ජනක රත්නායකගේ කාර්යාලයට මුද්‍රා තබයි

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායකගේ නිල කාර්යාලය මුද්‍රා තැබීමට කොල්ලුපිටිය පොලීසිය කටයුතු කර තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයකට අනුව මෙලෙස ඔහුගේ කාර්යාලය මුද්‍රා තබා ඇති බවයි සඳහන් වන්නේ.

ජනක රත්නායක මේ වනවිට විදේශගතව සිටින බවයි සඳහන් වන්නේ.

කබ්රාල්ට එරෙහි විදෙස් ගමන් තහනම යළි දීර්ඝ කෙරේ

 

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ගොනුකර තිබු විදෙස් ගමන් තහනම අප්‍රේල් මස 6 වන දින තෙක් යළි දීර්ඝ කර තිබෙනවා.

රජිත් කීර්ති තෙන්නකෝන් විසින් හිටපු මහ බැංකු අධිපතිවරයාට එරෙහිව මහජන මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ පෞද්ගලික පැමිණිල්ලට අදාළ නඩුව අද දිනයේ දී යළි කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් අජිත් නිවාඩ් කබ්රාල් වෙනුවෙන් ඉදිරිපත් කර ඇති මූලික විරෝධතා සම්බන්ධයෙන් නියෝගය අප්‍රේල් මස 6 වන දිනයේ දී නිකුත් කිරීමටද මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර ඇති බවයි සඳහන්

 

 

ෆොටෝ කොපියක මිල රුපියල් 5 කින් ඉහළට

සෑම සේවාවකම මිල ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමියන්ගේ සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා පවසනවා.

ඒ අනුව ෆොටෝ කොපියක මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට කටයුතු කරන බවයි අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

බත් පැකට්, රයිස් හා කොත්තු මිල 10% කින් ඉහළට

බත් පැකට්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල 10% කින් ඉහළ දැමීමට කටයුතු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

විදුලි ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි එහි සභාපති අසේල සම්පත් සඳහන් කළේ.

අද සිට විදුලි​ය අඛණ්ඩව ලබාදෙනවා – කංචන විජේසේකර

අද (16) සිට අඛණ්ඩව විදුලි සැපයුම ලබාදීමට කටයුතු කරන බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. දැන් පැවැත්වෙන වි‍ශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අඛණ්ඩ විදුලි සැපයුමක් ජනතාවට ලබාදෙන ලෙසට ජනාධිපතිවරයා ද තමාට උපදෙස් ලබාදුන් බවයි. විදුලි ගාස්තු සංශෝධනයට අනුමැතිය හිමිවීමත් සමග ගල් අඟුරු මිල දී ගැනීමට ලංකා බැංකුවෙන් අමතර රුපියල් බිලියන 22ක ණය මුදලක් ලබාදීමට එකඟත්වය පළ කළ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

විදුලි ගාස්තු සංශෝධනයත් සමඟ අඛණ්ඩව විදුලිය සැපයීමට ජනපතිගෙන් උපදෙස්

මහජන උපයෝගිතා කොමිසම විසින් අනුමත කළ විදුලිබල මණ්ඩලයේ ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමත් සමග, විදුලි පාරිභෝගිකයින්ට අඛණ්ඩ විදුලිය සැපයීම සඳහා ජනාධිපතිවරයා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට සහ අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

එසේම අඩු ආදායම්ලාභී පවුල් වෙත සහන සැලසීම සහ ආගමික ස්ථාන සහ රජයේ අධ්‍යාපන ආයතන සඳහා සූර්ය පැනල ලබා දෙන ලෙසයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

ජනතාව ලබාගන්න භාණ්ඩ හා සේවාවල මිලටත් විදුලිබිල වැඩිවීම බලපානවා – විදුලි වෘත්තීය සමිති

විදුලි ගාස්තු වැඩි කිරීමට ගත් තීරණයට එරෙහිව කටයුතු කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

එහි කැදවුම්කරු රංජන් ජයලාල් පැවසුවේ ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති සහ තවත් වෘත්තීය සමිති කිහිපයක් රැස්වී අද (16) රැස්වී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.

ආණ්ඩුවේ ප්‍රතිපත්ති තීරණය අනුව මැයි මාසයේදී යළිත් විදුලි ගාස්තු සංශෝධනයක් සිදුවන බවයි විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරන්නේ.

ඒ අනුව මහජනතාව ලබා ගන්නා සේවා සහ භාණ්ඩ සඳහාද අදාළ නිෂ්පාදන ආයතන විසින් නව විදුලිබිල වැඩිවීමේ කොටසද එම භාණ්ඩවල මිලට ඇතුළත් කිරීම මඟින් ඔවුන් තවදුරටත් පීඩාවට පත්වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

රුපියල් මිලියන 13 ක් වටිනා මත් පෙති හා කුෂ් තොගයක් රේගු භාරයට

විදෙස් රටවල සිට පාර්සල් කිහිපයක සඟවා මෙරටට එවා තිබූ මත් පෙති තොගයක් සහ කුෂ් නැමැති ගංජා තොගයක් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මධ්‍යම තැපැල් හුවමාරුව තුළදී සිය භාරයට ගෙන තිබෙනවා.

ඒ අනුව එහිදී අනාවරණය වී ඇත්තේ එම මත්ද්‍රව්‍ය ජර්මනිය, එංගලන්තය, කැනඩාව හා ස්පාඤ්ඤයේ සිට කොළඹ, පානදුර, බොරලැස්ගමුව, පාදුක්ක හා පිළියන්දල යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් වෙත එවා ඇති බවයි.

එම පාර්සල් තුළ සඟවා මත් පෙති 207ක්, කුෂ් නැමැති ගංජා ග්‍රෑම් 750ක් එහිදී සොයාගෙන ඇති අතර අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම මිලියන 13 කට ආසන්න බවයි සඳහන් වන්නේ.

වැඩිදුර විමර්ශන සඳහා මෙම මත්ද්‍රව්‍ය සහ මත්පෙති පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතව තිබෙනවා.

වැඩ වර්ජන කළ පමණින් ආණ්ඩුව ඒ මත තීරණ ගන්නේ නැහැ – ජනපති

පවතින නීති රීති වලට අනුව මිස සංස්ථාවක හෝ විශ්වවිද්‍යාලයක සේවකයින් වැඩ වර්ජන කළ පමණින් ආණ්ඩුව ඒ මත තීරණ නොගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසන බවත්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය වෘත්තීය සමිති මට්ටම දක්වා පහත වැටීම කණගාටුදායක බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

කොළඹ Trace City හි පැවති ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාල පර්යේෂණ ආයතනයේ “රාජ්‍ය ප්‍රතිපත්ති හා ආණ්ඩුක්‍රම පිළිබඳ මධ්‍යස්ථානය” ස්ථාපිත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ජනාධිපතිිවරයා මේ බව සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

නිෂ්පාදන අංශයට අදාළව 2022 වර්ෂයේ පැවැත්වූ හය වන කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

මෙම විභාගයේ ප්‍රතිඵල www.slbfe.lk වෙබ් අඩවියේ පළකර ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරන්නේ.

නිෂ්පාදන අංශයට අදාළව 2022 වර්ෂයේ පැවැත්වූ හය වන කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ දෙවන අදියරෙන් අපේක්ෂකයින් 3‍,950 දෙනෙකු සමත් වී ඇති අතර විභාගය සමත් වූ අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණ හා වෛද්‍ය පරීක්ෂණ සඳහා පැමිණිය යුතු දිනයන් ඉදිරියේදී දැනුම් දෙන බවයි එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.