ජල හා කඳුළු ගෑස් ප්‍රහාරය ගැන මානව හිමිකම් කොමිසමෙන් පරීක්ෂණයක්

ජාතික ජන බලවේගය ඊයේ (26) දින ජාතික ජන බලවේගයේ විරෝධතා පා ගමනට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකිරීමෙන් පුද්ගලයින් 28 දෙනෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම කොමිසම පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව පැය 24ක් ඇතුළත අදාළ සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත ලබාදෙන ලෙස එම කොමිසම පොලිස්පතිවරයාට නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

පා ගමන කොම්පඤ්ඤවීදිය පොලිස් බල ප්‍රදේශයේ යූනියන් පෙදෙස ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙමින් තිබියදී එම ප්‍රදේශය විරෝධතා පා ගමන් පැවැත්වීම තහනම් කරමින් අධිකරණ නියෝග නිකුත් කර නොතිබූ තත්ත්වයක් තුළ මෙලෙස ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකිරීම සමබන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ අවධානය යොමුව ඇති බවයි එම කොමිසම වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඊයේ විරෝධතාවය අතරතුර තුවාල ලබා රෝහල්ගත කළ NPP ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙකු ජීවිතක්ෂයට

කොළඹ ඊයේ (26) පැවති ජාතික ජන බලවේගයේ විරෝධතාවයට එක්වූ නිවිතිගල අපේක්ෂකයෙකු කොළඹ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇසට සිදුවූ තුවාලයක් හේතුවෙන් ඔහුව දැඩි සත්කාර ඒකකයට ඇතුළුකර ප්‍රතිකාර ලබමින් සිට ඇති බවයි වාර්තා වන්නේ. නිමල් අමරසිරි නැමැති ඔහු රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයෙක් ලෙස කටයුතු කළ බවද, ඔහුගේ මරණයේ වගකීම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව බාරගත යුතු බවද ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරනවා.

QR ක්‍රමය අප්‍රේල් 10 වැනිදා සිට අත්හිටුවීමට තීරණයක් ගෙන නැහැ – කංචන

ජාතික ඉන්ධන බලපත්‍ර QR ක්‍රමය අප්‍රේල් 10 වැනිදා සිට අත්හිටුවීමට තීරණයක් ගෙන නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

දැනට වෙන් කර ඇති කෝටාවන් ක්‍රමයෙන් වැඩි කිරීමට ජාතික ඉන්ධන බලපත්‍ර QR ක්‍රමය විශ්ලේෂණය කරමින් පවතින බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ඉදිරි මාස කිහිපය තුළ මුදල් අමාත්‍යාංශය සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කර ජාතික ඉන්ධන බලපත්‍ර QR ක්‍රමය සම්බන්ධයෙන් තීරණ ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

6a9da20770e81c05266a0fb0f33eb805

විදුලි සේවකයින් අද ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක

විදුලි සේවකයින් අද (27) ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව වාර්තා වෙනවා.

ලංකා විදුලිබල මණ්ඩල පොදු සේවක සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ සඳහන් කළේ, අසාධාරණ බදු ප්‍රතිපත්තිය, විදුලි බිල වැඩි කිරීම ඇතුළු කරුණුවලට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව අද දිනයේ ලංකාව පුරා විදුලි සේවකයන් කොළඹට පැමිණ විරෝධතාවයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

කොහුවල මංසන්ධියේ රථ වාහන ගමනාගමනය සීමා කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

කොහුවල මංසන්ධියේ ඉදිවන ගුවන් පාලමෙහි ඉදිකිරීම් කටයුතු පෙබරවාරි 22 වන දින සිට ආරම්භ කර මැයි මස 31 වනදා දක්වා සිදුකිරීම නියමිත බව මාර්ග සංවර්ධන අධිකාරීය මගින් දැනුම් දී ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව එම ඉදිකිරීම් කාලය තුළ කොහුවල හන්දිය හරහා ගමන් කිරීමට මගී බස්රථ හා සැහැල්ලු වාහන සඳහා හැකියාව ඇති නමුත් ගුවන් පාලමේ ඉදිකිරිම් සිදුවන බැවින් අධික මාර්ග තදබදය හේතුවෙන් සිදුවන අපහසුතාවය අවම කර ගැනීම සඳහා හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් හා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මහජනතාව දැනුවත් කිරීම සඳහා විකල්ප මාර්ග සඳහන් දැනුවත් කිරීමේ පුවරු විලියම් මංසන්ධිය – ගාලු පාර, නුගේගොඩ මංසන්ධිය, කිරුළපන මංසන්ධිය, බොරලැස්ගමුව මංසන්ධිය, පැපිලියාන මංසන්ධි⁣ය, පාමංකඩ මංසන්ධිය හා අධිවේගී මාර්ගය-කහතුඩුව පිවිසුම යන ස්ථානයන් හි සවිකර ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

7a9ab9b1f2a8347ffa54b37345a0113e

ජාතික ජන බලවේගයේ විරෝධතාවයට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

ජාතික ජන බලවේගයේ විරෝධතාවයට මීට සුළු වේලාවකට පෙර පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මැතිවරණය කල් දැමීමට එරෙහිවයි ජාතික ජන බලවේගය විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුනේ.

ජාතික ජන බලවේගයේ විරෝධතාව ඇරඹේ

මැතිවරණය කල් දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන මහජන විරෝධතාව මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ එම පක්ෂයේ නායකයින් රැසකගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ පරිශ්‍රය අසලින් මෙම විරෝධතාව ආරම්භවී ඇති බවයි වාර්තා වන්නේ.

මාළිගාකන්ද අධිකරණයෙන් ද අනුර දිසානායක ඇතුළු 26කට තහනම් නියෝගයක්

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසකට කොළඹ ප්‍රධාන රෝහල් චතුරශ්‍ර පරිශ්‍රයේ උද්ඝෝෂණ සහ පෙළපාලි පැවැත්වීම වළක්වමින්, මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මරදාන පොලිස් ස්ථානයෙන් සිදුකළ ඉල්ලීමක් අනුව මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

විරෝධතා හේතුවෙන් රෝගීන් සහ එම ප්‍රදේශ භාවිතා කරන ජනතාව පීඩාවට පත්විය හැකි යැයි මරදාන පොලිස් ස්ථානාධිපතිවරයා පෙන්වාදී ඇති බව වාර්තා වෙනවා.

අනුර දිසානායක ඇතුළු 26 දෙනෙකුට අද ප්‍රදේශ කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් අධිකරණ නියෝගයක්

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පුද්ගලයින් 26 දෙනෙකුට අද (26) දිනය තුළ කොළඹ ප්‍රදේශයේ මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් ලබාදී තිබෙනවා.

ඒ අනුව අද පස්වරු 1.00 සිට රාත්‍රී 8.00 දක්වා කාලය තුළ දී කොටුව පොලිස් වසමට අදාළ මාර්ගවල අවහිරතාවක් සහ මාර්ගවල ගමන් ගන්නා වාහනවලට බාධා කිරීමක් ඇති නොකරන ලෙසයි, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් මෙම අධිකරණ අඥාව නිකුත් කර ඇත්තේ.

ජනාධිපතිවරයා සහ ආණ්ඩුව විසින් මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයට එරෙහිව අද ජාතික ජනබලවේගය විසින් කොළඹදී මහජන විරෝධතාවක් සංවිධානය කර ඇති අතර එය අද දහවල් 2.30 ට විහාර මහාදේවී උද්‍යානය අසලින් ආරම්භ වීමට නියමිත බව ඔවුන් නිවේදනය කර තිබුනා.

කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ OIC ඇතුළු නිලධාරීන් 4ක් අත්අඩංගුවට

කටුනායක ගුවන් ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පළායාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව කටුනායක ගුවන් තොටුපල පොලීසියේ ස්ථානාධිපති, සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ.

සැකකරු ව්‍යාජ නමකින් පෙනී සිටිමින් ඩුබායි බලා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගෙන තිබූ අතර එහිදී ඔහු පොලිස් නිලධාරීන්ගෙන් මිදී පළා ගොස් තිබුණා.