උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුවෙලා – ජෝසෆ් ස්ටාලින්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුව ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසනවා.

අද (21) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු හෙට (22) ආරම්භ කිරීමට නියමිතව තිබූ බවයි.

උත්තර පත්‍ර ඇගයීම් ක්‍රියාවලිය කල්යාම ඉදිරි විභාගවලට බරපතළ ලෙස බලපාන බවත් මෙලෙස කල් යාමේ හේතුව සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව කිසිවක් සඳහන් නොකරන බවද ඔහු සඳහන් කළා.

ඇගයීම් ක්‍රියාවලියට අවශ්‍ය පිරිසෙන් ප්‍රමාණවත් පිරිසක් අයදුම් කර නොමැති බවත් ඇගයීම් ක්‍රියාවලියට ලබාදෙන මුදල ප්‍රමාණවත් නොවන බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

විදුලි ගාස්තු සංශෝධනයට එරෙහිව ප්‍රදේශ කිහිපයක විරෝධතා

විදුලි බිල වැඩි කිරීමට එරෙහිව ප්‍රදේශ කිහිපයක විරෝධතා ඊයේ (20) පවත්වා තිබෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව කොළඹ, කළුතර, බදුල්ල යන ප්‍රදේශවල මෙම විරෝධතා පැවති අතර එහිදී ඔවුන් ඉල්ලා සිටියේ විදුලි බිල සඳහා සහනයක් ලබාදීමට කටයුතු කරන ලෙසයි.

රට බේරගන්න ගිහින් බැනුම් අහනවා – ජනපති

වඩා හොඳ ප්‍රයෝගික යෝජනා සමඟ පැමිණෙන්නේ නම්, ජනතා විමුක්ති පෙරමුණට හා සමගි ජන බලවේගයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයන් සමඟ සාකච්ඡාවක් ලබාදී එම යෝජනා ක්‍රියාත්මක කිරීමට තමා සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

රටේ පවත්වන්නට යන මැතිවරණය ආණ්ඩු මාරු කරන ඡන්දයක් නොවන බවත් එම වැඩ කටයුතු සඳහා ආර්ථිකය ශක්තිමත් නොවන බවත් ව්‍යාපාරිකයන් සමඟ පැවති හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළා.

ඡන්දය පවත්වන දිනය සම්බන්ධයෙන් වන ගැටලුව දේශපාලන පක්ෂවලට අධිකරණයෙන් විසඳාගත හැකි බවත්, එහෙත් ආර්ථිකය සම්බන්ධයෙන් වන ගැටලු අධිකරණය හරහා විසඳා ගැනීමට නොහැකි බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

තමා රටේ ආර්ථිකය බාර ගැනීමට කටයුතු කළේ කවුරුත් නොමැති අවස්ථාවක බවත් රට බේරා ගැනීමට ගොස් බැනුම් ඇසීමටද සිදුව ඇති බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

කිඹුලාවල Street Food අලෙවිසැල් ඉවත් කිරීම ගැන අද සාකච්ඡාවක්

තලවතුගොඩ – කිඹුලාවල ප්‍රදේශයේ වීදි ආහාර අලෙවිසැල් ඉවත්කිරීම සම්බන්ධයෙන් අද (21) සාකච්ඡාවක් පැවැත්වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

කිඹුලාවල ප්‍රදේශයේ වීදි ආහාර අලෙවිසැල් ඉවත් කිරීමට තීරණයක් ගෙන නොමැති බවත් ඒ සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

හෙට ජාතික විරෝධතා දිනයක්

හෙට (22) ජාතික විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසනවා.

රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව මෙම විරෝධතා දිනය වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් ප්‍රකාශයට පත් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අද විශේෂ සාකච්ඡාවක

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අද (21) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන කාර්යාලයට රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව කැඳවා ඇති බවයි සඳහන් වන්නේ.

ඉදිරි සතිය තුළ ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණ රැසක් අද ගැනීමට නියමිත බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

සුනඛ පැටවුන් යටකළ සිදුවීමට අදාලව කාන්තාවක් අත්අඩංගුවට

කුඩා සුනඛ පැටවුන් දෙදෙනෙකු යටකර පළායන මෝටර් රථයක CCTV දර්ශන පෙළක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා.

ඒ අනුව සත්ත්ව සංවිධාන කිහිපයක් එක්ව සිදුකළ පැමිණිල්ලකට අනුව මතුරට පොලීසිය විසින් අදාළ මෝටර් රථය පැදවූ කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව වලපනේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැර ඇති අතර සැකකාර කාන්තාව අධිකරණයේදී තමන් සිදුකළ වරද පිළිගෙන තිබෙනවා.

නඩුව යළි ජුනි මස 01 වනදා කැඳවීමට නියමිතව තිබෙනවා.

නව ආර්ථික කොමිසමක් පිහිටුවීමට අවධානය

නව ආර්ථික කොමිසමක් පිහිටුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ අනුව දේශීය සහ විදේශීය ආයෝජකයින්ට ආයෝජන අවස්ථාවන් සඳහා කඩිනම් අනුමැතිය ලබාදීම මෙම නව ආර්ථික කොමිසම පිහිටුවීමේ අරමුණ බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

හන්තාන ජාතික කුරුළු උයන විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මහනුවර නගරය පූර්ණ සංවර්ධිත නගරයක් බවට පත් කිරීමට විශේෂ සැලැස්මක්

ඓතිහාසික මහනුවර නගරය පූර්ණ සංවර්ධිත නගරයක් බවට පත් කිරීම සඳහා විශේෂ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ස.ජ.බ. විරෝධතාවට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර

සමගි ජන බලවේගයේ විරෝධතාවට පොලීසිය විසින් ජල සහ කඳුළු ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල් දැමීමට ආණ්ඩුව ගන්නා උත්සාහයට එරෙහිව සමගි ජන බලවේගය මෙම විරෝධතාව සංවිධානය කර තිබුණා.