රවීන්ද්‍ර විජේගුණරත්න වයිස් අද්මිරාල් ධූරයට

නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරය සදහා ජනපතිවරයා විසින් පත් කළ වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා  අඟහරුවාදා (22) දිනයේ එම ධූරයේ වැඩ බාරගැනීමට නියමිතව තිබේ.

මේ වන විට නාවික හමුදාපතිධූරයේ කටයුතු කරන වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ලබන 22වනදා එම ධූරයෙන් විශ්‍රාම ගැනීමට නියමිත අතර නව නාවික හමුදාපතිවරයා ලෙස පත් කෙරුණු වයිස් අද්මිරාල්  සින්නයියා මහතා එදින සිය ධූරයේ වැඩ බාරගැනීමට නියමිතය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීධූරයට පත් වන දෙවන නාවික හමුදාපතිවරයා වන්නේ වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතායි.

මීට පෙර අද්මිරාල් දයා සඳගිරි මහතා 2005 වසරේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීධූරයේ කටයුතු කරනු ලැබීය.

නල්ලූර් කෝවිලේ තේර් පූජාව අද

යාපනය – නල්ලූර් කෝවිලේ අවසන් තේර් පූජාව අද (20) දෙස් විදෙස් බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් යාපනය නල්ලූර් කෝවිලේදී පැවැත්වෙයි.

මංගල්‍ය පැවති කාල සීමාව තුළ ලක්ෂ පහකට වැඩි පිරිසක් පූජාවන් වෙනුවෙන් සහභාගී වූ බව කෝවිලේ භාරකාර මණ්ඩලය පවසයි.

විදේශගත දමිළ ජනතාව විශාල පිරිසක් මෙවර නල්ලූර් මංගල්‍ය වෙනුවෙන් පැමිණීමද විශේෂත්වයකි.

දින 25ක කාලයක් පැවති මංගල්‍ය පූජා කටයුතු හෙට පැවැත්වෙන දිය කැපීමේ පූජාවෙන් අනතුරුව නිමා කිරීමට නියමිතය.

සිය පවුලේ දේපළ රාජසන්තක කර ඇති බව බොරුවක් – මහින්ද රාජපක්ෂ

රාජපක්ෂවරුන්ට අදාල නඩු ඇසීමට විශේෂ උසාවියක් පිහිටුවීමට කර ඇති යෝජනාව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ, නීතිය ඉදිරියේ සැමට සමානව සැලකීමේ මූලධර්මය හා නිර්දෝශීභවේ පූර්ව නිගමනය යන මූලධර්මයන්ට පටහැනි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 
 
යමපාලන ආණ්ඩුවේ මහාපරිමාන වංචා හා දූෂණ අනපේක්ෂිත හා විචිත‍්‍රවත් ලෙස හෙළිවෙද්දී සිය පවුලෙ සාමාජිකයින් සී. අයි. ඞී, යට හා හා මුල්‍ය අපරාධ කොට්ඨායට ගෙන්වා ජනතා අවධානය වෙනතකට යොමු කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින  බව එ් මහතා පවසයි.
 
සිය පවුලේ සාමාජිකයින්ට අයත් කෝටි 500ට අධික වටිනාකමක් ඇති දේපොල උසාවි හෝ ආණ්ඩුව විසින් රාජසන්තක කර ඇති බවට ආණ්ඩුව කරනා ප‍්‍රකාශයද අමූලික බොරුවක් බව එ් මහතා නිවේදනයේ සඳහන් කර ඇත.
 
සිය පවුලේ කිසිදු දේපොලක් රජය විසින් හෝ උසාවියක් විසින් රාජසන්තක කර නැති අතර වෙනත් පුද්ගලයින්ට අයිති දේපොල සිය පවුලේ දේපොල ලෙස හුවා දැක්වීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බවද එ් මහතා පවසයි. 
 
මීට පෙර පැවැති කිසිදු ආණ්ඩුවක් යමපාලන ආණ්ඩුව මෙන් සිය දේශපාලන ප‍්‍රතිවාදීන්ගේ පවුල්වල සාමාජිකයින්ට මෙලෙස හිරිහැර කර නැති බවද එ් මහතා නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර ඇත.

විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ගැටළු විසදීමට තොරතුරු මධ්‍යස්ථානයක්

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ගැටළු විසඳීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක තොරතුරු මධ්‍යස්ථානයක් ආරම්භ කර ඇති බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ එම තොරතුරු මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇති බව අමාත්‍යවරිය පවසයි.
තමන් විදේශගත වන රැකියා නියෝජිත ආයතනය සම්බන්ධයෙන්ද අදාළ තොරතුරු මධ්‍යස්ථානය මඟින් තොරතුරු ලබා ගත හැකි බව ද තලතා අතුකෝරල අමාත්‍යවරිය සඳහන් කරයි.
මේ අතර ගමින් ගමට ගොස් විදෙස් ගත ශ්‍රමිකයන්ගේ ගැටළු සොයාබැලීමේ වැඩසටහනක් අම්පාර දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යල ආවරණය වන පරිදි පැවැත්වීමටද විදේශ රැකියා අමාත්‍යංශය කටයුතු යොදා තිබේ.
එම වැඩසටහන් ලබන 19,20, 21, 27 හා 28 යන දිනවලදී පැවැත්වෙන බව වාර්තා වෙයි.

ශිරන්ති රාජපක්ෂගෙන් සී.අයි.ඩී ය පැය 3ක් ප්‍රශ්න කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් පැය තුනකට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සිරිලිය පදනමට අයත්ව තිබු ඩිෆෙන්ඩර් රථයක් සම්බන්ධයෙන් මෙහිදි ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
අද උදැසන 10.00ට පමණ ශිරන්ති රාජපක්ෂ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද ඒ සඳහා එක්ව සිටියේය.

LTTE යළි ක්‍රියාකාරී වන බව පැවසීම බොරුවක් – මේජර් ජනරාල් ජානක රත්නායක

පුනරුත්ථාපනය ලැබූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් උතුරු පළාතේ පසුගිය දිනවල සිදුවූ කිසිඳු ප්‍රචණ්ඩකාරී ක්‍රියාවකට සම්බන්ධ වී නොමැති බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් ‍මේජර් ජනරාල් ජානක රත්නායක මහතා පවසයි.
විවිධ න්‍යාය පත්‍රවලට අනුව කටයුතු කරන පිරිස් නැවත එල්.ටී.ටී.ඊ ය හිස ඔසවමින් පවතින බවට සිදු කරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.
පසුගිය කාලය තුළ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් 12,190 දෙනෙකු පුනරුත්ථාපනය කර සමාජගත කළ බව පවසන කොමසාරිස් ජනරාල්වරයා පුනරුත්ථාපනය සඳහා සිටින්නේ තවත් එල්.ටී.ටී.ඊ සාමාජිකයින් 10 දෙනෙකු පමණක් බවද සඳහන් කළේය.
 වව්නියාව, පූන්තෝට්ටම් පුනරුත්ථාපන පුහුණු මධ්‍යස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින් පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් ‍මේජර් ජනරාල් ජානක රත්නායක මහතා මෙම අදහස් පළ කළේය.

බැදුම්කරේට සහය දක්වන්නන්ට විවිධ පාර්ශව සිදු කරන ප්‍රකාශ පදනම් විරහිතයි – යසන්ත කෝදාගොඩ

බැඳුම්කර කොමිසමට සහය දක්වන නීතිපති දෙපාර්තමේන්තු නීතිඥ  කණ්ඩායම සම්බන්ධයෙන් විවිධ පාර්ශව පදනම්  විරහිත ප්‍රකාශ සිදු කරමින් සිටින බව අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා පවසයි.
බැදුම්කර කොමිසමේ (11) ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව කියා සිටියේය.
කොමිසම ලබාදුන් නියෝගයකට අනුව අර්ජුන් ඇලෝසියස් මහතාගේ ජංගම දුරකථනය පසුගියදා කොමිසම බාරයට ගත් අතර එහි දත්ත විමර්ශනය කළ තාක්ෂණික විශේෂඥයින් දුරකථනයේ තිබූ දත්ත ඇතුළත් පිටු 8600ක පී.ඩී.එෆ් ලිපි ගොනුවක් කොමිසමට සහය පළ කරන නීතිපති  දෙපාර්තමේන්තුවේ කණ්ඩායමට ලබාදී තිබුණි.
එම දුරකථන දත්ත වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව බැඳුම්කර කොමිසමට කැඳවනු ලැබූ සාක්ෂිකරුවන්ගෙන් කොමිසම ඊට අදාළව ප්‍රශ්න කරනු ලැබීය.
කෙසේවෙතත් අද බැඳුම්කර කොමිසමේදී අතිරේක  සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා සඳහන් කළේ අර්ජුන් ඇලෝසියස් මහතාගේ ජංගම දුරකථනයේ දත්ත ඇතුළත් පිටු 8600 ක වාර්තාව තමා විසින් පැය 48ක් තුළ විමර්ශනය කිරීම සම්බන්ධයෙන් ඇතැම් අඥානවන්ත පුද්ගලයින් විවිධ ප්‍රකාශ සිදු කරමින් සිටින බවයි.
එහිදී අදාළ ප්‍රකාශ කොමිසම තුළදී නොව ඉන් පිටත සිදු කළ ප්‍රකාශ හේතුවෙන් ඒ සම්බන්ධයෙන්  කොමිසමේ ප්‍රකාශ කිරීම සුදුසු නොවන බව සිතන්නේ යැයි අර්ජුන් මහේන්ද්‍රන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා කොමිසමට කියා සිටියේය.
නමුත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පැවසුවේ  කොමිසමට සහය වන නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධයෙන් අදාළ ප්‍රකාශ සිදු කරන නිසා තමන් එම ප්‍රකාශ සම්බන්ධයෙන් කොමිසමේදී අදහස් පළ කළ යුතු බවයි.
ජංගම දුරකථන ඇතුළු විද්‍යුත් දත්ත සම්බන්ධයෙන් විමර්ශන කරමින් කොමිසමට සහය වෙන තාක්ෂණික විශේෂඥයින්  කොමිසමට ලබා දෙන්නේ එම දත්ත පහසුවෙන් සොයා ගත හැකි වන පරිදි  සකස් කරන ලද සංස්කරණය කළ නොහැකි පී.ඩී.එෆ් ලිපි ගොනුවක් හරහා බව යසන්ත කෝදාගොඩ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙවැනි ප්‍රකාශ සිදු කිරීම මඟින් අදාළ පුද්ගලයින් සිය ඥානවන්ත භාවයේ ප්‍රමාණය ප්‍රදර්ශනය කරන බවයි.

ලංකාවේ ප‍්‍රථම වරට කසළවලින් විදුලිය

කසළවලින් විදුලිය උපදවන ශ්‍රී ලංකාවේ ප‍්‍රථම ව්‍යාපෘති දෙකෙහි ඉදිකිරීම් ආරම්භ කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (10) පෙරවරුවේ කෙරවලපිටියේදී සිදුවිය.
කසළ නිසි ලෙස බැහැර නොකිරීම හේතුවෙන් පසුගිය කාලය තුළ ගැටලු රැසකට මුහුණදීමට සිදුවූ අතර ඒ සඳහා ස්ථිරසාර විසඳුමක් ලෙස මෙම ව්‍යාපෘතින් ක්‍රියාත්මක කෙරෙයි.
කසළ සම්පතක් කර ගනිමින් විකල්ප ක්ෂේත‍්‍ර සඳහා යොමු වීම මෙතෙක් ශ්‍රී ලංකාව තුළ සිදු නොවූ අතර කසළ කළමනාකරණය සඳහා දියුණු රටවල භාවිත කරන තාක්ෂණික ක‍්‍රමවේද හා මෙවලම් භාවිතයට ගනිමින් සනීපාරක්ෂක සහ පරිසර හිතකාමී ලෙස අවසන් බැහැරලීමේ ක‍්‍රමවේදයක් ස්ථාපිත කිරීමත් ඒ අතරතුර කසළවලින් ගත හැකි ප‍්‍රයෝජන ලබා ගැනීම සඳහාත් විධිමත් වැඩසටහනක් මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය විසින් ක්‍රියාවට නංවා තිබේ.
ඒ යටතේ වත්තල, කෙරවළපිටිය ප‍්‍රදේශයේ සිදුකෙරෙන මෙම ව්‍යාපෘති සඳහා ලංකා ජෑන්ග් ආයතනය හා වෙස්ටර්න් පවර් ආයතනය රුපියල් බිලියන 27 ක ආයෝජනයක් සිදු කර තිබේ.
මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමත් සමග එක් බලාගාරයකින් මෙගාවොට් 10 ක විදුලිබල ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට නියමිත අතර මීට සමගාමීව පුත්තලම, අරුවක්කාලු ප‍්‍රදේශයේ සනීපාරක්ෂක කසළ රැඳවුම් මධ්‍යස්ථානයක් ද ස්ථාපිත කෙරෙයි.
ඉදිරි වසර දෙක තුළ මෙම සියලු ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතයි.
මෙම අවස්ථාව සදහා අමාත්‍යවරු රැසක් එක්ව සිටියේය.

විද්‍යා ඝාතනයට සම්බන්ධ පුද්ගලයෙක් බේරා ගැනිමට සිදුවන මෙහෙයුමක් ගැන හෙළි වේ

විද්‍යා දැරිය ඝාතනය සම්බන්ධ සැකකරුවකු මුදවා ගැනීමට විජයකලා මහේස්වරන් ඇමැතිවරිය පැමිණීම පිළීබදව සමාජජාලා ඔස්සේ විකාශනය වන වීඩියෝව සම්බන්ධයෙන් අධීකරණය නියෝගයක් නිකුත් කරන්නේ නම් පොලීසිය එ් සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක වන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසීයය. 

එ් මහතා මෙසේ පැවුසවේ විද්‍යා ඝාතනයට සම්බන්ධ පුද්ගලයෙක් බේරා ගැනිමට  විජයකලා මහේස්වරන් ඇමතිවරිය ගොස් සිටින ආකාරය සම්බන්ධයෙන් සමාජජාලා ඔස්සෙ විකාශනය වන විඩියෝවක් සම්බන්ධයෙන් ඊයේ (02 පැවැති අමාත්‍ය මණ්ඩල හමුවේදී මාධ්‍ය කළ විමසීමට පිළිතුරු දෙමිණි.

යාපනය මහාධිකරණයේ ති‍්‍රපුද්්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ එ් සම්බන්ධ නඩුවක් ඇති බවත් එහිදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා වෙමින් පවතින බවත් එ් මහතා පැවසිය. 

තවමත් ඊට අදාල නඩු කටයුත්ත සිදු වෙමින් පවතින හෙයින් සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය නියෝගයක් නිකුත් කළ විට ඊට අනුව පොලිසීය කිි‍්‍රයාත්මක වන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාා වැඩිදුරටත් සඳහන් කළේය. 

ඉරිදා දිනයේ සහ පෝහොය දිනයේ් ටියුෂන් පන්ති තහනම් කිරීමේ පනතක්

ඉරිදා දිනයේ සහ පෝහොය දිනයේ් ටියුෂන් පන්ති තහනම් කිරීමේ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය  විජයදාස රාජපක්ෂ මහතා පවසයි. 
 
මෙම පනත මගින් පොහොය දිනයේ සහ ඉරිදා දිනයේ පවස සවස 2 පසුවන තෙක් පුද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමට නියමිතව ඇත.
 
ආගමික පරිසරයේ හැදී වැඩෙන පුරවැසියන්ගෙන් රටට යහපතක්ම සිදුවන හෙයින් එවන් පරිසරයක් රට තුළ නිර්මාණය කිරීමට නිති පැනවෙන මෙම පනත සම්බන්ධයෙන් මේ වන විට ආයතන ප‍්‍රධානින් සමඟ ද සාකච්ඡුා පවත්වා ඇත. 
 
ඉදිරියේදී උපකාරක පන්ති පවත්වන ගුරුවරුන් සමඟද මේ සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමට නියමිතව ඇති අතර මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින්ගේ උපදෙස්ද ලබා ගැනිමට නියමිතව ඇතැයි එ් මහතා සදහන් කරයි. 
 
ඇමැතිවරයා මෙසේ අදහස් දක්වා ඇත්තේ අගමැතිවරයාගේ දේශපාලන දිවියට වසර 40ක් සම්පූර්ණ වීම නිමිකත්තෙන් මහරගම තරුණ සේවා සභෘවේ පැවැති උත්සවයක් අමතමිණි.