වෘත්තියවේදීන්ගේ එකමුතුව අද සාකච්ඡාවක් කැඳවයි

ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වෘත්තියවේදීන්ගේ එකමුතුව අද රැස්වන බව එම එකමුතුව නියෝජනය කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහිදී රජය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවලිය සහ ජනාධිපතිවරයා සමඟ ලබන සතියේ පැවැත්වීමට නියමිත සාකච්ඡාව සම්බන්ධයෙන් ද සාකච්ඡා කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ.

රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව සිදු කරන කටයුතු ඒ ආකාරයෙන්ම සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ගුරු විදුහල්පති වැඩ වර්ජනය අවසන් වෙයි

අද (16) දිනයේ පාසල් සඳහා සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කරන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති පවසනවා.

ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති ඊයේ (15) වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට කටයුතු කර තිබුණා.

ඒ අනුව ගුරුවරුන් හා විදුහල්පතිවරුන් සේවයට වාර්තා කරන බැවින් අද සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වීමට නියමිතයි

චීන රජයෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට පරිත්‍යාගයක්

චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු පොලිස් නිල ඇඳුම් රෙදි තොගයක් නිල වශයෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව වෙත භාරදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ සිදුවී තිබෙනවා.

එම පරිත්‍යාගයට අදාළ ලිපි ලේඛන ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොන් මහතා විසින් ජනාධිපතිවරයා ඉදිරියේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතා වෙත භාරදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

අද වර්ජනයට එක් නොවූවන් ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

අද (15) දිනයේ ක්‍රියාත්මකවූ වැඩ වර්ජනය සඳහා ඇතැම් වෘත්තීය සමිති සහයෝගය නොදක්වා සේවයට වාර්තා කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

ඒ අනුව අද පෙරවරුවේ දුම්රිය සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නොතකමින්, මගීන්ගේ පහසුව සඳහා අද උදෑසන 8.00 වන විට දුම්රිය 20ක් ධාවනය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ජනාධිපති මාධ්‍ය අංශයට තහවුරු කර තිබෙනවා.

එසේම සාමාන්‍ය පරිදි ඉන්ධන තොග බෙදාහැරීම සඳහා පෙට්‍රල් සහ ඩීසල් ලීටර් 6,600ක ධාරිතාවකින් යුත් බවුසර් 300කට අධික ප්‍රමාණයක් අද උදෑසන සූදානම් කර තිබූ බවට PSTL සභාපති එම්.යූ. මොහොමඩ් තහවුරු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ.

තමන් කිසිදු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නොයෙදෙන බවත් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා තම සහයෝගය ලබා දෙන බවත් ලංකා විදුලිබල මණ්ඩල මුදල් භාර නිලධාරී සංගමය විසින් ලංවිම සාමාන්‍යාධිකාරී වෙත දැනුම් දී තිබෙනවා.

ලංකා බැංකු ශාඛා 265 ක් හා මහජන බැංකු ශාඛා 330 ක් විවෘත කර සාමාන්‍ය පරිදි සේවා පවත්වාගෙන යන බවට එම බැංකු සභාපතිවරුන් තහවුරු කළ බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

අද පෙරවරු 11.00 වන විට ලංගම ඩිපෝ 107ම නියමිත කාලසටහනට අනුව ක්‍රියාත්මක අතර ලංගම වෘත්තීය සමිති 08 න් එක් වෘත්තීය සමිතියක් හැර අනෙක් වෘත්තීය සමිති 7 ම සහයෝගයෙන් කටයුතු කළ බව ලංගම සභාපති ලලිත් ද අල්විස් මහතා තහවුරු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

බැංකු සේවකයන් වර්ජනයට එක්වෙයි

අද පැවැත්වෙන දීපව්‍යාප්ත වැඩ වර්ජනයට සහාය පළ කරමින් ශ්‍රී ලංකා මහ බැංකු සේවකයන් ඇතුළු බැංකු සේවකයන් සේවාවලින් ඉවත්ව තිබෙනවා.

ඒ අනුව අද දිනයේ ප්‍රදේශ රැසක පිහිටි බැංකු බොහෝමයක කටයුතු සිදු නොකෙරෙන බවයි සඳහන් වන්නේ.

රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළකරමින් මෙම වැඩ වර්ජනය අද (15) ක්‍රියාත්මක වනවා.

කෙසේ නමුත් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ, ලංකා බැංකු ශාඛා 265 ක් හා මහජන බැංකු ශාඛා 272 ක් විවෘත කර සාමාන්‍ය පරිදි සේවා පවත්වාගෙන යන බවට එම බංකු සභාපතිවරුන් තහවුරු කළ බවයි.

දුම්රිය වැඩ වර්ජනය ක්‍රියාත්මක වෙයි

දුම්රිය රියදුරු වෘත්තීය සමිති විසින් ආරම්භ කළ වැඩ වර්ජනය මේ වන විට පැවැත්වෙමින් තිබෙනවා.

ඒ අනුව අද (15) උදෑසන වන විට කාර්යාල දුම්රිය 20 ක් පමණක් ධාවනය කර ඇති අතර දුම්රිය ගමන්වාර රැසක් අවලංගුවී ඇති බවයි සඳහන් වන්නේ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මගී ජනතාව සඳහන් කරන්නේ, දුම්රිය නොමැතිවීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි.

කෙසේ නමුත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ, දුම්රිය සේවකයින්ගේ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නොතකමින්, මගීන්ගේ පහසුව සඳහා අද උදෑසන 8.00 වන විට දුම්රිය 20 ක් ධාවනය කර ඇති බවයි.

රෝහල් වැඩ වර්ජනය ආරම්භ වෙයි

දිවයින පුරා රෝහල් ආවරණය වන පරිදි මේ වන විට වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිතිවල වැඩ වර්ජනය ආරම්භවී තිබෙනවා.

මේ සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ හෙද හෙදියන් ඇතුළු රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩලයද එක්ව ඇති බවයි සඳහන් වන්නේ.

රජයේ නව බදු ප්‍රතිපත්තිය, පොලී අනුපාත ඉහළ දැමීම, විදුලිබිල වැඩි කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ඇතුළු වෘත්තීය සමිති රැසක් මෙම එක්දින වැඩ වර්ජනය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

උපරිම බස් රථ සංඛ්‍යාවක් ධාවනයට ලංගම හා පෞද්ගලික බස් සූදානමින්

අද දිනය තුළ මගී ජනතාවට අපහසුතාවකින් තොරව ගමන් බිමන් යාම සඳහා ප්‍රවාහන පහසුකම් සැලසීමට අවශ්‍ය පරිදි පුද්ගලික බස්රථ යොදවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ, අද දිනයේ දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක බැවින් අතිරේක බස්රථ යෙදවීමට ද කටයුතු යොදා ඇති බවයි.

එසේම ලංගම බස්රථ ද උපරිම සංඛ්‍යාවක් අද දිනය තුළ ධාවනය කිරීමට පියවර ගන්නා බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) පණ්ඩුක ස්වර්ණහංස සඳහන් කළේ.

හරක් කටා සහ කුඩු සළිඳු දිවයිනට රැගෙන එයි

මැඩගස්කරයේ දී අත්අඩංගුවට ගත් නඳුන් චින්තක නොහොත් “හරක් කටා” සහ සළිඳු මල්ෂික නොහොත් “කුඩු සළිඳු” ඇතුළු පිරිස අද (15) උදෑසන දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා මැඩගස්කරය බලා පිටත්ව ගිය අතර එම නිලධාරීන් විසින් මෙම පුද්ගලයින් දෙදෙනා රැගෙනවිත් ඇති බවයි සඳහන් වන්නේ.

හරක් කටා” සහ “කුඩු සළිඳු” ඇතුළු පිරිසක් පසුගියදා මැඩගස්කරයේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

කාර්යාල දුම්රිය 10 ක් පමණක් අද ධාවනය කෙරේ

දුම්රිය රියදුරන්ගේ වර්ජනය හේතුවෙන් අද (15) උදෑසන කාර්යාල දුම්රිය 10 ක් පමණක් ධාවනය කරන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරනවා.

අද දිනයේ ධාවනය කිරීමට නියමිත දුම්රිය කිහිපයක් පහතින්.

මුහුදුබඩ මාර්ගය:

* අංක 8097 පෙ.ව. 04.15 බෙලිඅත්ත – මරදාන (සාගරිකා සීඝ්‍රගාමී)
(දකුණු කළුතර සිට මන්දගාමී)

* අංක 8320 පෙ.ව. 05.00 ගාල්ල – මරදාන (මන්දගාමී)

* අංක 8324 පෙ.ව. 06.00 අළුත්ගම – මරදාන (මන්දගාමී)

* අංක 8326 පෙ.ව. 07.00 දකුණු කළුතර – මරදාන (මන්දගාමී)
පුත්තලම මාර්ගය:

* අංක 3803 පෙ.ව.04.50 හලාවත – කොළඹ කොටුව (මන්දගාමී)

* අංක 3801 පෙ.ව.05.50 හලාවත – කොළඹ කොටුව (මන්දගාමී)
කැලණිවැලි මාර්ගය:

* දුම්රිය අංක 9646 පෙ.ව. 05.00 අවිස්සාවේල්ල – කොළඹ කොටුව

* දුම්රිය අංක 9649 පෙ.ව. 05.45 අවිස්සාවේල්ල – කොළඹ කොටුව