අධිකරණ ක්‍රියාවලිය පිළිබඳ අවධානය යොමුකර අපේ මංගල රැළිය කල් දැම්මා – එස්.එම්. චන්ද්‍රසේන

2023 පළාත් පාලන මැතිවරණය‍ වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුරාධපුරයේ සල්ගාදු පිටියේ දී පැවැත්වීමට තිබූ මංගල ජන රැළිය කල් දැමීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන පවසනවා.

ඔහු පවසා සිටියේ මැතිවරණය පිළිබඳව නඩු තීන්දුව පිළිබඳව සලකා බලා පක්ෂයේ නායකයන් එක්ව අද (24) දිනයේ පැවැත්වීමට තිබූ රැළිය මාර්තු මාසයේ මැද දිනයක් දක්වා කල් දැමීමට තීරණය කළ බවයි.

එම රැළියේ දී පොදුජන පෙරමුණට “රැස්වීමක් තියන්න බැහැ, ගමට යන්න බැහැ, පක්ෂය වැටිලා” යන ප්‍රකාශයන් කරන අයට දැවැන්ත රැළියක් පවත්වා පිළිතුරු ලබාදෙන බවද මන්ත්‍රීවරයා පවසා සිටියා.

අධ්‍යාපන අමාත්‍යංශයේ විරෝධතාවය අතරතුර ගුරු මාරු මණ්ඩලයේ නියෝජිතයන් දෙදෙනෙකුත් අත්අඩංගුවට

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාගේ විරෝධතාවය අතරතුර ජාතික පාසල් ගුරු මාරු මණ්ඩලයේ නියෝජිතයන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා. ඒ අනුව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේ, මේ වන විට ඔවුන් පොලිස් ඇප මත නිදහස් කිරීමට කටයුතු කර ඇති බවයි. මේ අතර අත්අඩංගුවට ගත් භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් මිරිහාන පොලීසියට රැගෙන ගොස් ඇති අතර අත්අඩංගුවට පත් ගුරුවරුන් දෙදෙනා ඇතුළු සෙසු පිරිස මේ වනවිට තලංගම පොලීසිය භාරයේ පසු වන බවයි නීතිඥ නුවන් බෝපගේ සඳහන් කළේ.

වසන්ත මුදලිගේ පොලිස් අත්අඩංගුවට

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය තුළදී භික්ෂු බලමණ්ඩලය සංවිධානය කළ විරෝධතාවයක් අතරතුරදී ඔහු සහ තවත් භික්ෂුන් වහන්සේලා කිහිප නමක් මෙලෙස පොලිස් භාරයට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය යළිත් සියලු සිසුන්ට විවෘත කරන ලෙස බල කරමින් ඔවුන් මෙම විරෝධතාවේ නිරත වූ බවයි සඳහන් වන්නේ.

COPE කමිටුවේ නව සභාපති ධූරය පොහොට්ටුවේ රංජිත් බණ්ඩාරට

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර පත්කර තිබෙනවා.

අද එම කමිටුව රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මරණ දණ්ඩනය ගැන ජනාධිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්

ශ්‍රී ලංකාවේ කුමන හෝ අධිකරණයකින් විත්තිකරුවන්ට නියම කරනු ලබන මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් නොතැබීමට වත්මන් ජනාධිපතිවරයා තීරණය කර ඇති බව නීතිපතිවරයා අද (23) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබෙනවා.

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් හතර දෙනෙකුට පනවා තිබෙන මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් කිරීමට 2019 වසරේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා, ගාමිණි අමරසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම් කැඳවා ඇති බවයි සඳහන් වන්නේ.

සනත් නිශාන්ත ගැන නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව චෝදනා පත්‍ර දෙකක් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම්දී තිබෙනවා.

අධිකරණයට අපහාස කළේ යැයි කියන චෝදනාව සම්බන්ධයෙන් ප්‍රියලාල් සිරිසේන, විජිත කුමාර යන නීතිඥවරු සහ ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය විසින් ගොනුකර තිබෙන පැමිණිලි තුනක් අද (23) කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

රාජ්‍ය සේවකයින්ට රාජකාරී විදේශ ගුවන් ගමන් Economy Class පමණයි – ජනපතිගෙන් උපදෙස්

රාජකාරී විදේශ සංචාර සඳහා ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට රජයේ අරමුදල් භාවිතා කරනු ලබන අවස්ථාවලදී අගවිනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු, අභියාචනාධිකරණයේ සභාපති සහ අභියාචනාධිකරණ විනිසුරුවරු හැර අනිකුත් සියලුම නිලධාරීන් පිරිමැසුම් පන්තියේ (Economy Class) ගුවන් ටිකට්පත් පමණක් මිලදී ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දැනුම්දී තිබෙනවා.

මීට අදාළව ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ අත්සනින් යුත් චක්‍රලේඛයක් 2023 පෙබරවාරි 22 දිනැතිව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් සහ සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන්, සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත යොමු කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

යම් නිලධාරියෙකුට ව්‍යාපාරික පංතියේ (Business Class) ගමන් කිරීමට අවශ්‍ය වන්නේ නම්, පිරිමැසුම් පංතියේ ගුවන් ටිකට්පතක් මිලදී ගැනීමට යන මුදල සහ ව්‍යාපාරික පංතියේ ගුවන් ටිකට් පතක් මිලදී ගැනීමට යන මුදල අතර වෙනස සිය පෞද්ගලික මුදලින් වැයකර ව්‍යාපාරික පංතියේ ගමන් කිරීමට හැකියාව තිබෙන බවයි සඳහන් වන්නේ.

මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවක්

මැතිවරණය පවත්වන ලෙස බල කරමින් මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවක් පවත්වා තිබෙනවා. ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවට පිවිසෙන මාර්ගය ඉදිරිපිට මෙම විරෝධතාව සංවිධානය කර තිබූ බවයි සඳහන් වන්නේ.

කළු විරෝධතා සතිය ඇරඹෙයි

රජයේ බදු ප්‍රතිපත්තිය සහ විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව ඛනිජ තෙල්, වරාය, ජල, විදුලි, බැංකු, වෛද්‍ය මෙන්ම වෘත්තියවේදීන් අද (22) සිට කළු සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මීට සමගාමීව වරාය සේවකයින් දැනුවත් කිරීම සඳහා අත්පත්‍රිකා බෙදීමේ වැඩසටහනක්ද පැවති බවයි සඳහන් වන්නේ. ඒ අනුව එහිදී අදහස් දැක්වූ සමස්ත ලංකා වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ ලේකම් නිරෝෂන් ගොරකානගේ සඳහන් කළේ, අද පැවැත්වෙන විරෝධතාවයට ප්‍රතිචාර නොදැක්වුවහොත් මාර්තු 1 වනදා එක්දින වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි.

බදු සංශෝධනයට එරෙහිව වෘත්තීයවේදීන් අද කොළඹට

රජයේ බදු සංශෝධනයට එරෙහිව ක්ෂේත්‍ර 40ක වෘත්තීයවේදීන්ගේ සහභාගීත්වයෙන් අද (22) කොළඹදී දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර තිබෙනවා.

ඒ අනුව ක්ෂේත්‍ර 40 ක වෘත්තීයවේදීන් අද කොළඹ කොටුවේදී දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ.

මෙය සංඥාවක් පමණක් බවත් සියලු ක්ෂේත්‍ර තමන්ගේ රාජකාරීවලින් ඉවත් වුවහොත් රට අකර්මන්‍ය විය හැකි බවයි ඔහු වැඩිදුරටත් අනතුරු අඟවා සිටියේ.