ජනපති සමඟ සාකච්ඡාවට අද දිනයක් ලබාදෙනු ඇති බවට බලාපොරොත්තු වෙනවා – විශ්වවිද්‍යාල ආචාර්යවරුන්

ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාව සඳහා අද (02) දිනය තුළ දිනයක් ලැබෙනු ඇති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.

එම රැස්වීම සම්බන්ධයෙන් අද දිනය තුළ දිනයක් ලබාදෙන බවට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දැනුම්දීමක් සිදුකර ඇති බවයි එහි මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ සඳහන් කළේ.

එම සාකච්ඡාවෙන් අනතුරුව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් සඳහා සහභාගී වීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

පවතින අධික වර්ෂාවත් සමඟ දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල සහ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ මාතර දිස්ත්‍රික්කයේ කොටපොල සහ පස්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙලෙස නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

එම ප්‍රදේශවල ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඉල්ලා සිටින්නේ.

ජාතික වෙසක් සතිය අදින් ඇරඹේ

ජාතික වෙසක් සතිය අදින් (02) ආරම්භ වනවා.

ඒ අනුව වෙසක් සතිය වෙනුවෙන් දිවයින පුරා ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවයි අමාත්‍ය විදුර වික්‍රමනායක සඳහන් කළේ.

මෙවර වෙසක් පොහොය මැයි මස 5 වනදාට යෙදී ඇති අතර මෙම වෙසක් සතිය ලබන 08 වනදා දක්වා ක්‍රියාත්මක වනවා.

එසේම මෙවර ජාතික වෙසක් උත්සවය හලාවත මාදම්පේ කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේ පැවැත්වීමට නියමිතයි.

කොළඹ වෙඩි තැබීමකින් පුද්ගලයින් 8 ක් රෝහල් ගත කෙරේ

කොළඹ වරායේ 06 වන ගේට්ටුව ආසන්නයේදී සිදුකළ වෙඩිතැබීමකින් 08 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසනවා.

වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ බ්ලූමැන්ඩල් වත්ත ප්‍රදේශයේ පදිංචි පිරිසක් වන අතර ඒ අතර කාන්තාවන් තිදෙනෙකුද සිටින බවට සඳහන් වනවා.

එහි මාර්ග සංවර්ධන වැඩබිමක සේවයේ නිරත පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

කොළඹ වරායේ 06 වන ගේට්ටුව ආසන්නයේදී වරායේ අදාළ මාර්ග සංවර්ධන වැඩබිමේ යකඩ සොරකම් කිරීමට පැමිණි දෙදෙනෙකු ප්‍රශ්න කිරීමට යාමේදී ගම්වාසීන් පිරිසක් එහි පැමිණීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිවී ඇති අතර පසුව පෞද්ගලික ආරක්ෂක අංශය සතුව තිබූ ගිනි අවියක් උදුරාගැනීමට යාමත් සමඟ වෙනත් පෞද්ගලික නිලධාරියෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර තිබෙනවා.

සේවක අර්ථ සාධක අරමුදල ගැන කිසිඳු බියක් ඇති කරගන්න එපා – ජනපති

සේවක අර්ථ සාධක අරමුදල සම්බන්ධව මේ වන විට අනියත බියක් ඇති කිරීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ කළ ද වැඩකරන ජනතාව වෙනුවෙන් ස්ථාපිත කර තිබෙන සේවක අර්ථ සාධක අරමුදලට කිසිඳු හානියක් සිදුවීමට ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

මේ උදා වී ඇත්තේ අන් කවරදාටත් වඩා ශ්‍රී ලාංකික වැඩ කරන ජනතාවගේ අභිමානය ලොවට ප්‍රදර්ශනය කළ හැකි අවස්ථාවක් බවද, මෙම තීරණාත්මක අවස්ථාවේ පටු දේශපාලන වුවමනාවන්ට ගොදුරු නොවී රට පළමුව තබා කටයුතු කරන ලෙසද, කම්කරු දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

ප්‍රවීණ රංගන ශිල්පී ජී.ආර්. පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

මෙරට ටෙලි නාට්‍යය ක්ෂේත්‍රය තුළ සිටි ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන ශිල්පී ජී.ආර්. පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කලක් අසනීප තත්ත්වයෙන් පෙළුණු ඒ මහතා අද (01) මිය යන විට 83 වෙනි වියේ පසුවුණා.

දශක ගණනාවක් පුරාවටම ඔහු විසින් මෙරට ටෙලි නාට්‍යය, චිත්‍රපට ඇතුළු නිර්මාණ රැසකට සිය දායකත්වය ලබාදී තිබුණා.

අකුණු සැරවලින් ආරක්ෂා වීම සඳහා කාලගුණ විද්‍යා දෙපාර්ත‍මේන්තුවෙන් උපදෙස්

මේ දිනවල පවතින අධික වර්ෂාව සමඟ ඇතිවෙන අකුණු සැරවලින් ආරක්ෂා වීම සඳහා පහත උපදෙස් අනුගමනය කරන්න යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

* එළිමහනේ හෝ ගස් යට නොසිටිය යුතු අතර ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත්ත වාහනයක් තුළ රැඳී සිටීම.

* කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි මෙන්ම ජාලශ වැනි විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වැළැකීම.

* රැහැන් සහිත දුරකතන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් වැළැකීම.

* බයිසිකල්, ට්‍රැක්ටර් සහා බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් වැළැකීම.

* තද සුළං හේතුවෙන් ගස් හා විදුලි රැහැන් බිම ඇඳ වැටීමට ඉඩඇති බැවින් ඒ් පිළිබඳව සැලකිලිමත් වීම.

* හදිසි තත්ත්වයකදී ප්‍රාදේශීය ආපදා කළමනාකරණ නිලධාරීන්ගේ සහය පැතීම.

මැයි දිනය වෙනුවෙන් අද විශේෂ රථ වාහන සැලැස්මක්

මැයි දිනය නිමිති කොටගෙන අද (01) පවත්වනු ලබන මැයි දින පෙළපාළිවලට සමගාමීව විශේෂ රථ වාහන සැලැස්මක් ශ්‍රී ලංකා පොලීසිය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

ඒ අනුව මැයි දින පෙළපාලි පැවැත්වීමට නියමිත ප‍්‍රදේශ ආශ්‍රිතව රථ වාහන සැලැස්මක් සහ පොලිස් ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් පොලීසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.

AI භාවිතය රට තුළ ප්‍රවර්ධනයට ජනාධිපති කාර්ය සාධක බලකායක්

කෘතිම බුද්ධි (AI) තාක්ෂණය භාවිතය රට තුළ ප්‍රවර්ධනය කිරීමට ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් නම් කර ඔවුන්ගේ තොරතුරු ඉදිරිපත් කරන ලෙසත්, ඒ පිළිබඳ සංකල්ප පත්‍රිකාවක් කඩිනමින් සකස් කරන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් තාක්ෂණ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

කෘෂිකර්ම, අධ්‍යාපන, සෞඛ්‍ය, ධීවර, කර්මාන්ත ඇතුළු ක්ෂේත්‍ර රැසක ඉදිරි දියුණුව සඳහා කෘතිම බුද්ධි තාක්ෂණය යොදා ගැනීම පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ගේ අවධානය යොමු කර තිබුණා.

ලෝක කම්කරු දිනය අදයි

වර්ෂ 1886දී තමාට පැය 8ක සේවා මුරයක් ලබා දෙන ලෙස ඉල්ලමින් කම්කරුවන් පිරිසක් ඇමරිකාවේ චිකාගෝ නුවරට රැස්ව විරෝධතාවයක් ආරම්භ කළා.

දින ගණනාවක් තිස්සේ මෙම විරෝධතාවයට එරට පොලීසිය ප්‍රහාර එල්ල කළ අතර විශාල පිරිසක් මියගොස් තවත් පිරිසක් අත්අඩංගුවට පත් වුණා.

පසුව මෙම අරගලය ආරම්භ වූ මැයි පළමුවැනි දිනය වර්ෂ 1889 දී ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ලෝක කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කළා.

ඒ අනුව අදට යෙදී ඇත්තේ 137 වන ලෝක කම්කරු දිනයයි.