විභාග කාලසීමාවේ අඛණ්ඩව විදුලිය ලබාදීමට නොහැක්කේ බලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියා නිසා – විදුලි ඉංජිනේරු සංගමය

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ අඛණ්ඩව විදුලිය ලබාදීමට නොහැකි වූයේ පසුගිය කාලසීමාව තුළ බලධාරීන් විසින් ගත් අත්තනෝමතික ක්‍රියාපිළිවෙත් හේතුවෙන් බව විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.

විදුලිය උත්පාදනයට අවශ්‍ය ඉන්ධන සහ ගල්අඟුරු නිසි කාල සීමාවන්හී දී ලබාදුන්නේ නම් මෙම ගැටලුව ඇති නොවන බවයි එම සංගමයේ සභාපති නිහාල් වීරරත්න සඳහන් කළේ.

නැප්තා නොමැති වුවහොත් යළිත් කැළණිතිස්ස බලාගාරය නැවතිය හැකි බවත් විදුලිය ජනනය කිරීමට සිදුවන්නේ ඩීසල්වලින් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අද සිට කළු විරෝධතා සතියක්

රජය විසින් පැනවූ බදු සංශෝධනවලට එරෙහිව අද (23) සිට විරෝධතා සතියක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව අදින් ආරම්භ වන විරෝධතා සතිය ‘කළු විරෝධතා සතිය’ ලෙස නම් කර ඇති බවයි එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ.

අසාධාරණ බදු ප්‍රතිපත්තිය ඉවත් කර සාධාරණ බදු ප්‍රතිපත්තියක් හඳුන්වාදෙන ලෙස රජයට බල කරන බවයි ඔහු සඳහන් කළේ.

එසේම එම සතිය තුළ සියලුම රෝහල් කළු පාටින් සැරසීමටත්, විරෝධතා දැක්වීම හා කළු පටි පැළදීම වැනි කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි වෛද්‍ය චමිල් විජේසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය අද වෘත්තීය ක්‍රියාමාර්ගයක

දිවයින පුරා රෝහල්වල කනිෂ්ඨ කාර්ය මණ්ඩලය අද (23) වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා. ඒ අනුව අද උදෑසන 8.00 සිට 12.00 දක්වා සේවයෙන් බැහැරවෙන බවයි ඒකාබද්ධ සෞඛ්‍ය සේවක මණ්ඩලයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමි සඳහන් කළේ. ඖෂධ හිඟය ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් මෙම විරෝධතාව සංවිධානය කර ඇති අතර දිවයින පුරා රෝහල්වල උද්ඝෝෂණ සහ පාගමන් සංවිධානය කරන බවයි ටැම්පිටියේ සුගතානන්ද හිමි සඳහන් කළේ.

නානුඔය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස් රියදුරා රිමාන්ඩ්

නානුඔය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි බස් රියදුරා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

රියදුරු තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිය දී නානුඔය පොලීසිය විසින් රියදුරුව සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ අනුව සැකකරු පෙබරවාරි මස 1 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

උසස් පෙළ විභාගය සඳහා විශේෂ ප්‍රවාහන සැලැස්මක්

උසස් පෙළ විභාගය සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ගමනාගමන කොමිෂන් සභාව එක්ව ප්‍රවාහන සැලැස්මක් සකස් කර තිබෙනවා.

ඒ අනුව සිසුසැරිය බස් රථ විභාග පැවැත්වෙන දිනවල ක්‍රියාත්මක වන බවයි ගමනාගමන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මිලාන් මිරැන්ඩා සඳහන් කළේ.

මේ අතර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ගේ ගමනාගමන පහසුකම් සඳහා විශේෂ දුම්රිය ගමන්වාර 16 ක්ද හෙට සිට ක්‍රියාත්මක කරන බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ශ්‍රී ලංකාව ඉදිරියේදී වෘත්තිකයන්ගෙන් තොර රටක් බවට පත්විය හැකියි – සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

රජයේ නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් ශ්‍රී ලංකාව වෘත්තිකයන්ගෙන් තොර රටක් බවට පත්විය හැකි බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් වෘත්තිකයන් රටහැර යාමේ ප්‍රවණතාව ඉදිරියේදී තවත් ඉහළ යනු ඇති බවයි එම සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර සඳහන් කළේ.

මීට පෙර පැවති බදු ප්‍රතිපත්තිය සඳහා එකඟවන නමුත් නව බදු ප්‍රතිපත්තිය හරහා එතරම් විශාල බදු ප්‍රමාණයක් වෘත්තිකයන්ට දරා ගැනීමට නොහැකි බවත් මෙම බදු ප්‍රතිපත්තිය නිසා වෘත්තිකයන් රටහැර යාමේ ප්‍රවණතාව හේතුවෙන් එය ලංකාවේ සංවර්ධනයට බලපෑමක් එල්ලකරනු ඇති බවයි වෛද්‍ය ජයන්ත බණ්ඩාර සඳහන් කළේ.

මෙම අසාධාරණ බදු ප්‍රතිපත්තිය ඉවත් කර ගන්නා ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් ඒ වෙනුවෙන් සිදුකරන සටන ඉදිරියටම සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

උසස් පෙළ විභාගය හෙට ආරම්භ වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීමට අදාළ මූලික කටයුතු සියල්ල මේ වනවිට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

2022 – 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට (23) දිනයේ සිට විභාග මධ්‍යස්ථාන 2,200ක දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙවර උසස් පෙළ විභාගය සඳහා පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් 331,709 දෙනෙකු පෙනී සිටීමට නියමිත අතර විභාගය පෙබරවාරි මස 17 වැනිදා දක්වා පැවැත්වෙන බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන චීනයේ ස්ථාවරය IMF වෙත දැනුම්දීම අද – Hindustan Times

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය අද (22) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත දැනුම්දීමට නියමිත බව ඉන්දියාවේ Hindustan Times වාර්තාකර තිබෙනවා. ඒ අනුව අදාළ දැනුම්දීම චීනය විසින් අද දිනය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලිඛිතව සිදුකරනු ඇති බවයි Hindustan Times සඳහන් කරන්නේ. ශ්‍රී ලංකාවේ ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ඉන්දියාවේ ස්ථාවරය පසුගිය 16 වනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත භාරදීමට කටයුතු කර තිබුණා.

වැඩි මිලට බිත්තර අලෙවි කරන වෙළඳුන්ට දඩ

නව බිත්තර මිල සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනය උල්ලංඝණය කරන වෙළඳුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.

ඒ අනුව පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කරන වෙළඳුන්ට රුපියල් 100,000 සිට රුපියල් 500,000 ක් දක්වා දඩ මුදල් ගෙවීමට සිදුවනු ඇති බව එහි සභාපති නීතීඥ ශාන්ත නිරිඇල්ල සඳහන් කළා.

සුදු බිත්තරයක් සඳහා රුපියල් 44ක් සහ රතු බිත්තරයක් සඳහා රුපියල් 46ක උපරිම සිල්ලර මිලක් සඳහන් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ගැසට් නිවේදනයක් නිකුත් කළා.

නානුඔය අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට

නුවරඑළිය නානුඔය ප්‍රදේශයේදී සිදුවූ අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණවී ඇත්තේ, අදාළ බස් රථය නොසැලකිලිමත් ලෙස ධාවනය කර ඇති බවයි. නුවරඑළිය නානුඔය ප්‍රදේශයේ දී අධික වේගයෙන් ධාවනය වූ බස් රථයක්, වෑන් රථයක හා ත්‍රීරෝද රථයක ගැටී පසුගියදා (20) රාත්‍රියේ සිදුවූ අනතුරින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව පුද්ගලයින් 53 දෙනෙක් තුවාල ලබා තිබුණා.