විරෝධතාකරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය යුරෝපා සංගමයෙන් හෙළා දකී

ගෝටාගෝගම අරගලකරුවන්ට එරෙහිව ආරක්ෂක අංශ යොදවා රජය සිදු කළ මර්දනකාරී පිළිවෙත යුරෝපා සංගමය මගින් හෙළා දැක ඇත. මේ ගැන ලිපියක් යොමු කරන සංගමයේ විදේශ කටයුතු ප්‍රකාශකවරයා ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ පුද්ගල අයිතිවාසිකම් තහවුරු කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන අතර ලංකාවට GSP+ සහනය ලබාදීමේදී එකඟවූ කාරණා ගැනද මතක් කර දෙයි.

අදාළ ලිපියේ පරිවර්තය පහතින්

ශ්‍රී ලංකාවේ මෑත කාලීන නොසන්සුන්තාව පිළිබඳව යුරෝපා සංගමයේ ප්‍රකාශය

ජනාධිපති රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් පසු රටේ නව ජනාධිපති ලෙස රනිල්
වික්‍රමසිංහ තෝරා පත් කර ගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කඩිනම්
ක්‍රියාමාර්ගයෙන් පසුව, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් තුළ ශ්‍රී
ලාංකික පුරවැසියන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ පුද්ගල අයිතිවාසිකම්
තහවුරු කිරීමේ අවශ්‍යතාවය යුරෝපා සංගමය අවධාරණය කරයි. විරෝධතාකරුවන්ට එරෙහි අනවශ්‍ය ප්‍රචණ්ඩත්වය පිළිබඳ වාර්තා ලැබී ඇති අතර යුරෝපා සංගමය සාමකාමීව රැස්වීමේ සහ නිදහසේ අයිතියේ වැදගත්කම අවධාරණය කරනු ලබයි.
සාමකාමී පෙළපාලිකරුවන්ට එරෙහිව අනවශ්‍ය ලෙස බලය යෙදවීම හෙළා දකී.

රටෙහි ආර්ථිකය තිරසාර මාවතකට ආපසු ගෙන ඒම සඳහා ව්‍යුහගත ප්‍රතිසංස්කරණ සැලැස්මක් කඩිනමින් ස්ථාපිත කිරීම හදිසි අවශ්‍යතාවයකි. මෙම සන්දර්භය තුළ, යහපාලනය සහ ප්‍රතිසන්ධාන ප්‍රයත්නයන් ප්‍රවර්ධනය කරමින් මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය වේ.

ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්මවලට ගරු කරමින්, වඩාත් ස්ථාවරත්වය සහ ආර්ථික
ප්‍රකෘතිය වෙත නැවත පැමිණීම සහ ප්‍රතිසන්ධාන න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන
යාම ඉලක්ක කර ගනිමින්, ශ්‍රී ලාංකික ජනතාවට පක්ෂව කෙරෙන සියලු
ප්‍රයත්නයන් සඳහා යුරෝපා සංගමය අඛණ්ඩව සහාය දෙනු ඇත.

වසර ගණනාවක් පුරා, යුරෝපා සංගමය සහ එහි සාමාජික රටවල් ශ්‍රී ලාංකික
ජනතාවට යුරෝ බිලියන 1 කට වැඩි ආධාර ලබා දී ඇත. GSP+ යෝජනා ක්‍රමය යටතේ යුරෝපීය තනි වෙළඳපොළට මනාප ප්‍රවේශය 2017 දී නැවත හඳුන්වාදීම ශ්‍රී
ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය වී ඇත. නව රජය සිය GSP+
කැපවීම්වලට සම්පූර්ණයෙන්ම අනුකූලව කටයුතු කරනු ඇතැයි යුරෝපා සංගමය
අපේක්ෂා කරයි. වර්තමාන සහ අනාගත සහයෝගිතා වැඩසටහන් (යුරෝ මිලියන 70) ශ්‍රී ලංකාවේ වඩාත්ම හදිසි අවශ්‍යතා සමඟ පෙළගැසී ඇත. යුරෝපා සංගමයෙහි ඒකාබද්ධ සිවිල් ආරක්ෂණ යාන්ත්‍රණය හරහා ඖෂධ බෙදා හැරීමට අමතරව, වඩාත් අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් ඉලක්ක කරගත් ක්‍රියාවන්ට අරමුදල් සැපයීම සඳහා සාමාජික රටවල් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවද සමීපව නිරීක්ෂණය කරයි.

Peter Stano
Lead Spokesperson for Foreign Affairs and Security Policy
The European Union

මෛත්‍රී මොඩිෆයි කර පදිංචිව සිටි සුපිරි නිල නිවස ජනපති රනිල්ට

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පදිංචිව සිට පසුව නීතිමය කටයුතු
නිසා දැනට ඉවත්ව සිටින කොළඹ මහගමසේකර මාවතේ (පෙර පැජට් පාර) පිහිටි නිවස නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස අරගලකරුවන් විසින් ගිනි තැබීමෙන් පසු ඔහු මේ වන විට ආරක්ෂිත ස්ථානයක පදිංචිව සිටින අතර එය ආරක්ෂක හේතුමත හෙළි කර නැත.
විකල්ප ලෙස ජනාධිපති මන්දිරය හෝ අරලියගහ මන්දිරය ජනපතිවරයාගේ පදිංචියට යොදාගත හැකි නමුත් ඒ ස්ථාන දෙකෙහි පිළිසකර කටයුතු සදහා තව දිගු කලක් ගතවන බව වාර්තා විය.
මෛත්‍රීපාල සිරිසේන මහතා පරිහරණය කළ කොළඹ, මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහුටම ලබාදීමට 2019 වසරේ ඔක්තෝබර් මාසයේදී අමාත්‍ය මණ්ඩලය තීරණයක් ලබාගත් අතර එම තීරණය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය මාර්තු 29වැනිදා අතුරු නියෝගයක් නිකුත් කළේ පෙත්සම් විභාගය අවසන් වන තෙක් බලපැවැත්වෙන පරිදිය.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්‍ෂ ආචාර්ය පාක්‍යසෝති
සරවනමුත්තු මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළ අතුරු
ඉල්ලීම් පිළිබඳ විභාගයෙන් අනතුරුව විනිසුරු මඩුල්ල මෙම තීරණය නිකුත්
කළේය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිව සිටියදී භාවිත කළ කොළඹ-07, මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු විශ්‍රාම යාමෙන් පසුවත් ඔහුටම ලබාදීමට 2013 ඔක්තෝබර් මස 15 වැනිදා අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගෙන ඇතැයිද, එම තීරණය ගනු ලැබූ අවස්ථාවේ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළේ යැයිද තමන්ට හිමි වරප්‍රසාද ලබාගැනීම සඳහා තමන්ම මෙලෙස මැදිහත්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මෙන්ම ජනාධිපති වරප්‍රසාද පනතට පටහැණි යැයිද සඳහන් කරමින් පෙත්සම්කාර පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

එම ක්‍රියා කලාපයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සීරිසේන මහතා සිය බලය
අයුතු ලෙස පරිහරණය කොට ඇතැයිද, එම කාල සීමාවේදී මහජන මුදල් රුපියල්
මිලියන 180ක් වැය කර අදාළ නිවස අලුත්වැඩියා කර ඇතැයිද පෙන්වාදෙන
පෙත්සම්කරු පාරදෘෂයභාවයකින් තොරව ගනු ලැබූ මෙම අමාත්‍ය මණ්ඩල තීරණය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය යටතේ සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවද පෙන්වාදී තිබිණි. මෙම පෙත්සමට අදාළ අතුරුඉල්ලීම් පිළිබඳ විභාගය පැවැත්වූ අවස්ථාවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මහතා කරුණු දක්වමින් මෙම නඩුකරයට පාදක වන නිවස සිය සේවාදායකයාගේ නිල නිවස මිස පුද්ගලික නිවසක් නොවන්නේ යැයිද දන්වා තිබුනි.
මෙම නඩුව අවසන්වරට විභාගවූ මැයි මාසයේ අධිකරණ නියෝගයක් මගින් හිටපු ජනාධිපතිවරයා එම නිවෙසින් ඉවත් කෙරිණි.
තවමත් පෙත්සම විබාග වන අතරවාරයේ ජනාධිපතිවරයාට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පදිංචිව සිටි නිවස ලබා දීමට තීරණය කර ඇත.

Monkeypox සඳහා WHO හදිසි තත්වයක්

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වඳුරු උවදුර ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම තීරණය ගෙන ඇත්තේ ඒ ගැන කළ රැස්වීමේ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුවයි. වඳුරු රෝගය මේ වන විට රටවල් 80කට ව්‍යාප්ත වී ඇත. මේ වන විට ශ්‍රී ලංකාවට ආසන්න ඉන්දියාවෙන්ද මෙම වෛරස් ආසාදිතයින් 3 දෙනෙකු වාර්තා වී තිබේ.

ඇමරිකාවේ පළමු වරට මෙම ආසාදනයට ලක්වූ ළමුන් දෙදෙනෙකුද සොයාගෙන ඇත. රෝග පාලනය සහ වැළැක්වීමේ සෞඛ්‍ය ඒජන්සි මධ්‍යස්ථාන (CDC) අනුව, එක් දරුවෙකු කැලිෆෝනියාවේ වන අතර අනෙක් දරුවා අලුත උපන් බිළිඳෙකු වන නමුත් එක්සත් ජනපදයේ පදිංචිකරුවෙකු නොවේ.

දරුවන් දෙදෙනාගේම තත්ත්වය ස්ථාවර බව සෞඛ්‍ය බලධාරීහු පවසති. ප්‍රතිකාර
සඳහා ඔවුනට Tecovirimat නමැති ප්‍රතිවෛරස් ඖෂධය ලබා දී ඇත. CDC ට අනුව, මෙම ඖෂධය වයස අවුරුදු 8 ට අඩු දරුවන්ට ලබා දිය යුත්තේ ඔවුන් බරපතල ආසාදන අවදානමක් ඇති බැවිනි.

මේ වසරේ පැතිර ගිය පළමු වඳුරු උවදුරු රෝගියා මැයි 6 වනදා බ්‍රිතාන්‍යයෙන්
සොයා ගන්නා ලදී. එ් බොහෝ රෝගීන් පිරිමින් සමඟ ලිංගිකව හැසිරෙන සමලිංගික තරුණයන් ය. කෙසේ වෙතත්, මෙම රෝගය ඕනෑම කෙනෙකුට වැළඳිය හැකිය. රෝගියා සමඟ සමට සම ස්පර්ශ කිරීමෙන් හෝ ඔහුට ආහාර ලබා දීමෙන් ද ආසාදනය පැතිරෙයි. මීට අමතරව, ආසාදිත පුද්ගලයෙකුගේ ඇඳුම්, උපකරණ සහ ඇඳ ඇතිරිලි ස්පර්ශ කිරීමෙන්ද වඳුරු රෝගය පැතිර යා හැකිය.

සීඑන්එන් වාර්තාවට අනුව, එක්සත් ජනපද රජය මේ වන විට වඳුරු පොක්ස් එන්නත් ලක්ෂ 3 කට වැඩි ප්‍රමාණයක් ජනතාව වෙත ලබා දී ඇත. මෙයින් අදහස් කරන්නේ සති කිහිපයක් ඇතුළත පුරවැසියන් දහස් ගණනක් ඉක්මනින් එන්නත් කරනු ඇති බවයි.
CDC වලට අනුව, එක්සත් ජනපදයේ මිලියන 1.5 ක ජනතාවක් එන්නත සඳහා සුදුසුකම් ලබයි. සෑම කෙනෙකුටම Jynneos එන්නත මාත්‍රා දෙකක් ලබා දෙනු ඇත.

දත්ත වලට අනුව , දැනට ලෝකයේ වඳුරු උවදුරු රෝගීන් 17,000 ක් පමණ සිටින ව පැවසෙන අතර ඉන්  රටවල් 80 ක රෝගීන් 16,886 ක් තහවුරු කර ඇත. මෙයින් දරුණු පීඩාවට පත් වූවන් සංඛ්‍යාව 11,985 කි. ඒ අතරම, රෝගයට ගොදුරු වූ පළමු රටවල් 10 අතරට බ්‍රිතාන්‍යය, ස්පාඤ්ඤය, ඇමරිකාව, ජර්මනිය, ප්‍රංශය,
පෘතුගාලය, කැනඩාව, නෙදර්ලන්තය, ඉතාලිය සහ බෙල්ජියම ඇතුළත් වේ. වඳුරු
උවදුරෙන් මේ වසරේ පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබේ.

මේ සති 3 තමයි දුෂ්කරම කාලය – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

පවතින ඉන්ධන හා ගෑස් තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ
මහතා  (14) ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ ඉන්ධන හා ගෑස් සම්බන්ධයෙන්
අති දුෂ්කර සති තුනක කාලය එළඹ ඇති  බවයි.

ගෑස් නැවත් පැමිණ ඇති බවත් අත්‍යවශ්‍ය සේවාවන්ට පමණක් එය ලබා දෙන බවත් ඉන් පසුව එන නැව් වලින් තවත් මාස හතරකට ලබාදීමට අපේක්ෂා කරන බවත් කීය.තියන හැටියට ඊළග නැව එන්න දින 14 ක් යනු ඇති බවත් කීය.
ඉන්ධන තත්වය සැලකීමේදී සියයට 50 ක් පමණක් තිබෙන බව කියන අගමැතිවරයා ප්‍රවාහන ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්ට පමණක් තොග ලබාදෙන බවත් දින 7 කට ඒවාට ලබාදීමට ප්‍රමාණවත් බවත් 16 වනදා නැවක් ලංකාවට ඒමට නියමිත බවත් තව නැව් දෙකක් ගැන බලාපොරොත්තු ඇති බවත්ඒ අනුව දළ වශයෙන් මාසය අවසන් වනතෙක් තව කොටස් නිකුත් කිරීමට හැකිවනු ඇතැයි සැලසුමක් ඇති බවත් කීය.මේ ආකාරයට ඊළඟ
මාසයටද එම සැලසුමම ක්‍රියාත්මක කිරීමට සාකච්ඡා කරන බව කීය. පසුව
ඉන්දියානු ණය ලබාගෙන ඉතිරි ටික කරන්නට අපේක්ෂා කරන බව කීය.
ඩොලර් මෙන්ම රුපියල් හිඟයක් ද පවතින බැවින් මුදල් මුද්‍රණය කිරීමට අවසර
ගත් බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

අපට ආදායම් නැහැ. මේ නිසා රුපියලේ හිඟ ප්‍රශ්නය මේ වසර අවසන තෙක්ව යනවා.. ඩොලර් හිඟය අයිඑම්එෆ් ලවා විසදාගන්න බලනවා… ඔහු කීය.
ඊයේ ඇමරිකානු රාජ්‍ය ලේකම් තමාට කතා කර සහය දෙන බව කී බවත් ජනපති බයිඩන් තානාපති අමතා සහය පළ කළ බවත් කීය. ජපානය සමග ලංකාවට පැවති ගැටලු විසඳාගනිමින් යන බවත්, ලෝක ආහාර වැඩසටහනද සහය දෙන්නට සූදානමින් සිටින බවත් කීය.

චීනයේ හිටපු තානාපති දන්වා සිටි පරිදි චීනයේ සහය ලබාගත හැකි මට්ටමක්
පවතින බවත්, තෙල් ගන්නට ඉන්දියාවෙන් ණය ලැබෙන බවත් කීය.
ජනතාවට මේ නිසා දුක් විදින්නට සිදුවීම ගැන කණගාටුවන බවත් ප්‍රශ්න
ඉක්මණින් විසදන්නට බැරිව යාම ගැනත් කණගාටුවන බවත් අගමැති අවසන් වශයෙන් පැවසීය.

ශ්‍රී ලන්කන් ගුවන් නියමුවන් වැලැක්වූ අනතුර

ලන්ඩනයේ සිට කොළඹ බලා පියාසර කරමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 504 දරන ගුවන් යානය ඊයේ තුර්කියට ඉහලින් වූ උඩු ගුවනේදී බ්‍රිතාන්‍ය
එයාර්වේස් ගුවන් සේවයට අයත් ගුවන් යානාවක් සමග ගැටීමට යාමෙන් සිදුවීමට
ගිය විශාල විපතක් වළක්වා ගැනීමට ශ්‍රී ලන්කන් ගුවන් නියමුවන් ගේ දක්ෂකම
නිසා හැකිවී ඇති බව වාර්තා වෙයි.

මගීන් 275 දෙනෙකු සමග ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපොළෙන් ගමන් ඇරඹු UL 504 දරන ගුවන් යානය නිරුපද්‍රිතව කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ සවස ලඟා වී තිබුණි.

ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපොලේ සිට කටුනායක බලා ගමන් ඇරඹු ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 504 දරන ගුවන් යානය තුර්කි ගුවන් සීමාවට ඇතුල්වීමෙන් පසු අන්කාරා ඉහළින් පියාසර කරමින් සිටියදී එහි ගුවන් පාලක මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලන්කන් ගුවන් යානයේ නියමුවාට අඩි 33,000 සිට අඩි 35,000ක් ඉහළට ගුවන් යානය පියාසර කරවන ලෙසට දැනුම් දී තිබෙයි.

තමන්ට ලබාදුන් උපදෙස් සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරීව සිටි ශ්‍රී ලන්කන්
ගුවන් නියමුවන් ඇතුළු යානයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ට නිරීක්ෂණය වී
ඇත්තේ ඒ වන විටත් ඔවුන්ට සැතපුම් 15 ක් ඔබ්බෙන් අඩි 35,000 ක් ඉහළින්
පියාසර කරන බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් යානයක් පියාසර කරමින් සිටින
බවයි.

බ්‍රිතාන්‍යය ගුවන් සේවයට අයත් ගුවන් යානය ගමන් කරන මාර්ගයට ශ්‍රී ලන්කන්
ගුවන් යානය රැගෙන යන ලෙස අන්කාරා හි පිහිටි ගුවන් ගමන් පාලක මධ්‍යස්ථානය දැනුම් දීම හේතුවෙන් ඔවුන් වහාම ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ට දැනුම් දීමට පියවර ගනු ලැබ ඇති බව වාර්තා වෙයි.

බ්‍රිතාන්‍යය ගුවන් සේවයට අයත් ගුවන් යානය ඒ වන විට ඩුබායි බලා පියාසර
කරමින් සිට ඇති අතර එහි ගමනාන්තය වී තිබුනේ සිංගප්පූරුවයි. එමෙන්ම මෙම
ගුවන් යානය ලන්ඩනයේ හිත්‍රෝ ගුවන් තොටුපොලෙන් පිටත්වී තිබුනේ ශ්‍රී
ලන්කන් ගුවන් යානය ගුවන් ගතවී සුළු මොහොතකට පසුව වීමද විශේෂත්වයකි.

කෙසේ වුවද මේ සම්බන්ධයෙන් ශ්‍රී ලන්කන් ගුවන් යානය සිදුකළ දැනුම් දීමෙන්
පසුව පරීක්ෂා කිරීමෙන් පසු, අන්කාරා ගුවන් ගමනාගමන පාලක මධ්‍යස්ථානය
විසින් ශ්‍රී ලනක්න් ගුවන් යානයේ කපිතාන්වරයාට දන්වා ඇත්තේ ඔවුන්ගේ
රේඩාර් පද්ධතියේ අඩි 35,000 ක් ඉහළට කිසිදු ගුවන් යානයක පියාසර කිරීමක්
අනාවරණය නොවූ බැවින් ශ්‍රී ලන්කන් ගුවන් යානයට ඉහළ නැගීමට අවසර දුන්
බවයි.

ඒ වන විට බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් ගුවන් යානයේ තම යානාවේ පිහිටි
රේඩාර් පද්ධතියෙන් හඳුනා ගත් ශ්‍රී ලන්කන් ගුවන් නියමුවා යානය අදාළ
සීමාවට රැගෙන නොගස් නැවත වරක් අන්කාරා ගුවන් ගමන් පාලකට දන්වා ඇත්තේ ඔවුන් ගේ තීරණය ගැන පරීක්ෂා කර බලන ලෙසයි.

එම දැනුම් දීමෙන් සුළු මොහොතකට පසුව ඇන්කාරා ගුවන් ගමන් පාලක මැදිරිය
විසින් ශ්‍රී ලන්කන් ගුවන් යානයේ නියමුවාට දැනුම් දී ඇත්තේ අඩි 35,000ට
ඉහළ අහසේ ගුවන් යානයක් ගමන් කරමින් ඇති බවට නිරීක්ෂණය වූ බැවින් පෙර
දැනුම් දුන් නියෝගය අවලංගු කරන බවයි.

තුර්කි ගුවන් ගමන් පාලක මැදිරිය විසින් සිදුකළ දැනුම් දීම අනුව ශ්‍රී
ලනක්න් ගුවන් යානය අඩි 35,000ක් ඉහළ මට්ටමට ඔවුන්ගේ යානය ගෙන ගියා නම් එය විශාල ඛේදවාචකයක් වීමට ඉඩ තිබුණි. මන්ද ශ්‍රී ලන්කන් ගුවන් යානයේ වේගයට අධික වේගයෙන් බ්‍රිතාන්‍යය ගුවන් සේවයට අයත් ගුවන් යානය ගමන් කරමින් තිබු බැවින් එම යානා දෙක උඩු ගුවනේදී ගැටීමට ලක්වීමට බොහෝ ඉඩකඩ තිබු බැවින්ය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 504 දරන ගුවන් යානයේ නියමුවන් ඇතුළු
කාර්ය මණ්ඩලයේ සුපරික්ෂාව හේතුවෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වා
ගැනීමට හැකිවූ අතර මගීන් 275 දෙනා ද සමග යානාව ආරක්ෂා සහිතව ඊයේ සවස කටුනායක ගුවන් තොටුපොළට ලඟා වූ බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

https://www.gossiplankanews.com/

ෂෙඩ්වල පෙට්‍රල් ඩීසල් තිබෙන ප්‍රමාණ දැනගන්න රජයෙන් වෙබ් සයිට් එකක්

ICTA ආයතනය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ එක්ව රට පුරා ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන තිබේද යන්න පරීක්ෂා කිරීම සඳහා අන්තර්ජාල වේදිකාවක් හඳුන්වා දී ඇත.

නිලධාරීන් පවසන පරිදි ඉන්ධන ලබා ගැනීමේ හැකියාව සහ ඊට අදාළ අනෙකුත්
තොරතුරු දිනපතා පෙරවරු 9.00 වන විට වෙබ් අඩවියට උඩුගත කෙරෙන අතර ඉන් පසු සෑම පැය භාගයකට වරක් වෙබ් අඩවිය යාවත්කාලීන කෙරෙනු ඇත.
මෙම වෙබ් අඩවියට අන්තර්ජාලයට පිවිසිය හැකි  ඕනෑම පරිගණකයකින් හෝ ජංගම දුරකථනයකින් සම්බන්ධවිය හැකිය.

වෙබ් අඩවියේ ලිපිනය මෙසේය.
https://fuel.gov.lk/

සනත් නිශාන්ත හා සමන්ලාල් ඇප මත නිදහස් ඩෑන් ප්‍රීයසාද් තවමත් බන්ධනාගාරයේ

මැයි මස 9 වැනිදා ගාලුමුවදොර සාමකාමී විරෝධතාකරුවන්ට පහර දීමේ සිද්ධිය
සම්බන්ධයෙන්  රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සනත්
නිශාන්ත, මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ ය.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේ, එක් සැකකරුවෙකුට මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙක බැගින් නියම කරන බවයි.
ඩෑන් ප්‍රීයසාද් නමැත්තාට ඇප නොදුන් අතර ලබන 22 වැනිදා දක්වා තවදුරටත්
රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම වූයේ ඔහුට තවත් නඩුවක ඇප මතසිටියදී මෙම වරද සිදුකිරීම නිසාය.

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්
මහතාට ස්ථාන මාරුවීමක් දෙන ලෙස සහ පොලිස් ආඥා පනත යටතේ ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපතිවරයා දුන් උපදෙස් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධව අධිකරණයට කරුණු දක්වන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළේ ය.

මේ අතර අධිකරණ ඇප මත මුදා හැර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු,
පාර්ලිමේන්තු මන්ත්‍රී නිලාන් ජයතිලක ඇතුළු සෙසු සැකකරුවන් අද අධිකරණය
හමුවේ පෙනී සිටියේ ය.

දුමින්ද සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට

මරණ දඩුවම් ලදමුත් ජනපති සමාව ලැබ නිදහස්ව සිටි  දුමින්ද සිල්වා අධිකරණ
නියෝග අනුව පොලිසිය නැවත අත්අඩංගුවට ගෙන තිබේ.කෙසේ වෙතත්
ඔහු රෝහල්ගතව සිටින නිසා එසේ සිටියදි ඔ ඔහු  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ‘රෝහල් ඇඳ අඩස්සියක්’ ලෙස ගෙන ඇති බව පොලිසිය පවසයි.
භාරත ගාතනය නිසා මරණීය දණ්ඩනයට ලක්ව සිටි ඔහු ජනපති සමාව ලබා නිදහස්ව සිටියදි ඊට එරෙහිව හිරුනිකා ප්‍රේමචන්ද්‍ර හා ඇගේ මව ලබාගත් අධිකරණ නියෝග අනුව නිදහස අත්හිටුවීමට ලක් විමෙන් පසු  අධිකරණ නියෝගයකට අනුව  දුමින්ද සිල්වා   අත්අඩංගුවට ගැනුනේ  ශ්‍රි ජයවරධනපුර රෝහලේ නේවසිකව ප්‍රතිකාර ලබමින් සිටින විටදීය.

අපස්මාර තත්ත්වයක් හේතුවෙන් අද පෙරවරුවේ   ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ,
ස්නායු ශෛල්‍ය විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න ගේ අධීක්ෂණය යටතේ 18 වැනි වාට්ටුවට ඇතුළත් වී ඇති නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් ඔහු රදවා ඇති අතර පසුව බන්ධනාගාරයට රැගෙන යන්නට අපේක්ෂා කරයි.දුමින්දට මින් ඉහත සිංගප්පුරු ගොස් කාලයක් තිස්සේ එහි රෝහලක නතරවන්නට නිර්දේශ කළේද මෙම වෛද්‍යවරියමය.

මුදල් ඇමති ධූරයේ දිවුරපු රනිල් – මහබැංකු අධිපති ඉවත්වෙයිද ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික
ප්‍රතිපත්ති අමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබේ. අද (25) පෙරවරුවේ කොළඹ,
කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ
අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දී තිබේ.

රනිල්ගේ දේශපාලන දිවියේ මුදල් ඇමති ධූරය ගත් ප්‍රථම වතාව මෙයයි.
අලි සබ්‍රි මහතාගෙන් පුරප්පාඩුවූ ඇමති ධූරය ඔහුට භාරගන්නට සිදුවූයේ එය
බාරගන්නට නැවත සබ්‍රි අකමැතිවීමෙන් පසුය.
ශ්‍රී ලංකාව දරුණුම මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති අවස්ථාවේ රනිල් මත ඒ අනුව
විශාල කාර්යභාරයක් පැවරේ.
රනිල්ගේ පත්වීමට වත්මන් මහබැංකු අධිපතිවරයා කැමැත්තක් දක්වා නැති බවද
දේශපාලනආරංචි වාර්තා කර තිබුණි.
ඉදිරි දිනවල නන්දලාල් මහතා වෙනුවට නැවත කුමරස්වාමි මහතා මහබැංකු අධිපති ධූරයට පත්වනු ඇතිබවටද ආරංචි පවතී.

උතුරු මැද පළාතේ තැලසීමියා රෝගින් අවදානමක

උතුරු මැද පළාතේ තැලිසීමියා රෝගයෙන් පෙළෙන රෝගීන්ට රුධිරය මාරු කිරීමට අවශ්‍ය රුධිර බහාලුම් මලු හා ඖෂධවල හිගතාවෙන් රෝගීන් 350ක් පමණ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන බව එම රෝගීන් රැක බලා ගත්තා රෝගීන්ගේ දෙමවුපියෝ පෙන්වා දෙති.  තැලසීමියා රෝගීන්ට විශේෂිත වෙතම වාට්ටුවක් හා රෝගී සත්කාරක සේවා ඒකකයක් අනුරාධපුර ශික්ෂණ රෝහලේ පවතින අතර එහි තැලිසීමියා රෝගීන් 300කට වැඩි පිරිසක් ප්‍රතිකාර ලබන බවද ඔවුහු පවසති.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විශේෂිත තැලසීමියා රෝගීන් සඳහා වූ වාට්ටුවක්
හෝ ඒකකයක් නොමැති වුවත් හඳුනාගත් රෝගීන් 100ක් පමණ පොළොන්නරුව මහ රෝහලේ ළමා වාට්ටුවට ඇතුළත් කර ප්‍රතිකාර කරන බවද පැවසෙයි.

කෙසේ න්වෙතත් මාසයක පමණ සිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ සායනවලට සහභාගී වන හා රුධිරය මාරු කරගැනීමට පැමිණෙන රෝගීන්ට ලේ ලබා දීමට අවශ්‍ය රුධිර බහාලුම් හෙවත් ලේ බෑග් නොමැති වීමෙන් ලේ මාරු කිරීමට නොහැකිව රෝගීන් දැඩි අසරණ බවට පත්ව ඇති බවද දෙමවුපියෝ පවසති.

ඔවුන් නියමිත කාලවලට රුධිරය මාරු නොකළොත් ජීවිත අවදානම වැඩි වන බවද ඔවුහු පෙන්වා දෙති. කෙසේ වෙතත් මේ පිළිබද පොළොන්නරුව හා අනුරාධපුර මහ රෝහල්වල අධ්‍යක්ෂවරුන් දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයකදී උත්සාහ කළද එය ව්‍යර්ථ විය. අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙකු පැවසුවේ තැලසීමියා ඒකකයේ රෝගීන් 300කට  වැඩි පිරිසක් සිටින බවත් ඔවුන්ගේ ලේ මාරු කිරීමට මසකට ලේ බෑග් 1000ක් පමණ අවශ්‍ය බවත්ය.

එම ලේ බෑග් හිගය උග්‍රව පවතින බවත් ලේ පරිත්‍යාගශීලීන් සෑහෙන පිරිසක්
සිටියත් ලේ ලබා ගැනීමට බෑග් නොමැතිකම විශාල ගැටලුවක් වී ඇති බවත් හෙතෙම කීය. ඖෂධ කිහිපයක හිගයක් පවතින බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීය. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තැලිසීමියා රෝගීන්ට ප්‍රතිකාර කිරීම හා රුධිර පාරවිලයන කටයුතු මහ රෝහලේ ළමා වාට්ටුවෙන් හෝ කුරුණෑගල හෝ අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් සිදු කෙරෙන බවත් දැනට පොළොන්නරුවේ තැලසීමියා රෝගීන් සම්බන්ධයෙන් අවදානම්සහගත තත්වයක් උදා වී නැති බව පොළොන්නරුව ප්‍රාදේශීය
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.එස්.කේ.කුමාරවංශ මහතා පැවසීය.