CEYPETCO ඉන්ධවලින් ලාභ ලබන ආකාරය ගැන වාර්තාවක් නිකුත් වෙයි

ශ්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පෙට්‍රල් 92 ලීටරයකින් රු.16.21ක ලාභයක් ද, ඔටෝ ඩීසල් ලීටරයකින් රු. 3.25ක ලාභයක් ද උපයා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

එමෙන්ම පෙට්‍රල් 95 ලීටරයකින් උපයා ඇති ලාභය රු.109.44ක් වන අතර සුපර් ඩීසල් ලීටරයකින් උපයා ඇති ලාභය රු.11.64ක් වනවා.

කෙසේ වෙතත් භූමිතෙල් ලීටරයකින් තවමත් රු. 21.49ක පාඩුවකින් සංස්ථාවට අත්වන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

මේ සම්බන්ධව වන වාර්තාව පහතින්,

01

මිලියන 1.45ක පිරිසකට රු.60 ට පැවති මාසික විදුලි ගාස්තුව දැන් රු.753 ක් දක්වා වැඩි වෙලා – රොහාන් සෙනෙවිරත්න

මාසිකව විදුලි ඒකක 0 සිට 30 දක්වා භාවිත කරන මිලියන 1.45ක් පාරිභෝගික ජනතාවට පසුගිය අගෝස්තු මාසයට පෙර මාසික සාමාන්‍ය විදුලි ගාස්තුව පැවතියේ රුපියල් 60කට බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න පවසනවා.

පසුගිය වසරේ අගෝස්තු මිල සංශෝධනයෙන් අනතුරුව ඔවුන්ගේ මාසික සාමාන්‍ය විදුලි ගාස්තුව රු.214ක් දක්වා වැඩි වූ බවද, මෙවර ගාස්තු සංශෝධනය හරහා එය රු.753ක් දක්වා වැඩි වූ බවද සාමාන්‍යාධිකාරීවරයා පෙන්වා දෙනවා.

28 වනදායින් පසුව සා.පෙළ විභාග අයදුම් පත්‍ර කැඳවීම අවසන්

පෙබරවාරි 28 වනදා මධ්‍යම රාත්‍රීයෙන් පසුව අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් පත්‍ර කැඳවීම අවසන් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා. මේ වන විට Online ක්‍රමවේදය ඔස්සේ විභාගය සඳහා අයදුම් පත්‍ර භාර ගැනීම සිදුවෙමින් පවතින බවයි ජනරාල්වරයා පවසන්නේ. 28 වනදායින් පසුව කිසිදු හේතුවක් මත විභාග අයදුම් පත්‍ර කැඳවීමේ කාලසීමාව දීර්ඝ නොකරන බවත් කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටියා.

22 වනදා සිට කළු විරෝධතා සතියක්

රජයේ බදු ප්‍රතිපත්තිය සහ විදුලිබිල ඉහළ දැමීමට එරෙහිව ලබන 22 වනදා සිට කළු විරෝධතා සතියක් ප්‍රකාශයට පත් කිරීමට වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව වෛද්‍ය, ඉංජිනේරු, විශ්විද්‍යාල ආචාර්ය සංගම්වල මෙන්ම බැංකු වෘත්තිය සමිති ඇතුළු ක්ෂේත්‍ර රැසක් මේ සඳහා සහයෝගය පළකර ඇති බවයි සඳහන් වන්නේ.

වෘත්තීය සමිති වෙන් වෙන්ව සිදුකළ විරෝධතා මේ වන විට එක් ස්ථානයකට එක්වී ඇති බවයි වෘත්තීය සමිති නියෝජිතයන් වැඩිදුරටත් සඳහන් කළේ.

වැල්ලමඩම මුහුදු තීර​යේ දියනෑමට ගිය සිසුන් තිදෙනෙකු අතුරුදහන් වෙයි

මාතර – වැල්ලමඩම මුහුදු තීරයේ දියනෑමට ගිය පාසල් සිසුන් තුන්දෙනෙකු දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා.

ඒ අනුව මේ වන විට ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

දැන් විදුලිය කප්පාදුව නතර කරන්න පුළුවන් නම් ඇයි උසස් පෙළ සමයේ විදුලිය කප්පාදුව නතර නොකළේ? – විදුලි ඉංජිනේරුවන්

නව ගාස්තු සංශෝධනයට අනුව පාරිභෝගිකයන්ගෙන් මුදල් ලැබීමටත් පෙර විදුලි කප්පාදුව නතර කිරීම ගැටලු සහගත බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා.

ඒ අනුව උසස් පෙළ විභාගය පැවති සමයේද විදුලි කප්පාදුවක් සිදු නොකිරීමට ලංකා විදුලි බල මණ්ඩලයට අවස්ථාව පැවති බවයි එම සංගමයේ සභාපති නිහාල් වීරරත්න සඳහන් කළේ.

උසස් පෙළ විභාගයට පෙනී සිටි දරුවන්ට ඒ අනුව බරපතල අසාධාරණයක් සිදුව ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

විශ්වවිද්‍යාල සිසුන් ඇති කර ගන්නා ගැටුම් අමානුෂික ක්‍රියාකාරකම් දක්වා වර්ධනය වෙලා – මහාචාර්ය සම්පත් අමරතුංග

මෙරට විශ්වවිද්‍යාල සිසුන් අධ්‍යයන පද්ධතිය තුළ ඇති කර ගන්නා ගැටුම් අමානුෂික ක්‍රියාකාරකම් දක්වා වර්ධනය වී ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග පවසනවා.

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් එම විශ්වවිද්‍යාලයේ දේපළවලට දැඩි හානි සිදුව ඇති බවයි ඔහු සඳහන් කළේ.

එහිදී සිසුන් පිරිසක් විසින් තවත් පිරිසක් ඉහළ මහලට පැමිණීම වැළැක්වීම සඳහා ඉහළ සිට පඩිපෙලට උණුවතුර දැමීමටද කටයුතු කර ඇති බවයි මහාචාර්යවරයා සඳහන් කළේ.

සබරගමුව විශ්වවිද්‍යාලයේ 2020/2021 කණ්ඩායමේ ශිෂ්‍යයින් හැර අනෙකුත් සියළුම පීඨවල ශිෂ්‍යයින්ට විශ්වවිද්‍යාලය නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව වසා දැමීමටද ඊයේ කටයුතු කර තිබුණා.

මාර්තු 01 සමස්ත මහා වැඩවර්ජනයක්

මාර්තු මස පළමුවනදා වෘත්තීය සමිති ඒකාබද්ධව සමස්ත මහා වැඩවර්ජනයක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබෙනවා.

ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති එක්ව ඊයේ (16) පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ඉදිරි දින කිහිපය තුළ සිය ගැටලු සඳහා විසඳුම් නොලැබුණහොත් මෙය ක්‍රියාත්මක කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා ඛනිජතෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල සඳහන් කළේ.

ඒ අනුව තෙල්, විදුලි, වරාය, ජලසම්පාදන, සෞඛ්‍ය, අධ්‍යාපන, බැංකු පද්ධතිය ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති මේ සඳහා එක්වීමට නියමිතයි.

මිනුවන්ගොඩදී වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

මිනුවන්ගොඩ ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසනවා.

ඊයේ (16) රාත්‍රියේ මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදුව ඇත. ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී සැඟව සිටි පුද්ගලයෙකු විසින් ඔහුට වෙඩි තබා පලාගොස් ඇති බවයි සඳහන් වන්නේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 30 හැවිරිදි වියේ පසුවූ පීල්ලවත්ත ආඬිඅම්බලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මිනුවන්ගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

සාකච්ඡාවක් ඉල්ලා වෘත්තීයවේදීන්ගෙන් ජනපතිට තවත් ලිපියක්

නව ආදායම් බදු පනත සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඉල්ලා වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ජනාධිපතිවරයාට තවත් ලිපියක් යොමුකර තිබෙනවා.

ඒ අනුව ගැටලුව විසඳීම සඳහා බලධාරීන්ට සතියක කාලයක් ලබාදෙන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ.

මීට පෙරද වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබුණා.