දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් හෙට වර්ජනයට එක් නොවීමේ තීරණයක

දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් හෙට (15) දිනයේ පැවැත්වෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහභාගී නොවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව දුම්රිය නියාමක සංගමය, ස්ථානාධිපති සංගමය සහ දුම්රිය පාලකවරුන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් හෙට පැවැත්වෙන වර්ජනයට සහභාගී නොවන බවයි සඳහන් වන්නේ.

කෙසේ නමුත් දුම්රිය රියදුරන්ගේ වෘත්තීය සමිතිය හෙට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බවට දැනුම්දීමක් සිදුකර ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.ඒ. ඩී.එස්. ගුණසිංහ සඳහන් කළේ.

බස්නාහිර හා මධ්‍යම පළාත්වල හෙටට නියමිත වාර විභාග කිහිපයක් කල් දැමේ

බස්නාහිර සහ මධ්‍යම පළාත්වල පාසල්වල හෙට (15) දිනයේ පැවැත්වීමට නියමිත වාර විභාග කිහිපයක් කල් දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර පළාතේ හෙට (15) පැවැත්වීමට නියමිතව තිබූ 10, 11 ශ්‍රේණි වාර විභාග එළඹෙන 22 වනදා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර 09 ශ්‍රේණියේ සිසුන්ගේ වාර විභාග එළඹෙන 21 වනදා පැවැත්වීමට සැලසුම්කර ඇති බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

එසේම මධ්‍යම පළාතේ හෙට (15) පැවැත්වීමට නියමිතව තිබූ 6 සිට 9 වන ශ්‍රේණිය දක්වා සිසුන්ගේ වාර විභාග එළඹෙන 17 වනදා පැවැත්වීමට සැලසුම්කර ඇති අතර 10 සහ 11 ශ්‍රේණිවල සිසුන්ගේ වාර විභාග එළඹෙන 22 වනදා පැවැත්වීමට සැලසුම්කර ඇති බවයි මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

සැලසුම් කළ පරිදි වෘත්තීය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරනවා – තැපැල් සේවකයන්

සැලසුම් කළ පරිදි අද (14) සිට වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.

එහි සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ, අද පස්වරු 4.00 සිට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයන් සේවයෙන් ඉවත් වන බවයි.

ඒ අනුව අද (14) මධ්‍යම රාත්‍රී 12.00 සිට සමස්ත තැපැල් සේවකයන් තැපැල් සේවා කටයුතුවලින් ඉවත්වී එක්දින වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට සඳහන් කරමින් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් ගැසට් නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.

විදුලි ඉංජිනේරුවන් සහ සේවකයන් හෙට ලෙඩ නිවාඩු වාර්තා කරයි

අසාධාරණ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් හෙට (15) දිනයේ ලෙඩ නිවාඩු වාර්තා කිරීමට ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය තීරණය කර ඇති බව එහි සම ලේකම් බුද්ධික විජේවර්ධන පවසනවා.

මේ හේතුවෙන් හෙට දිනයේ සෘජුව විදුලිය බිඳවැටීමක් සිදු නොවුනත්, සාමාන්‍ය විදුලි බිඳවැටීම් යථා තත්ත්වයට පත් කිරීමට ගතවන කාලය වැඩිවිය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයින්ද හෙට (15) දිනයේ ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවයි ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් සඳහන් කළේ.

ගුරු වෘත්තීය සමිති හෙට වැඩ වර්ජනයට එක්වෙයි

ගුරු වෘත්තීය සමිති හෙට (15) පැවැත්වෙන වැඩ වර්ජනයට එක්වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා.

ගුරු හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවයේ ඊළඟ කොටස ලබා දෙනතුරු රුපියල් 20,000 ක දීමනාවක් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ජාතික ජන බලවේගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

මාර්තු මස 09 වනදා පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු වී ඇති බවට තීන්දු කරන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

එහි වගඋත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා, නීතිපතිවරයා, රජයේ මුද්‍රණාලාධිපතිනිය, පොලිස්පතිවරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු තිස් පස්දෙනෙකු නම් කර තිබෙනවා.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, ජාතික ජන බලවේගයේ ලේකම් නිහාල් අබේසිංහ යන අය විසින් පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.

දුම්රිය සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ

අද (14) සිට නැවත දැනුම් දෙනතුරු දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම කාර්ය මණ්ඩලවල නිවාඩු අවලංගු කර ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති අද (14) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

දුම්රිය ඉංජිනේරු සංගමය වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත්කරයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ලොකෝමෝටිව් දුම්රිය ඉංජිනේරු සංගමය විසින් පැය 24 ක වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව අද (14) මධ්‍යම රාත්‍රියේ සිට මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි එම සංගමය සඳහන් කරන්නේ.

විශ්වවිද්‍යාල කිහිපයක වෛද්‍ය සිසුන් සඳහා සායනික පුහුණුව ලබාදීමට සුදුසු රජයේ රෝහල් හඳුනාගැනීමට කමිටුවක්

රාජ්‍ය විශ්වවිද්‍යාලවල වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුවට බාධාවක් නොවන පරිදි විශ්වවිද්‍යාල කිහිපයක වෛද්‍ය සිසුන් සඳහා සායනික පුහුණුව ලබාදීමට ශික්ෂණ රෝහල් ලෙස භාවිත කිරීමට සුදුසු රජයේ රෝහල් හඳුනාගැනීම සඳහා කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල, ලයිසියම් කැම්පස් සහ කොළඹ, කළුතර, ගම්පහ, කුරුණෑගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇති විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන වෛද්‍ය සිසුන් සඳහා සායනික පුහුණුව ලබාදීමට සුදුසු රජයේ රෝහල් හඳුනාගැනීමට නියමිත බවයි සඳහන් වන්නේ.

තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කෙරේ

තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට සඳහන් කරමින් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් තැපැල් සේවකයන් අද (14) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව තැපැල් වෘත්තීය සමිති ප්‍රකාශ කර තිබුණා.

අදාළ ගැසට් නිවේදනය පහතින්,

efd85d202e451b1bb5b0f8b8058199ad