තවත් පළාත් 5 ක වෛද්‍යවරුන් අද වැඩවර්ජනයට එක්වෙයි

නව බදු ප්‍රතිපත්තිය ඇතුළු ගැටළු කිහිපයකට එරෙහිව අද (14) තවත් පළාත් 5 ක වෛද්‍යවරුන් වැඩ වර්ජනය සඳහා එක්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසනවා.

වයඹ, උතුරු මැද, උතුර, ඌව සහ සබරගමුව යන පළාත්වල පිහිටි සියලුම රෝහල්වලද අද උදැසන 8.00 සිට අනිද්දා (15) උදැසන 8.00 දක්වා පැය 24 ක කාලයක් මෙම වර්ජනය ක්‍රියාත්මකවීමට නියමිතයි.

ඊයේ (13) දිනයේ බස්නාහිර, මධ්‍යම, දකුණ හා නැගෙනහිර පළාත්වල සියලුම රෝහල්වල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වූ අතර එම පළාත්වල රෝහල්වල කටයුතු අද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වනවා.

අද දිනය තුළ විසඳුම් නොලැබුණහොත් හෙට (15) දිවයින පුරා සියලුම රෝහල් ආවරණය වන පරිදි එක් දින වැඩවර්ජනයක් ක්‍රියාත්මක වන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ වැඩිදුරටත් සඳහන් කළේ.

වෘත්තීය ක්‍රියාමාර්ගය නතරකිරීමට තරම් ප්‍රමාණවත් විසඳුමක් ලැබුණේ නැහැ – හරිත අලුත්ගේ

වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව සහ රජය අතර ඊයේ (13) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී සිය වෘත්තීය ක්‍රියාමාර්ගය නතරකිරීම පිළිබඳ තීරණයක් ගැනීම සඳහා ප්‍රමාණවත් විසඳුමක් නොලැබුණු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසනවා.

ඒ අනුව ඊයේ දිනයේ සිදුකළ සාකච්ඡාව පිළිබඳ විශ්ලේෂණාත්මක වාර්තාවක් හෙට (14) උදෑසන ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට සාකච්ඡාවට සහභාගී වූ නිලධාරීන් පොරොන්දු වූ බවයි ඔහු සඳහන් කළේ.

අනතුරුව මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් හෙට දිනය තුළ දේශපාලනික පිළිතුරක් ලබාදෙනු ඇති බවට ඔවුන් වැඩිදුරටත් සඳහන් කළ බවයි වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේ.

සාමාන්‍ය පෙළ විභාගය කල් යා හැකියි – අධ්‍යාපන ඇමති

මේ වනවිට උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම සති දෙකක් පමණ ප්‍රමාදවී ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

ඒ අනුව පවතින තත්ත්වය මත උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම කල් ගියහොත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගයද කල් යා හැකි බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

විභාග දෙපාර්තමේන්තුවට විභාගයක් පැවැත්වීමේ කටයුතු සඳහා මාස තුනක පමණ කාලයක් අවශ්‍ය බවත් උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා ගුරුවරුන් ඉදිරිපත් කළ ගැටලු සඳහා විසඳුම් ලබාදී ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

යාල්දේවි දුම්රිය පීලිපැනීමකට ලක්වෙයි

කොළඹ කොටුව සිට අනුරාධපුරය බලා ධාවනය වු යාල්දේවි දුම්රිය ඔරුගොඩවත්ත දුම්රිය පාලම ආසන්නයේ දි පීලිපැනීමකට ලක්ව තිබෙනවා.

දුම්රිය මැදිරි දෙකක් මෙලෙස පීලිපැනීමට ලක්ව ඇති අතර මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ සහ පුත්තලම් මාර්ගයේ ධාවනය වන දුම්රිය ප්‍රමාදවීමක් සිදුවිය හැකි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

වෘත්තීය සමිති රැසක් අද සිට වෘත්තීය ක්‍රියාමාර්ගවල

නව ආදායම් බදු ප්‍රතිපත්තිය ඇතුළු ගැටළු කිහිපයකට එරෙහිව අද (13) සිට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව හා රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති රැසක් වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරතවීමට නියමිතව තිබෙනවා.

සෞඛ්‍ය, අධ්‍යාපන, ජල, විදුලි, හෙද, ගුරු ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක සේවය කරන සේවකයන් මේ සඳහා එක්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

ආදායම් බදු පනතට එරෙහිව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ආරම්භ කළ වැඩ වර්ජනය අද 5 වන දිනටත් ක්‍රියාත්මක වන අතර එහි සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක සඳහන් කළේ, මේ සඳහා විසඳුම් ලබාදීමට රජය කඩිනමින් කටයුතු කළ යුතු බවයි.

ජල සම්පාදන සේවකයන්ද අද පැවැත්වෙන වෘත්තීය ක්‍රියාමාර්ගවලට සහයෝගය දක්වන අතර විධායක නිලධාරීන් හා වෘත්තිකයන් ඇතැම් සේවාවවලින් බැහැරවීමට කටයුතු කරන බවද එම වෘත්තීය සමිති සඳහන් කළා.

සමස්ත ලංකා හෙද සංගමය හා ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ලබන 15 වනදා වැඩ වර්ජනයට සහයෝගය දක්වන බව සහ වරාය සේවකයන් අද සිට පැය 48 ක කාලයක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අද පළාත් හතරක වෛද්‍යවරුන් වැඩ වර්ජනයක

නව බදු ප්‍රතිපත්තිය ඇතුළු ගැටළු කිහිපයකට එරෙහිව අද (13) පළාත් හතරක වෛද්‍යවරුන් වැඩ වර්ජනයක් දියත් කිරීමට තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව බස්නාහිර, මධ්‍යම, දකුණ හා නැගෙනහිර පළාත්වල සියලුම රෝහල්වල අද උදෑසන 8.00 සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ සඳහන් කළේ.

වර්ජනය ක්‍රියාත්මක වුවද හදිසි ප්‍රතිකාර සේවා අඛණ්ඩව ක්‍රියාත්මක කරනා බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අද දිනයේ විසඳුමක් නොලැබුහොත් හෙට (14) දිනයේ ඉතිරි පළාත් පහේ රෝහල්ද මෙම වැඩවර්ජනය සඳහා එක්වන බවත් එදිනද මේ සඳහා විසඳුමක් නොලැබුනහොත් බදාදා (15) උදෑසන අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

බැංකු සේවකයන් හෙට කළු ඇඳුමින් සැරසී රාජකාරියට

නව බදු ප්‍රතිපත්තිය ඇතුළු ගැටළු කිහිපයකට එරෙහිව බැංකු සේවකයන් හෙට (13) දිනයේ කළු ඇඳුමින් සැරසී රාජකාරී සඳහා වාර්තා කිරීමට තීරණය කර ඇති බව ලංකා බැංකු සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අනූප නන්දුල පවසනවා.

අනිද්දා (14) දිනයේ කෑම පැයේදි රටපුරා උද්ඝෝෂණ පැවැත්වීමටද සැලසුම් කර ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

විසඳුමක් නොලැබුණහොත් 15 වනදා එක්දින දැවැන්ත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි ලංකා බැංකු සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති අනූප නන්දුල වැඩිදුරටත් සඳහන් කළේ.

වරාය සේවකයන් හෙට සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක

නව බදු ප්‍රතිපත්තිය⁣ ඇතුළු ගැටළු කිහිපයකට එරෙහිව වරාය සේවකයන් හෙට (13) උදෑසන 7.00 සිට පැය 48 ක කාලයක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ පවසනවා.

ඒ අනුව මේ සඳහා විසඳුමක් නොලැබුනහොත් 15 වනදා උදෑසන 7.00 සිට පැය 24 ක කාලයක් වරාය සේවකයන් වැඩ වර්ජනයකට එක්වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

හෙට පළාත් හතරක වෛද්‍යවරුන් වැඩ වර්ජනයක

නව බදු ප්‍රතිපත්තිය ඇතුළු ගැටළු කිහිපයකට එරෙහිව හෙට (13) පළාත් හතරක වෛද්‍යවරුන් වැඩවර්ජනයක් දියත් කිරීමට තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව හෙට උදෑසන 8.00 සිට බස්නාහිර, මධ්‍යම, දකුණ හා නැගෙනහිර පළාත්වල සියලුම රෝහල්වල වැඩවර්ජනයක් ආරම්භ කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ සඳහන් කළේ.

හෙට දිනයේ විසඳුමක් නොලැබුහොත් අඟහරුවාදා (14) දිනයේ ඉතිරි පළාත් පහේ රෝහල්ද මෙම වැඩවර්ජනය සඳහා එක්වන බවත් අඟහරුවාදා දිනයේද මේ සඳහා විසඳුමක් නොලැබුනහොත් බදාදා (15) උදෑසන අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම ඉදිරි සතියේ ඇරඹේ

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ ඉදිරි සතියේ සිටම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව සාමූහික ගිවිසුම්වලින් ඉවත් වීම සහ මූල්‍ය පාලනය පිළිබඳව අවශ්‍ය නව ප්‍රතිපත්ති තීරණ ගැනීම එහි පළමු පියවර බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සඳහා ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ අමෙරිකානු නියෝජිත ආයතනය සහ ජයිකා ආයතනය සහය ලබාදීමට තීරණය කර තිබෙනවා.