වසන්ත මුදලිගේ නිදහස් කළ යුතු බවට ජාත්‍යන්තර සංවිධාන 7 කින් නිවේදනයක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ වහාම නිදහස් කළ යුතු බවට මානව හිමිකම් සංවිධාන 7 ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ආණ්ඩුව අත්තනෝමතික ලෙස ඔහු රඳවා තබා ගැනීම දැඩි ලෙස මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් බවයි ඔවුන් සිය නිවේදනය මඟින් පෙන්වා දෙන්නේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 2022 අගෝස්තු 18 වනදා අත්අඩංගුවට ගත් වසන්ත මුදලිගේ මේ වන විට දින 150 ක කාලයක් රඳවා තබාගෙන ඇතත් ඔහුට එරෙහිව කිසිදු ත්‍රස්තවාදී ක්‍රියාවක් නීතිය හමුවේ ඔප්පු කිරීමට බලධාරීන් අසමත්ව ඇති බවද අදාළ නිවේදනයේ දැක්වෙනවා.

ජාත්‍යන්තර මානව හිමිකම් සම්මුතීන් උල්ලංඝනය කරමින් රඳවාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ වහාම නිදහස් කිරීමට බලධාරීන් පියවර ගත යුතු බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

කබ්රාල්ට එරෙහි විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම පෙබරවාරි මස 16 වන දින දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් අද (17) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

2006 වසරේ සිට 2015 වසර දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් රාජ්‍ය මුදල් අවභාවිතාව ලක් කළ බවට චෝදනා කරමින් අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව මෙම පුද්ගලික පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

විධායක රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් ගෙවන දිනය පමා කිරීමට තීරණයක්

විධායක ශ්‍රේණියේ නොවන රජයේ සේවකයන්ගේ මාසික වැටුප් නියමිත දිනට ගෙවීමට සහ විධායක නිලධාරීන්ගේ වැටුප් දින කිහිපයකට පසුව ගෙවීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

මහා භාණ්ඩාගාරය විසින් ගනු ලැබූ පියවරයන් පිළිබඳව මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ එම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි සඳහන් වන්නේ.

2023 වසරේ රජයේ නව ආදායම් යෝජනා ක්‍රියාත්මක කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බවත් එමඟින් ජනනය වන ආදායම් රැස්කිරීම සඳහා යම් කාලසීමාවක් ගතවන බැවින් රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සම්බන්ධයෙන් එම තීරණය ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්,

1)

අඩු ආදායම්ලාභීන්ට දෙන මුදල් සහනය තවත් මාස 5කින් දීර්ඝ කෙරේ

අඩු ආදායම්ලාභී පවුල් සඳහා ලබාදෙන මුදල් සහනය තවත් මාස 5 ක කාලයක් දීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ අනුව මැයි මාසයේ සිට එළඹෙන සැප්තැම්බර් මාසය දක්වා එම මුදල ලබා දීමට තීරණය කර ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

නව සුභසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය ආරම්භ කරන තෙක් මෙම සහනය ලබාදීමට නියමිත බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්,

8e56da6bfb76737272cf11bd3e0c2669

අඩු ආදායම්ලාභීන්ට මාස දෙකක් සහල් කිලෝ 10 බැගින් ලබාදීමට අනුමැතිය

සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභී පවුල් මිලියන 02කට එක් පවුලක් සඳහා මාසයකට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් මාස 02ක කාලයක් ලබාදීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව මේ සඳහා සහල් මෙට්‍රික් ටොන් 40,000ක් අවශ්‍ය වන අතර ඒ වෙනුවෙන් රජය විසින් වී මෙට්‍රික් ටොන් 61,600ක් පමණ මිලදී ගැනීම අවශ්‍ය බවයි සඳහන් වන්නේ.

මෙම වැඩසටන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සහයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ක්‍රියාවට නැංවීමට යෝජිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් යටතේ දැනට පවතින ක්‍රමය භාවිතා කරමින් හඳුනාගත් සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභීන් අතර සහල් බෙදාදීමට නියමිත අතර කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය විසින් ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරු සම්බන්ධීකරණය කරමින් ඔවුන්ට අවශ්‍ය උපදෙස් නිකුත් කරන බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

d6a8463ab5403c8ab7d54d16e612db33

0a549670c4693b7128994a9a631480cf

අන්තරේ විරෝධතාවට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

අන්තරේ විරෝධතාව විසුරුවාහැරීම සඳහා පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

අත්අඩංගුවේ සිටින එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස බල කරමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මෙම විරෝධතාව සංවිධානය කර තිබෙනවා.

වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස ඉල්ලා අන්ත​රේ විරෝධතාවක

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස බල කරමින් ඔවුන් විරෝධතාවක් සංවිධානය කර තිබෙනවා.

මේ හේතුවෙන් තුන්මුල්ල හන්දිය දෙසින් බෞද්ධාලෝක මාවතට ප්‍රවේශ වෙන මාර්ගයේ රථවාහන තදබදයක් ඇතිව තිබෙන බවයි සඳහන් වන්නේ.

wasantha-mudalige-protest

මැයි 09 දේශපාලනඥයින්ගේ නිවාසවලට හානි කිරීමේ සිද්ධියට අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි

දේශපාලනඥයින්ගේ නිවාසවලට අලාභහානි කිරීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ රීට් පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (16) නියෝග කර තිබෙනවා.

ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන්ට පෙබරවාරි මස 24 වනදා කරුණු දක්වන ලෙස දන්වා අධිකරණය නොතීසි නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

පසුගිය මැයි මස 09 වනදා දේශපාලකයින්ගේ නිවාසවලට පහර දී ගිනිබත් කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අපරාධ නීතිය යටතේ ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අදාළ පෙත්සම ගොනුකර තිබෙනවා.

පොලිස්පතිවරයා, ආරක්ෂක ලේකම් වරයා, යුද හමුදාපතිවරයා, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, මහජන සාමය පිළිබඳ අමාත්‍යාශයේ ලේකම්වරයා ඇතුළු 18 දෙනෙකු මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වීමට සූදානම් – ඉන්දීය විදේශ ඇමති

වත්මන් ආර්ථික අර්බුදය තුළ ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලබා දීමට ඉන්දීය විදේශ අමාත්‍ය එස්.

ජයිශංකර්ගේ මෙරට සංචාරයේදී අපේක්ෂාවෙන් පසුවන බව The Hindu පුවත්පත වාර්තා කර තිබෙනවා.

ඒ අනුව එහිදී බලශක්ති, ආහාර සුරක්ෂිතතා සහ විනිමය හුවමාරු සම්බන්ධයෙන් මෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

පසුගිය වසරේදී මෙන්ම ශ්‍රී ලංකාවේ අවශ්‍යතා සදහා ධනාත්මක ප්‍රතිචාරයක් ලබා දීමට ඉන්දියාව අපේක්ෂා කරන බවයි The Hindu පුවත්පත වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ මස 19 වන දා ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් දෙදින සංචාරයක් සදහා මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

ගුවන්යානා අනතුර හේතුවෙන් අද නේපාලයේ ශෝක දිනයක්

නේපාලය මුහුණදුන් දරුණුතම ගුවන් අනතුරෙන් පසු අද දින (16) එරට ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඊයේ (15) උදෑසන නේපාලයේ සංචාරක නගරයක් වෙත පියාසර කරමින් තිබූ නේපාල ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 68 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

එහි විදේශිකයන් 15 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් හතර දෙනෙකු ඇතුළුව මගීන් 68 දෙනෙකු සිටි බවයි නේපාල සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කළේ.

එම විදේශිකයන් අතරට ඉන්දියානුවන් පස් දෙනෙකු, රුසියානුවන් හතර දෙනෙකු, දකුණු කොරියානුවන් දෙදෙනෙකු සහ අයර්ලන්තය, ඕස්ට්‍රේලියාව, ආර්ජන්ටිනාව සහ ප්‍රංශය යන රටවලින් එක් අයෙකු බැගින් සිට තිබෙනවා.