තුර්කියේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 11,000 ඉක්මවයි

තුර්කියට සහ සිරියාවට බලපෑ විනාශකාරී භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 11,000 ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව තුර්කියේ මරණ 8,574ක් සහ සිරියාවේ මරණ 2,662ක් ලෙස සමස්ත මරණ 11,236ක් බලධාරීන් විසින් මේ වන විට තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කඩාවැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරවූවන් මුදාගැනීම සඳහා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි සඳහන් වන්නේ.

රිච්ටර් මාපකයේ 7.8 ක ප්‍රබලත්වයක් පෙන්වූ මෙම භූ කම්පනය පසුගිය 06 වැනිදා එරට වේලාවෙන් අලුයම 4.00 ට පමණ සිදුව තිබූ අතර භූ කම්පනය සිදුවූ ප්‍රදේශය තුර්කි-සිරියා දේශසීමාවේ පිහිටා තිබෙනවා.

විදුලි කප්පාදුවට එරෙහි පෙත්සම විභාගයට ගැනීම ගැන තීරණය 10 වනදා

මහජන උපයෝගීතා කොමිසම විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද ? නැද්ද ? යන තීරණය මේ මස 10 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය දැනුම්දී තිබෙනවා.

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය කප්පාදු නොකරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මහජන උපයෝගීතා කොමිසම විසින් මෙම රීට් පෙත්සම ගොනුකර තිබුණා.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

වෘත්තීය සමිති විරෝධතා පා ගමන කොළඹ කොටුව​ට

වෘත්තීය සමිති කිහිපයක විරෝධතා පා ගමනක් මේ වන විට කොටුව දුම්රියපොළ දක්වා ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව වරාය, විදුලිබල, ඛනිජ තෙල් සේවකයින් මෙලෙස කොටුව දුම්රියපොළ ඉදිරිපිට එක්වෙමින් ඇති බවයි සඳහන් වන්නේ.

විරෝධතාව හේතුවෙන් කොටුව දුම්රියපොළ ඉදිරිපිට ඕල්කට් මාවතේ එක් මංතීරුවක රථ වාහන ගමනාගමනය සීමා කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

බදු ප්‍රතිපත්තියට එරෙහිව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව විරෝධතාවක

රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ විරෝධතාවක් මේ වන විට පැවැත්වෙනවා.

මේ හේතුවෙන් කොළඹ කොටුවේ ලෝටස් මාර්ගය වාහන ගමනාගමනය සඳහා සීමා කර ඇති බවයි සඳහන් වන්නේ.

පොල්දූව මංසන්ධියේදී පොලීසිය හා භික්ෂූන් වහන්සේලා අතර උණුසුම් තත්ත්වයක්

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට ගත් තීරණයට එරෙහිව මහා සංඝරත්නය විරෝධතා පා ගමනක් ආරම්භ කර තිබෙනවා. මෙම සමුළුව සඳහා 5,000 කට ආසන්න ස්වාමීන් වහන්සේලා පිරිසක් කොළඹ දියත උයන ඉදිරිපිට ඇති සිරි පැරකුම්බා පිරිවෙනට වැඩම කරන බවයි ත්‍රෛනිකායික භික්ෂු එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් සඳහන් කළේ. විරෝධතා පාගමන පාර්ලිමේන්තු පාරේ පොල්දූව මංසන්ධියට පැමිණි අවස්ථාවේදී භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසට ඉදිරියට යාමට පොලිසිය විසින් බාධා කළ අතර එහිදී උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබෙන බවයි වාර්තා වන්නේ.

13 ට විරෝධය පා භික්ෂූන් වහන්සේ 5,000 ක් අද කොළඹට

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කරමින් සඟ සමුළුවක් පැවැත්වෙන බව ත්‍රෛනිකායික භික්ෂු එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් පවසනවා.

මෙම සමුළුව සඳහා 5,000 කට ආසන්න ස්වාමීන් වහන්සේලා පිරිසක් කොළඹ දියත උයන ඉදිරිපිට ඇති සිරි පැරකුම්බා පිරිවෙනට වැඩම කරන බවයි උන්වහන්සේ සඳහන් කළේ.

බෙදුම්වාදී රේඛාවකින් වෙන් කරන 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන ලෙස මෙහිදී ආණ්ඩුවට බල කර සිටින බවයි පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ.

තුර්කියේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 7,800 ඉක්මවයි

තුර්කියට සහ සිරියාවට බලපෑ විනාශකාරී භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 7,800 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සුන්බුන් අතර සිරවූ පිරිස් සොයා තවදුරටත් මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි සඳහන් වන්නේ.

රිච්ටර් මාපකයේ 7.8 ක ප්‍රබලත්වයක් පෙන්වූ මෙම භූ කම්පනය පසුගිය 06 වැනිදා එරට වේලාවෙන් අලුයම 4.00 ට පමණ සිදුව තිබූ අතර භූ කම්පනය සිදුවූ ප්‍රදේශය තුර්කි-සිරියා දේශසීමාවේ පිහිටා තිබෙනවා.

විදුලිබල මණ්ඩලයට එරෙහි මානව හිමිකම් කොමිසමේ පැමිණිල්ල කැඳවයි

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට අපහාස කළේ යැයි එම කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු පාර්ශ්ව කිහිපයකට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අද (07) සලකා බලා තිබෙනවා.

ඒ අනුව එය විභාග කිරීම සඳහා නොතීසි නිකුත් කරන්නේද? නැද්ද? යන තීරණය ප්‍රකාශ කිරීම පසුවට කල් තැබීමට ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල තීරණය කර තිබෙනවා.

අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වෙන සමයේ විදුලිය කප්පාදු නොකරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් නිකුත් කළ විධානයක් උල්ලංඝනය කිරීම තුළින් අපහාසයක් සිදු කළේ යැයි චෝදනා කරමින් එම කොමිසම විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

වසන්ත මුදලිගේගෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

බොරු සාක්ෂි නිර්මාණය කරමින් තමන්ව අත්අඩංගුවට ගත්තේ යැයි පවසමින් වසන්ත මුදලිගේ පොලිස් මූලස්ථානයට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව නිශ්චිත නිලධාරීන් පිරිසකට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බවත්, මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවයි ඔහු සඳහන් කළේ.

හෙට වෛද්‍යවරුන් සංකේත වැඩ වර්ජනයක

හෙට (08) උදෑසන 8.00 සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් දියත් කිරීමට සැලසුම් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව සහ රට තුළ පවතින ඖෂධ හිඟයට රජය නිසි ප්‍රතිචාර නොදැක්වීමට විරෝධය පළකරමින් මෙම සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි එම සංගමයේ මාධ්‍ය ලේකම් වෛද්‍ය චමිල් වීරසිංහ සඳහන් කළේ.

වර්ජන කාලසීමාව තුළදී හදිසි ප්‍රතිකාර සේවා සීමා කිරීමක් සිදු නොකරන අතර හදිසි සේවාවන් අඛණ්ඩව පවත්වා ගැනීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.