තුර්කියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ගැන හැකි ඉක්මනින් දැනුම්දෙන්න – තුර්කි තානාපතිනිය

දැනට තුර්කියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිළිබඳ කිසියම් තොරතුරක් වෙතොත් දැනුම් දෙන ලෙස තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිනි හසන්ති දිසානායක ජනතාවගෙන් ඉල්ලා සිටිනවා .

ඒ අනුව ඔවුන් සොයා ගැනීම පහසු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යංශයේ කන්සියුලර් අංශයට හෝ තානාපති කාර්යාලයට දැනුම් දෙන ලෙසයි ඇය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

මේ අතර ශ්‍රී ලාංකිකයින් පිළිබඳ තොරතුරු වෙතොත් දැනුම්දීමට සහ ශ්‍රී ලාංකිකයින් පිළිබඳ විමසීම සඳහා පහත දුරකථන අංක හරහා තුර්කි තානාපති කාර්යාලය හා සම්බන්ධ කර ගැනීමේ හැකියාව පවතිනවා.

අදාළ දුරකථන අංක පහතින්,

* 00903124271032
* 00905344569498

තුර්කියේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 3,800 ඉක්මවයි

දකුණු තුර්කිය ප්‍රදේශයේ සිදුවූ ප්‍රබල භූ කම්පනයෙන් මේ වනවිට පුද්ගලයින් 3,800 කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තුර්කියේ අවම වශයෙන් පුද්ගලයින් 2,379 ක් මිය ගොස් ඇති අතර තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි තුර්කි ආපදා සහ හදිසි කළමනාකරණ ඒජන්සිය සඳහන් කළේ.

අසල්වැසි සිරියාවේ අවම වශයෙන් පුද්ගලයින් 1,136 දෙනෙකු මියගොස් ඇති අතර තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇත. මේ වන විටත් සුන්බුන් අතර සිරවූ පිරිස් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

රිච්ටර් මාපකයේ 7.8 ක ප්‍රබලත්වයක් පෙන්වූ මෙම භූ කම්පනය එරට වේලාවෙන් ඊයේ (6) අලුයම 4.00 ට පමණ සිදුව තිබූ අතර භූ කම්පනය සිදුවූ ප්‍රදේශය තුර්කි-සිරියා දේශසීමාවේ පිහිටා තිබෙනවා.

භූ කම්පනය සිදු වූ ප්‍රදේශවල ශ්‍රී ලාංකිකයින් 9 දෙනෙක් සිට තිබෙනවා – තුර්කියේ ශ්‍රී ලංකා තානාපති

භූ කම්පනය සිදු වූ ප්‍රදේශවල ශ්‍රී ලාංකිකයින් 9 දෙනෙක් සිට ඇති බව තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිනී හසන්ති උරුගොඩවත්ත පවසනවා.

ඔවුන් අතරින් 8 දෙනෙකු මේ වන විට සම්බන්ධ කර ගැනීමට හැකියාව ලැබුණු බවයි මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින් ඇය සඳහන් කළේ.

කෙසේ නමුත් එක් අයෙකු කඩා වැටීමට ලක්වූ ගොඩනැගිල්ලේ සිටියේ යැයි සලකනු ලබන බවත් සිදුවීම වන අවස්ථාවේ ඔහු එහි සිට නොමැති බවට සැක පළකරන බවත් තවදුරටත් ඔහු සම්බන්ධයෙන් තොරතුරු සොයමින් පවතින බවයි තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිනී හසන්ති උරුගොඩවත්ත වැඩිදුරටත් සඳහන් කළේ.

තුර්කියේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 1,300 දක්වා ඉහළට

දකුණු තුර්කිය ප්‍රදේශයේ සිදුවූ ප්‍රබල භූ කම්පනයෙන් මේ වනවිට පුද්ගලයින් 1,300 කට අධික පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව සිරියාවේ රජය විසින් පාලනය කරන ලද ප්‍රදේශවල අවම වශයෙන් පුද්ගලයින් 326 දෙනෙකු මියගොස් ඇති අතර තුර්කියේ අවම වශයෙන් පුද්ගලයින් 912 දෙනෙකු ද මිය ගිය බව තුර්කි ජනාධිපතිවරයා පවසනවා.

මේ වන විටත් සුන්බුන් අතර සිරවූ පිරිස් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක අතර සිද්ධියෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි සඳහන් වන්නේ.

08 වනදා පෞද්ගලික අංශයේ ප්‍රතිකාර සේවාවලින් ඉවත්වීමට වෛද්‍යවරුන් තීරණය කරයි

එළඹෙන 08 වනදා පෞද්ගලික අංශයේ සිදුකරන ප්‍රතිකාර සේවාවලින් ඉවත්වීමට තීරණය කර ඇති බව වෛද්‍ය හරිත අලුත්ගේ පවසනවා.

ඒ අනුව පෞද්ගලික අංශයේ සිදුකරන එදිනෙදා සාමාන්‍ය සේවා 08 වනදා දිනය තුළ සිදු නොවන බවත් හදිසි ප්‍රතිකාර සේවා පමණක් සිදුකරන බවයි අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

කෙසේ නමුත් හෙට (07) පැවැත්වෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් දැඩි කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේ.

අසාධාරණ බදු සංශෝධනය සම්බන්ධයෙන් රජයේ පාර්ශවයෙන් තවමත් පිළිගත හැකි පිළිතුරක් ලැබී නොමැති බවයි වෛද්‍ය හරිත අලුත්ගේ වැඩිදුරටත් සඳහන් කළේ.

දර්ශන හඳුන්ගොඩට ඇප

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන දර්ශන හඳුන්ගොඩට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබෙනවා.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ අද (06) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

පසුව ඔහු අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප ලබාදීමට නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

ගෑස් මිල වැඩි කළත් ආහාර මිල ඉහළ දමන්නේ නැහැ – ආපන ශාලා හිමියන්

ගෑස් මිල ඉහළ දැමුව ද ආපනශාලාවල ආහාර මිල ඉහළ දැමීමක් සිදු නොකිරීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එහි සභාපති අසේල සම්පත් සඳහන් කළේ, රුපියල් 334 කින් ගෑස් මිල වැඩි වුවද ආපනශාලා පද්ධතිය තුළ ආහාරපාන කිසිවක මිල ගණන් ඉහළ දැමීමට කටයුතු නොකරන බවයි.

කෙසේ නමුත්, විදුලි බිල වැඩිවීමක් සිදුවුවහොත් ආහාර පානවල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

තුර්කියේ ප්‍රබල භූ කම්පනයක්

දකුණු තුර්කිය ප්‍රදේශයේ රිච්ටර් මාපකයේ 7.8 ක ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Gaziantep පළාතේ ආණ්ඩුකාර Davut Gul Twitter පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, භූ කම්පනය සිය නගරයට තදින්ම දැනුණු බවයි.

භූකම්පනය හේතුවෙන් ගොඩනැගිලි කිහිපයක් කඩා වැටී ඇති අතර තවත් පිරිසක් සිරවී සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ගොයම් ගස් කහවෙන රෝගය නිසා හාල් හිඟයක් ඇතිවන්නේ නැහැ – කෘෂිකර්ම අමාත්‍යාංශය

වී වගාවට අවශ්‍ය පෝෂක නිසි පරිදි නොලැබීම නිසා ගොයම් ගස් කහ පැහැගැන්වීමේ රෝගය මතුව ඇතැයි ක්ෂේත්‍ර පරීක්ෂාවේදී අනාවරණ වූ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

ගොයම් ගස් කහ පැහැ වන නෙමටෝඩා හෙවත් මූල ගැටිති වටපණු රෝගය පසුගිය කාලය පුරාම බොහෝ ප්‍රදේශවලින් වාර්තා වූ අතර සිදුකළ පරීක්ෂණවලින් අනතුරුව අනාවරණය වී ඇත්තේ, වී වගාවට අවශ්‍ය පෝෂක නිසි පරිදි නොලැබීම නිසා මෙම තත්ත්වය මතුව ඇති බවයි.

කෙසේ නමුත් මෙම තත්ත්වය හේතුවෙන් මෙම වසරේ හාල් හිඟයක් ඇති නොවන බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, පී. මාලතී සඳහන් කළේ.

දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන දර්ශන හඳුන්ගොඩ කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩුබායි සිට මෙරටට පැමිණෙමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.