2023 රාජ්‍ය වෙසක් මහෝත්සවය පුත්තලමට

මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව හලාවත, කැදැල්ලෑව, ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේදී මෙම උත්සවය පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

රාජ්‍ය වෙසක් උත්සවය පිළිබඳ සාකච්ඡාවක් හලාවත කරවිටාගාර ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේදී බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායකගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.

ශ්‍රී පාදය මාර්ගයේ ඇති ආහාර පාන අලෙවිසැල් පරික්ෂාවට

ශ්‍රී පාදය මාර්ගයේ ඇති ආහාර පාන අලෙවිසැල් පරික්ෂාව අද (17) දිනයේ ආරම්භ කර තිබෙනවා.

ලිස්ටීරියා නැමති විෂබීජය ඇතැම් පිරිස් වෙත ආසාදනය වීමත් සමඟ මෙලෙස ශ්‍රී පාදය ස්ථානයේ මාර්ගයේ ඇති ආහාර පාන අලෙවිසැල් පරික්ෂාව ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව අදාළ ස්ථානයේ ඇති ආහාරවල නියැඳි ලබා ගැනීම නල්ලතන්නිය හා නුවරඑළිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අද දිනයේ දී සිදුකෙරෙන බවයි සඳහන් වන්නේ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අඛණ්ඩ වැඩ වර්ජනය 9 වන දිනටත් පැවැත්වෙයි

නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අද (17) නවවන දිනටත් අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වනවා.

තම ඉල්ලීම් සම්බන්ධයෙන් රජය ලබාදුන් ප්‍රතිචාර පිළිගත නොහැකි බවයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසන්නේ.

ඒ අනුව පිළිගත හැකි විසඳුමක් ලැබෙනතුරු මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වන බවයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මෛත්‍රීගේ පෙත්සම විභාගයට දින නියම කෙරේ

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත්කළ රිට් පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ජුලි 31 වනදා යලි විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (17) නියෝග කර තිබෙනවා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ගොනුකර තිබෙන පෞද්ගලික පැමිණිල්ලක් බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මෙම රිට් පෙත්සම ගොනුකර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව අදාළ පෙත්සම ජුලි 31 සහ අගෝස්තු මස 09 වනදා විභාගයට ගැනීමට විනිසුරු මඩුල්ල නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

පොලිසියට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 1,521 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට

මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් මේ වනවිට පොලිස් දෙපාර්තමේන්තුවට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 1,521 ක් පමණ ඉදිරිපත් කර තිබෙන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශකර තිබෙනවා.

මහාචාර්ය අර්ජුන පරාක්‍රම විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

ඉකුත් ජනවාරි මස 20 වනදා වත්මන් ආර්ථික අර්බුදයට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ විශ්වවිද්‍යාලයේ සිට ගාලු මුවදොර මුදල් අමාත්‍යාංශය දක්වා වෘත්තිකයින් විසින් පා ගමනක් සංවිධානය කර තිබූ බවත්, නිත්‍යානුකූල ලෙස සාමකාමීව සිදු කළ එම පෙළපාලියට පොලීසිය විසින් විවිධ අවස්ථාවල හිරිහැර හා බාධා කිරීම් සිදු කළ බවත්, ඒ තුළින් නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ මූලික මිනිස් අයිතිය ඇතුළු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් මෙම පෙත්සම ගොනුකර තිබෙනවා.

වගඋත්තරකරුවන්ට සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා අප්‍රේල් මස 28 වනදා දක්වා කල් ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පෙත්සම සලකා බැලීම සඳහා මැයි මස 31 වනදා යලි කැඳවන ලෙසද නියෝග කර තිබෙනවා.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නඩු පැවරීමට අදාළ නීතිය සංශෝධනය කිරීමට අවධානය

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නඩු පැවරීමට අදාළ නීතිය සංශෝධනය කිරීමට අවධානය යොමුවී ඇති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසනවා.

පොලීසිය විසින් මත්ද්‍රව්‍ය පිළිබඳ නඩු පැවරීමේදී අනුගමනය කරන ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් ජනතාව චෝදනා එල්ල කිරීම ඊට හේතුව බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

සමහර පොලිස් ස්ථානවලින් සාම්පල 20 ක 30 ක පමණ ප්‍රමාණයක් කුඩු බවට පවසා අධිකරණයට ඉදිරිපත් කරන බවත් රස පරීක්ෂක වාර්තාව ලැබුණු පසු ඒවා කුඩු නොවන බවට අනාවරණය වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව දැනට පවතින නීතිය අවභාවිතාවට ලක්වන බවත් නීතියේ යම් ප්‍රතිසංස්කරණ විය යුතු බවයි බව අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මෝදර වරාය ආසන්නයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වසා දැමේ

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මෝදර වරාය ආසන්නයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය අද (16) සිට ලබන 19 වනදා වසා තැබීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එම හරස් මාර්ගය අද (16) සිට ලබන 19 වනදා දක්වා දිනයන්වල පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා කාලය තුළ වසා දැමීමට සිදුවන බවයි නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මෝදර වරාය ආසන්නයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේ අලුත්වැඩියාවක් හේතුවෙන් මෙම තීරණය ගත් බවයි සඳහන් වන්නේ.

සුබසාධක ප්‍රතිලාභ අයදුම්පත් මිලියන 1.1ක තොරතුරු සත්‍යාපන කටයුතු අවසන් – මුදල් රාජ්‍ය ඇමති

සුබසාධක ප්‍රතිලාභ අයදුම්පත්වල තොරතුරු සත්‍යාපනය කිරීමේ කටයුතු මේ වන විට අවසන් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 334 කින් ලද සුබසාධක ප්‍රතිලාභ අයදුම්පත් මිලියන 3.7න් මිලියන 1.1 ක තොරතුරු සත්‍යාපනය අවසන් කර ඇති බවයි සඳහන් වන්නේ.

තොරතුරු සමීක්ෂණය මාර්තු 31 අවසන් වන බැවින් එදිනට පෙර නිවැරදි තොරතුරු ලබාදෙන ලෙසත්, එසේ නොවුණහොත් සුබසාධක ප්‍රතිලාභ අහිමි වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

කොග්ගලදී මෝටර් රථයක් දුම්රියක ගැටෙයි

නුවර සිට මාතර දක්වා ධාවනය වු දුම්රියක, කොග්ගල ප්‍රදේශයේ දී මෝටර් රථයක් ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කොග්ගල පොහොර ගබඩාව අසල පිහිටි දුම්රිය හරස් මාර්ගය හරහා අපරික්ෂාකාරී ලෙස ධාවනය කිරීමට උත්සාහ කළ මෝටර් රථයක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි සඳහන් වන්නේ.

වන්දනා ගමන් යන පිරිස් වෙත සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්

පසුගිය දින කිහිපය තුළදී වන්දනා ගමන්වල නිරත වූ බැතිමතුන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 10 දෙනෙක් රෝගීවී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව මරණයට හේතුව මෙතෙක් නිශ්චිතව තහවුරුවී නොමැති වුවත් රෝග ලක්ෂණ අනුව ආහාර විෂවීමක් හෝ බැක්ටීරියා ආසාදනයක් විය හැකි බවට සැක කෙරෙන බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ.

ශ්‍රී පාද වන්දනාවේ සහ අනෙකුත් වන්දනා ගමන්වලට නිරතවන සියලුම බැතිමතුන් හැකිතාක් පානීය ජලය උණුකර නිවාගෙන තම නිවසින් රැගෙන යන ලෙසත් සෞඛ්‍ය ආරක්ෂිතව ගබඩා කර ඇති ආහාර පමණක් ලබා ගන්නා ලෙසත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඉල්ලා සිටිනවා.

මේ සම්බන්ධයෙන් කලබල වියයුතු නොමැති බවත් යම් අවධානමක් ඇත්නම් මහජනතාව දැනුවත් කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කරන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ වැඩිදුරටත් සඳහන් කළේ.