විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අද සිට අඛණ්ඩ වැඩ වර්ජනයක

නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තිකයින්ගේ වෘත්තිය සමිති සන්ධානය අද (09) සිට විවිධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව සියලු විශ්ව විද්‍යාල ආවරණය වන පරිදි අද සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බවයි විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසන්නේ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ශ්‍යාම් බන්නැහැක සඳහන් කළේ, ඉදිරි දින කිහිපය තුළ අනෙකුත් වෘත්තීය සමිතිද මේ සඳහා සහාය පළකරන බවයි.

කාන්තා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය කාන්තා කාර්ය මණ්ඩලයකින් පමණක් සමන්විත ගුවන් යානයක් පියාසර කරවයි

කාන්තා දිනය සමරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය කාන්තා කාර්ය මණ්ඩලයකින් පමණක් සමන්විත ගුවන් යානයක් පියාසර කරවා තිබෙනවා.

ඒ අනුව එම යානය කටුනායක ගුවන්තොටුපොළේ සිට ඉන්දියාවේ ට්‍රිචි ගුවන්තොටුපොළ බලා පියාසර කර ඇති බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කළේ.

මෙම යානයේ කාර්ය මණ්ඩලය ලෙස කපිතාන් චාමිකා රූපසිංහ, පළමු පියාසර නිලධාරි බිමලී ජීවන්දර, ගුවන් කාර්ය මණ්ඩල ප්‍රධානී රෝෂානි දිසානායක, ගුවන් මැදිරි අධීක්ෂක උපුලි වර්ණකුල සහ ගුවන් සේවිකාවන් වන ලක්මිණි දිසානායක, ජයකලනී කින්සන් සහ හර්ෂි වල්පොල කංකානමාලගේ මේ සඳහා එක්ව තිබෙනවා.

QR ඉන්ධන සලාකය අලුත් වන දිනය වෙනස් වෙයි

අද (08) සිට ක්‍රියාත්මක වන පරිදි QR ඉන්ධන සලාකය සතිපතා අලුත් කිරීම අඟහරුවාදා දිනවල මධ්‍යම රාත්‍රියේ සිදු කිරීමට තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව අද මේ වන විට සියලුම QR ඉන්ධන සලාක අලුත් කර ඇති බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය නොවෙනස්ව තවදුරටත් පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

418c01618431b036721147fd1226839a

කොළඹ සරසවි සිසුන්ට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

කොළඹ විශ්විද්‍යාල සිසුන්ගේ විරෝධතාවට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ඊයේ (07) දිනයේ කොළඹ විශ්විද්‍යාල සිසුන්ට විශ්විද්‍යාලය තුළට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට විරෝධය පළ කරමින් ඔවුන් මෙම විරෝධතාව සංවිධානය කර ඇති බවයි සඳහන් වන්නේ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මාර්තු 9 වනදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මාර්තු 9 වනදා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ශ්‍යාම් බන්නැහැක පවසනවා.

ඒ අනුව විශ්වවිද්‍යාලවල කටයුතු ඉදිරි දින කිහිපය තුළ නතරවනු ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

එසේම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උසස් පෙළ විභාග ඇගයීම් කටයුතුවලින් ඉවත්වීමට ගත් තීරණය අඛණ්ඩව ක්‍රියාත්මක වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය ලබන 18 වැනිදා

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය ලබන මාර්තු 18 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව දිවයින පුරා මධ්‍යස්ථාන 3,269 දී විභාගය පැවැත්වෙන බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර කළේ.

එම විභාගය සඳහා පෙනී සිටින සියලුම අපේක්ෂකයින් සඳහා වන ප්‍රවේශ පත්‍ර පෞද්ගලිකව බාගත කළ නොහැකි වන අතර තම පාසැල් මඟින් එම කාර්ය සිදුකළ යුතු බවයි විභාග කොමසාරිස්වරයා සඳහන් කළේ.

පළායෑමට තැත්කළ කෑගල්ල බන්ධනාගාර​යේ රැඳවියෙක් වෙඩි පහරින් මරුට

කෑගල්ල බන්ධනාගාරයෙන් පළායෑමට උත්සහ කළ රැඳවියෙකු බන්ධනාගාර නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමකින් මියගොස් තිබෙනවා.

ඒ අනුව අදාළ රැඳවියා බන්ධනාගාරයේ කටයුතු සඳහා අලුයම යොදවා සිටි අවස්ථා‍වේ දී එම ස්ථානයෙන් පළායාමට උත්සාහ කිරීමේදී එම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ රැඳවියා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක්.

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබෙනවා.

මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව වන්නේ “ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා නවෝත්පාදන සහ තාක්ෂණය” යන්න බවයි සඳහන් වන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ කාන්තා දින ජාතික උත්සවය “ඇය දැයේ අභිමානයයි” යන තේමාවෙන් සංවිධානය කිරීමට කාන්තා, ළමා හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරන්නේ, සාක්ෂරතාවයෙන් ඉදිරියට පැමිණ සිටින ලාංකීය කාන්තාව, අද දවසේ රටේ ආර්ථිකයට වෘත්තීමය වශයෙන් ලබාදෙන ශක්තිය සහ දායකත්වය සුවිශේෂී බවයි.

එසේම ස්ත්‍රී පුරුෂ සමාජභාවය, සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබලගැන්වීම පිළිබඳ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සම්පාදනය කර ඇති බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අද සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් වෘත්තීය ක්‍රියාමාර්ගයක

අද (08) පෙරවරුවේ සිට සංකේතාත්මක වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීම‌ට සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද පෙරවරු 8.00 සිට වෘත්තීය කණ්ඩායමත් උදෑසන 6.30 සිට කණිෂ්ඨ කාර්ය මණ්ඩලයත් පැය 24 ක වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් සඳහන් කළේ.

නව බදු ප්‍රතිපත්තිය ඇතුළු ඉල්ලීම් 9 ක් මුල් කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

අන්තරේ විරෝධතා පා ගමනට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාවට කොළඹ විශ්වවිද්‍යාලය අසලදී ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

“රනිල් – රාජපක්ෂ ජුන්ටාව පන්නමු, ක්‍රම වෙනසකට පෙළ ගැසෙමු” යන තේමාවෙන් මෙම විරෝධතාව සංවිධානය කර තිබෙනවා.