ඩිෆෙන්ඩර් රථ අනතුරකින් STF නිලධාරින් දෙදෙනෙක් මරුට

වව්නියාව, වෙලිකුලම ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් පොලිස් විශේෂ කාර්ය බළකා කොස්තාපල්වරු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඩිෆෙන්ඩර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්, උප පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් සැරයන්වරු දෙදෙනෙක් තුවාල ලබා වව්නියාව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කළේ.

පොලිස් විශේෂ කාර්ය බළකා ඩිෆෙන්ඩර් රථය මාර්ගයේ රැඳී සිටි කිරි ගවයෙකුගේ ගැටී රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් තාප්පයක ගැටීමෙන් එම අනතුර සිදුව තිබෙනවා.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, කුරුණෑගල සහ මැදවච්චිය ප්‍රදේශවල පදිංචි 29 හා 31 හැවිරිදි පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට අයත් කොස්තාපල්වරු දෙදෙනෙක් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

වාහන හැර අනෙකුත් සියළු ආනයන සීමා ඉවත් කිරීමට තීරණයක්

ආනයන සීමා පනවා තිබු වාහන හැර සියලුම භාණ්ඩවල ආනයන සීමා ඉවත් කිරීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.

ආනයන සීමා පනවා තිබූ HS කේත 250ක භාණ්ඩ සඳහා මෙම සීමා ඉවත් කිරීම සිදු කිරීමට නියමිත අතර ආර්ථිකය තවත් පුළුල් කිරීම සඳහා මෙම ආනයන සීමා නිදහස් කළ බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඊශ්‍රායල – පලස්තීන ගැටුම්වලින් මියගිය සංඛ්‍යා​ව තවදුරටත් ඉහළට

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින යුද ගැටුම්වලින් මේ වන විට පුද්ගලයින් 1,100 ක් පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එසේම ප්‍රහාර හේතුවෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

මේ අතර ඊශ්‍රායලයේ පැවති සංගීත ප්‍රසංගයකට හමාස් සටන්කාමීන් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එහිදී පුද්ගලයින් 260 ක් පමණ මියගොස් ඇති බවද සඳහන් වනවා.

දෙපාර්ශවය අතර පවතින ගැටුම මේ වන විට උග්‍ර අතට පත්වී ඇති අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයද රැස්වීමට නියමිතයි.

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ දේහය පිළිබ​ඳ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා

අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන බ්‍රහස්පතින්දා සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එදින සවස 3.00 ට රාගම ශුද්ධවූ පේදුරු හා පාවුළු දේවස්ථානයේ දී අවසන් කටයුතු සිදුකරන බවයි පවුලේ ඥාතීන් දැනුම් දෙන්නේ.

“පනා පුත්‍ර කුහුඹු පැණියා” හෙවත් හෙළ සිනමාවේ අසහාය රංගන පෞරුෂය ලෙස හැඳින්වෙන ජැක්සන් ඇන්තනී අද (09) අලුයම අභාවප්‍රාප්ත වුණා.

රංගන ශිල්පියෙක්, ගේය පද රචකයෙක්, ගායකයෙක්, ලේඛකයෙක්, නිවේදකයෙක් මෙන්ම ඉතිහාස විශ්ලේෂකයෙකු ලෙස සිය ප්‍රතිභාපුර්ණ හැකියාව පෙන්නුම් කළ ඔහු හොඳම නළුවාට හිමි සම්මානය වාර්තාගත ලෙස 16 වතාවක් දිනාගෙන තිබෙනවා.

නෙවිල් ඩයස් සුබසිංහගේ ‘වාරුවෙන් යන මිනිසුන්’ සහ ‘මානවයෝ’ මෙන්ම ඊ.එම්.ඩී.උපාලිගේ ‘මෙතනින් මාරුවෙනු’ නාට්‍යයේත් ඔහු රංගනයෙන් දායක වූ අතර ‘මරාසාද්’ , ‘මධුර ජවනිකා’ , ‘ලෝම හංස’ , ‘ධවල භීෂණ’ , ‘ඇත්’ , ‘මෝරා’ වැනි ජනප්‍රිය වේදිකා නාට්‍ය රැසකටද ඔහු සිය දායකත්වය ලබාදී තිබෙනවා.

1993 දී ඔහු සිනමාවට පිවිසෙන ඔහු ගුරු ගෙදර, අයෝමා, ලොකු දුව, භව දුක, භව කර්ම, ගිනි අවි සහ ගිනි කෙළි, අස්වැසුම, අග්නි දාහය, සූරිය අරණ, මිල්ලේ සොයා සහ රන්දිය දහර වැනි චිත්‍රපටවලින් තම රංග ප්‍රතිභාව ප්‍රදර්ශනය කළා.

මහ කන්නයේ පොහොර බෙදාහැරීම අද සිට

ඉදිරි මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර අද (09) සිට බෙදාහැරීම ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව අද සිට යූරියා පොහොර මෙට්‍රික් ටොන් 21,000ක් බෙදාහැරීමට නියමිත අතර කිලෝ ග්‍රෑම් 50ක යූරියා පොහොර මිටියක් රුපියල් 9,000ක මුදලකට අලෙවි කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

එම පොහොර සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙතින් මිල දී ගැනීමට අවස්ථාව සලසා දී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 71,320 කට බලපෑම්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක රැසක පවුල් 18,898 කට අයත් පුද්ගලයින් 71,320 දෙනෙකුට බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව රත්නපුර, කෑගල්ල, කොළඹ, කළුතර, ගම්පහ, මාතර, ගාල්ල, නුවරඑළිය, පුත්තලම, කුරුණෑගල, යාපනය සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලට වර්ෂාව හේතුවෙන් බලපෑම් එල්ල වී ඇති බවයි සඳහන් වන්නේ.

ආපදාවට ලක්වු පවුල් 555කට අයත් පුද්ගලයින් 1,910 දෙනෙකු මේ වන විට ආරක්ෂිත ස්ථාන 16ක රඳවා ඇති අතර ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 12කට පුර්ණ හානි සිදු වී ඇති අතර නිවාස 1,004ක් අර්ධ වශයෙන් හානියට පත්ව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

IMF වාර්ෂික සමුළුව අද ආරම්භ වෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව අද (09) මොරොක්කෝවේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව මේ සඳහා රටවල් රැසක මුදල් අමාත්‍යවරුන්, මහ බැංකු අධිපතිවරුන් ඇතුළු නිලධාරීන් රැසක් එක්වීමට නියමිතයි.

සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු පිරිසක් සහභාගීවීමට නියමිතව තිබෙනවා.

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා අද (09) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු රිය අනතුරකට ලක්ව මාස 14 ක් පමණ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියා.

මිය යන විට ඔහු 65 වන වියේ පසු වුණා.

ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල පාසල් දින දෙකක් වසා දැ​මීමට තීරණයක්

පවත්නා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලූම පාසල් දින දෙකක් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එළැඹෙන ඔක්තෝබර් මස 9 වන සඳුදා දින හා 10 වන අඟහරුවාදා දිනවල එම දිස්ත්‍රික්කවල සියලූම පාසල් වසා තැබීමට නියමිතයි.

දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ඊශ්‍රායලය හා පලස්තීනය අතර යළිත් දරුණු ගැටුම් ඇතිවෙයි

ඊශ්‍රායලය හා පලස්තීනය අතර යළිත් දරුණු ගැටුමක් හටගෙන තිබෙනවා.

ඒ අනුව ගාසා තීරයේ වෙසෙන සාමාන්‍ය වැසියන් වහාම සිය වාසස්ථාන වලින් ඉවත් කරන්නැයි ඊශ්‍රායලය අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.

හමාස් සටන්කාමීන් ඉලක්ක කර දරුණු ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට සූදානම්වන බැවින් ඊට පෙර ආරක්ෂිත ස්ථාන කර යොමුවන ලෙසයි ඊශ්‍රෘයලය ගාසා වැසියන්ට දැනුම් දී ඇත්තේ.

ඊයේ දිනයේදීද ඊශ්‍රායලය ගාසා තීරය ඉලක්ක කර ප්‍රහාර මාලාවක් එල්ල කළ අතර ඉන් ගාසා වැසියන් 230කට අධික පිරිසක් මිය ගොස් තිබෙන අතර තවත් 2,000කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එසේම ඊශ්‍රායලය ඉලක්ක කර හමාස් සටන් කාමීන් අනපේක්ෂිත ලෙස එල්ල කළ ප්‍රහාර හමුවේ මිය ගිය ඊශ්‍රායල වැසියන්  සංඛ්‍යාව 250 ඉක්මවා ඇති අතර තවත් දහසකට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වන්නේ.

මේ අතර, හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයේ ටෙල්අව්යු නුවරට රොකට් ප්‍රහාර 150ක් පමණ එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

දේශසීමා හරහා ඇතුලු වුණු හමාස් සටන් කාමීන් සිය ගණනක් ඊශ්‍රායලයේ ස්ථාන 22ක පමණ තවදුරටත් රැඳී සිටින බවත් ඔවුන් සොයා ඊශ්‍රායල හමුදාව ප්‍රභල මෙහෙයුමක් දියත් කර ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.