ස.ජ.බ. විරෝධතාව ඇරඹේ

සමගි ජන බලවේගයේ විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් පිටකොටුව ඕල්කට් මාවත සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බව පොලීසිය පවසනවා.

වාහන තදබදය මගහරවා ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල් දැමීමට ආණ්ඩුව ගන්නා උත්සාහයට එරෙහිව සමගි ජන බලවේගය මෙම විරෝධතාව ආරම්භ කර තිබෙනවා.

විරෝධතාවයේ නිරත වූ කැලණිය සරසවියේ සිසුන් 6 ක් අත්අඩංගුවට

නුවර – කොළඹ මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත වූ කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව අත්අඩංගුවට ගත් පිරිසට භික්ෂූන් වහන්සේ සිව්නමක් ඇතුළත් බවයි පොලීසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගෙන සිටින මහා ශිෂ්‍ය සංගමයේ සභාපති හා ශිෂ්‍ය ක්‍රියාකාරී දිල්ෂාන් හර්ෂණ නිදහස් කරන ලෙස ඉල්ලා මෙම විරෝධතාවය පවත්වා තිබෙනවා.

2022 වසරේ තෙවන පාසල් වාරයේ තෙවන අදියර අද ඇර⁣ඹෙයි

2022 වසරේ තෙවන පාසල් වාරයේ තෙවන අදියර අද (20) ආරම්භ වනවා.

අදින් ආරම්භ වන තෙවන අදියර මාර්තු 24 දක්වා ක්‍රියාත්මක වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

ඒ අනුව 2023 වසරේ පළමු පාසල් වාරය මාර්තු 27 ආරම්භ වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

ආපනශාලාවලින් අසතුටුදායක තත්ත්වයක තියෙන්නේ 18% ක් පමණයි – PHI සංගමය

මෙරට ආපනශාලා අතරින් අසතුටුදායක තත්ත්වයක ඇත්තේ 18% ක පමණ ප්‍රමාණයක් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය පවසනවා.

එසේම 27% ක් සාමාන්‍ය තත්ත්වයේත්, 55%ක් ඉතා හොඳ තත්ත්වයේත් ඇති බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ.

මනුෂ්‍ය පරිභෝජනයට නොසුදුසු තත්ත්වයේ ආහාර නිෂ්පාදනය කරන 18% වූ හෝටල් සහ ආපනශාලා සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බවයි ඔහු සඳහන් කළේ.

බස් රථයක් ප්‍රපාතයකට පෙරළී දෙදෙනෙකුට දිවි අහිමිවෙයි

නෝර්ටන්බ්‍රිජ් ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් දෙදෙනෙකු මියගොස් තවත් 26 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

ශ්‍රී පාද වන්දනාවේ ගොස් ආපසු පැමිණෙමින් තිබූ බස් රථය නොටන්බ්‍රිජ් පොලිස් වසමේදී අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුවූ බවයි පොලීසිය සඳහන් කළේ.

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ට දැනුම්දීමක්

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය නැවත විවෘත කරන අවස්ථාවේ අධ්‍යයන කටයුතු සඳහා ඇතුළත් වීමේදී ශිෂ්‍යයා, භාරකරු හෝ භාරකාර හිමිනම සමග පැමිණීම අනිවාර්යය බව එම විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය නෙළුවේ සුමනවංශ හිමියන් පවසනවා.

පසුගිය වසරේ දෙසැම්බර් 19 වනදා සිට විශ්වවිද්‍යාලය වසා දැමීමට තීරණය කළ අතර පසුව යළිත් මෙම මස 27 වනදා විශ්වවිද්‍යාලය නැවත විවෘත කිරීමට පාලනාධිකාරිය සැලසුම් කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව පළමු වසර සිසුන් පමණක් පළමුවෙන් විශ්වවිද්‍යාලයට අතුළත් කර ගනු ලබන බව බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය නෙළුවේ සුමනවංශ හිමි වැඩිදුරටත් සඳහන් කළා.

විදුලි බිල වැඩි කිරීමට එරෙහිව ප්‍රදේශ රැසක විරෝධතා

විදුලි බිල වැඩි කිරීමට එරෙහිව ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත් වුණා.

ඒ අනුව නුගේගොඩ, පොළොන්නරුව, බලපිටිය, හඟුරන්කෙත සහ ගාල්ල ප්‍රදේශවල මෙම විරෝධතා සංවිධානය කර තිබුණා.

එහිද ජනතාව සඳහන් කළේ, විදුලි බිල වැඩිවීම දරාගත නොහැකි බවත් ඒ සඳහා සාධාරණ විසඳුමක් ලබාදීමට කටයුතු කරන ලෙසයි.

විදුලි බිලට එරෙහිව 22 දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට සැලසුම්

විදුලි ගාස්තුව ඉහළ දැමීමට එරෙහිව හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලබන 22 වනදා දැවැන්ත විරෝධතාවක් පවත්වන බව ලංකා විදුලි බල මණ්ඩයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

ඒ අනුව කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසලදී එම විරෝධතාව ආරම්භ කරන බවයි එහි කැඳවුම්කරු රංජන් ජයලාල් සඳහන් කළේ.

පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ගෙන් බහුතරයක් විදුලි බිල නොගෙවන බවත් ඒවා විසන්ධි කිරීමක්ද අදාළ ආයතනවලින් සිදු නොවන බවත් විදුලිය විසන්ධි කරන්නේ සාමාන්‍ය ජනතාවගේ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

වී සඳහා රුපියල් 140 ත් 150 ත් අතර මිලක් ලබාදිය යුතුයි – ගොවීන්

නිෂ්පාදන වියදම්වල වැඩිවීම හේතුවෙන් වී කිලෝවක් සඳහා රුපියල් 140ත් 150ත් අතර මිලක් ලබාදෙන ලෙස ගොවීන් රජයෙන් ඉල්ලා සිටිනවා.

එම මිලට වී නොගතහොත් වී අලෙවියෙන් වළකින බවයි ගොවීන් සඳහන් කරන්නේ.

රජය ලබාදෙන මිල ප්‍රමාණවත් නොවන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගොවීන් වැඩිදුරටත් සඳහන් කළා.

මැතිවරණ ක්‍රියාවලියට බාධා කිරීමේ සියලු උත්සාහයන් පරාජය කළ යුතුයි – නීතිඥ සංගමය

සියලුම රාජ්‍ය බලධාරීන් මැතිවරණ කොමිෂන් සභාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට බැඳී සිටින බවත් එය ප්‍රතික්ෂේප කිරීම හෝ අපොහොසත් වීම දඬුවම් ලැබිය හැකි අපරාධයක් බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව පවතින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා නිසි කොන්දේසි නිර්මාණය කිරීම සහතික කිරීමට ජනාධිපතිවරයාටද බලය පවරා ඇති බවද නීතීඥ සංගමය අවධාරණය කරනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රකාශිත සහ පිළිගෙන ඇති මූලික අයිතිවාසිකම් රජයේ සියලුම ආයතන විසින් ගරු කරනු ලැබිය යුතු, සුරක්ෂිත කළ යුතු අතර, ඒවා සීමා කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම නොකළ යුතු බවත්, මැතිවරණ ක්‍රියාවලියට බාධා කිරීමේ සියලු උත්සාහයන් පරාජය කළ යුතු බවත් එම නිවේදනය හරහා නීතිඥ සංගමය වැඩිදුරටත් පවසා සිටිනවා.