රිකාවක් මගින් මාස 6ක කාලයකට  දීර්ඝ  කල බවත් හෙතෙම කීය.

එලෙස දිගු කල කාලයද කාලය ජුලි 31න් අවසන් වන බැවින් එහි කටයුතු නැවැත්වීමට සිදු වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

රජයේ ප්‍රවෘත්ති දේපාර්තමේන්තුවේදී (12) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

එසේම මෙම කාර්යාලය පිහිටවන ලද්දේ  මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාශයට අවශ්‍ය මූලික ලිපි ගොණු සකස් කිරිමට මිස දූෂණ සෙවීමට නොවන බවද  දූෂණ සෙවීමට මේ වන විටත් ආයතය 14 ක් තිබෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එසේම මෙම ආයතනය පිහිටුවන ලද්දේ මහා පරිමාණ දූෂණ සෙවීමට මිස සිල්ලර චංචා සෙවීමට නොවන බවත් මේ වන විට එම ආයකනයට යොදවන ලද මුදල් ප්‍රමාණය හා එයින් ඉටු  කරන ලද කාර්යයන් පිළිබද ගැටලුවක් තිබෙන බවත් අමාත්‍යවරයා පැවසීය.