අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම කල් දැමීමට රජය ගෙන ඇති තීරණය රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළීමක් – වෛද්‍යවරුන්

අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම කල් දැමීමට රජය ගෙන ඇති තීරණය රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළීමක් බව වෛද්‍යවරුන් පවසනවා.

ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජ්‍ය ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ සඳහන් කළේ, ශල්‍යකර්ම අවශ්‍ය වේලාවට නොකිරීම හරහා එම රෝගියාගේ ජීවිතය අවධානමට ලක්වන බවයි.

අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම බවට සඳහන් කරමින් වචන හරඹයක් පමණක් සිදු කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජ්‍ය ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ.

ඔරුවක් පෙරළී ගුරුවරයෙක් ඇතුළු සිසුන් තිදෙනෙක් මරුට

මඩකලපුව, කොක්කඩිචෝලෙයි, තාන්දාමලෙයි ප්‍රදේශයේ ඔරුවක් පෙරළීමෙන් ගුරුවරයෙක් හා සිසුන් තිදෙනෙක් මියගොස් තිබෙනවා.

ඒ අනුව එලෙස මියගොස් ඇත්තේ, 27 හැවිරිදි ගුරුවරයෙකුගේ හා 16 හැවිරිදි පාසල් සිසුන් තිදෙනෙක බවයි පොලීසිය සඳහන් කළේ.

පිරිමි දරුවන් 4 දෙනෙක්, ගැහැණු දරුවන් 7 දෙනෙක් සහ ගුරුවරු 3 දෙනෙක් ගමන් කරමින් සිටි ඔරුව පෙරළී යෑමෙන් අදාළ අනතුර සිදුව තිබූ අතර සෙසු පිරිස දිවි බේරාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

තුර්කියේ භූ කම්පනයෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් මරුට

තුර්කියට බලපෑ භූමිකම්පාවෙන් එක් ශ්‍රී ලාංකික කාන්තාවක් මිය ගිය බව තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.

පසුගියදා තුර්කියට බලපෑ ප්‍රබල භූමිකම්පාවෙන් පුද්ලයින් 28,000 ක් පමණ මියගොස් තිබූ අතර එක් ශ්‍රී ලාංකික කාන්තාවක් අතුරුදහන්වී ඇති බවට තොරතුරු වාර්තාවී තිබුණා.

ශ්‍රී ලාංකික කාන්තාව ජීවත් වූ කඩා වැටුණු ගොඩනැගිල්ලක සහන කණ්ඩායම් විසින් සිදුකළ සෝදිසියකදී සුන්බුන් අතරින් ඇය සොයාගෙන ඇති අතර මෙම කාන්තාව වසර කිහිපයක සිට තුර්කියේ පදිංචිව සිට ඇති අතර ඇය විවාහ වී ඇත්තේ මීට වසර කිහිපයකට පෙර තුර්කි ජාතිකයෙකු සමඟ බවයි තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරන්නේ.

ජනපතිගෙන් කිළිනොච්චියේ වී ගොවීන්ට සහතිකයක්

කිළිනොච්චියේ ගොවීන්ගෙන් වී කිලෝවක් රුපියල් 100 බැගින් මිලදී ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ අනුව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, දිරි සතිය ඇතුළත ඒ සඳහා යාන්ත්‍රනයක් සකස් කිරීමට ජනාධිපතිවරයා සහතික වූ බවයි.

අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම කල් දැමීමට පියවර

අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම කල් දැමීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය විසින් රජයේ රෝහල් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

කෙසේ වෙතත් රජයේ රෝහල්වල හදිසි සැත්කම් හා අත්‍යවශ්‍ය ශල්‍යකර්ම කිසිදු ප්‍රමාදයකින් තොරව සිදුකිරීමට පියවර ගන්නා බවයි සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

තුර්කියේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 26,000 කට ආසන්න වෙයි

තුර්කි භූ කම්පනය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 26,000 කට ආසන්නවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව තුර්කියේ මරණ සංඛ්‍යාව 22,327 ක් පමණ වන අතර සිරියාවේ පුද්ගලයින් 3,553 ක් පමණ මියගොස් ඇති බවයි සඳහන් වන්නේ.

භූමිකම්පාවෙන් පසු සිරියාවේ මිලියන 5.3 ක ජනතාවකට නිවාස අහිමිවී ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරන්නේ.

රිච්ටර් මාපකයේ 7.8 ක ප්‍රබලත්වයක් පෙන්වූ මෙම භූ කම්පනය පසුගිය 06 වැනිදා එරට වේලාවෙන් අලුයම 4.00 ට පමණ සිදුව තිබූ අතර භූ කම්පනය සිදුවූ ප්‍රදේශය තුර්කි-සිරියා දේශසීමාවේ පිහිටා තිබෙනවා.

බුත්තල ප්‍රදේශයේ භූකම්පනයට හේතුව ගැන පැහැදිළි කිරීමක්

බුත්තල ප්‍රදේශයේ සිදුවූ භූ චලනවලට හේතුව ඉන්දු සාගර පතුලේ ඇති කාල්ස්බර්ග් මවුන්ට් කඳුවැටියේ ඇති වූ භූ කම්පනයක් විය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න පවසනවා.

ඔහු කියා සිටියේ ජාත්‍යන්තර දත්ත අනුව බුත්තල ප්‍රදේශයේ භූකම්පනයන් වාර්තා නොවන බවත් කාල්ස්බර්ග් මවුන්ට් නම් මුහුදු පතුලේ තිබෙන කන්දක සිදුවුණු කම්පනයක් මෙලෙස දැනෙන්නට ඇති බවයි ඔහු පවසා සිටියේ.

එමෙන්ම ‍ඊයේ (10) සහ අද (11) දිනයේ වාර්තා වූ භූකම්පනයන් පිළිබඳව සොයා බැලීම සඳහා මොනරාගල, බුත්තල ප්‍රදේශවලට විද්‍යාඥයින් කණ්ඩායම් දෙකක් පිටත්ව ගොස් ඇති බවත් වාර්තා වනවා.

කල්පිටිය වෙරළට ගොඩ ගැසූ තල්මසුන් නැවත සාගරයට මුදා හැරේ

අද (11) උදෑසන කල්පිටිය වෙරළ තීරයට ගොඩ ගසා සිටි තල්මසුන් පිරිස නැවත සාගරයට මුදා හැරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය, වනජීවි අංශ සහ ප්‍රදේශවාසීන් සමත්ව තිබෙනවා.

මෙලෙස ගොඩ ගැසූ තල්මසුන්ගෙන් 03 දෙනෙකු මිය ‍ගොස් ඇති බවට වාර්තා වූ අතර ඉතිරි තල්මසුන් 11 දෙනෙකු නැවත සාගරයට මුදා හැරීමට මෙහිදී කටයුතු කර තිබුණු බවයි වාර්තා වන්නේ.

වැල්ලවාය ප්‍රදේශයේ තවත් භූ චලනයක් සිදුවෙයි

අද (11) අළුයම 3.48 පමණ වැල්ලවාය නගරයට නැගෙනහිර දෙසින් තවත් භූ චලනයක් සිදුව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසනවා.

රිච්ටර් පරිමාණය 2.3ක් වූ මෙම භූ චලනය බරපතළ තත්ත්වයක් නොවන බවත් එබැවින් අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නොවන බවයි එම කාර්යාංශය අවධාරණය කර සිටියේ.

ඊයේ (10) දිනයේ දී බුත්තල, වැල්ලවාය ප්‍රදේශයෙන් රිච්ටර් පරිමාණය 3.5ක් වූ භූ කම්පනයක් වාර්තා වුණා.

රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ අයදුම්පත් කැඳවීම දීර්ඝ කෙරේ

මෙරට රාජ්‍ය සේවයේ නිරතව සිටින උපාධිධාරීන් ගුරු සේවයට එක් කරගැනීම සඳහා ක්‍රියාත්මක වන වැඩසටහන යටතේ තරඟ විභාගයන් සඳහා අයදුම්පත් කැඳවීම පෙබරවාරි 17 දක්වා දීර්ඝ කළ බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.

a3445204731d0eb505d971bf3b193cb4