උසස් පෙළ ඇගයීම් කටයුතු සඳහා අයදුම්පත් කැඳවීමේ කාලය අදින් අවසන් වෙයි

උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු සඳහා ගුරුවරුන්ට Online ක්‍රමය මඟින් අයඳුම්පත් කැඳවීමේ කාලය අද (04) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා.

උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු සඳහා ගුරුවරුන්ට Online ක්‍රමය මඟින් අයඳුම්පත් කැඳවීමේ කාලය පෙරේදා (02) දිනයෙන් අවසන්වීමට නියමිතව තිබූ අතර පසුව එය අද මධ්‍යම රාත්‍රී 12.00 දක්වා දීර්ඝ කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණා.

වෙසක් නිවාඩුව වෙනුවෙන් විශේෂ බස් රථ හා දුම්රිය සේවා අද සිට ක්‍රියාත්මකයි

වෙසක් නිවාඩුව වෙනුවෙන් විශේෂ දුම්රිය හා බස් රථ සේවා අද (04) සිට ක්‍රියාත්මක වන බව ප්‍රවාහන අංශ පවසනවා.

ඒ අනුව වෙසක් නිවාඩුව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

හෙට (05) සහ ලබන 07 වනදා මෙම විශේෂ දුම්රිය ක්‍රියාත්මක කරන බවත් බදුල්ල බලා විශේෂ දුම්රියක් හා අනුරාධපුරය බලා විශේෂ දුම්රිය දෙකක් ධාවනය වන අතර යළිත් 07 වනදා බදුල්ලේ සිට කොළඹ දක්වා සහ අනුරාධපුරයේ සිට බෙලිඅත්ත දක්වාත් එම දුම්රිය ධාවනය යන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එසේම වෙසක් නිවාඩුව වෙනුවෙන් කොළඹ සිට පිට පළාත්වලටත් පිට පළාත්වල සිට කොළඹ දක්වාද විශේෂ බස් රථ සේවා අද සිට ක්‍රියාත්මක කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන ඇරඹේ

ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය 2023 අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.

අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයට පළමුවරට පෙනී සිට එම විභාගය සමත්ව අ.පො.ස (උසස් පෙළ) හැදෑරීමට සුදුසුකම් ලැබු ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාවට නංවා ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව 2022 වසරේ අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයේ ප්‍රතිඵල මත 2024 වර්ෂයේ අ.පො.ස (උසස් පෙළ) හැදෑරීමට සුදුසුකම් ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 3,000ක් වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමීම මෙම වසරේ සිදු කෙරෙන අතර දිවයින පුරා කලාප කාර්යාල 100 ආවරණය වන පරිදි කලාපයකින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 30 දෙනෙකු බැගින් ඒ සඳහා තෝරා ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ – කැබිනට් ප්‍රකාශක

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සිදුකරන විවිධ ප්‍රකාශ කතන්දර පමණක් බවයි අද (03) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී කිසිඳු පාර්ශවයකට අසාධාරණයක් නොවන පරිදි කටයුතු කිරීමට ජනාධිපතිවරයා විසින් අදාළ කමිටුවලට උපදෙස් ලබාදී ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඡන්දයට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් කැබිනට් තීරණයක්

පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයන් ලෙස නාමයෝජනා භාර දුන් රාජ්‍ය සේවකයින්ට තමන් තරග කරන කොට්ඨාසය හැර ළඟම ඇති පළාත් පාලන කොට්ඨාසය තුළ රැකියාවල නිරත වීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව රජයේ සේවකයින් සම්බන්ධයෙන් ඡන්දය පවත්වනු ලබන තෙක් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන ලද නිරීක්ෂණ සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

දන්සැල් පැවැත්වීමට පෙර ලියාපදිංචිය අනිවාර්යයි – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

වෙසක් උත්සවයට සමගාමීව දිවයින පුරා පැවැත්වෙන දන්සැල් පරීක්ෂා කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3,000ක් යොදවා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

දන්සැල් පැවැත්වීමට පෙර එය ලියාපදිංචි කිරීම අනිවාර්යය වන බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ.

‍ඒ අනුව දන්සැලක් ලබාදීමට අපේක්ෂා කරනවා නම් දන්සැල ලබාදෙන පරිශ්‍රය ආසන්නයේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගොස් ලිඛිතව දැනුම් දුන් පසු අවශ්‍ය උපදෙස් ලබාදෙන බවයි ඔහු සඳහන් කළේ.

මහජන උපයෝගීතා කොමිසම නීතිගරුකව වැඩකිරීම ඇමැතිට අපහසුවක් වෙලා – ජනක

මහජන උපයෝගීතා කොමිසම වෙනුවට නව කොමිසමක් ගෙන ඒමට බලශක්ති ඇමති සූදානම් වන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසනවා.

තමාව ඉවත් කිරීමට නොහැකි නිසා මහජන උපයෝගිතා කොමිෂන් පනත ඉවත් කර නව පනතක් ගෙන ඒමට සූදානම් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මහජන උපයෝගීතා කොමිසම නීතියට අනුව වැඩකිරීම විදුලි බල සහ බලශක්ති ඇමතිවරයාට අපහසුවක් වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එසේම තමාට එරෙහි චෝදනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර 113 කගේ ඡන්දයෙන් තමන්ව ඉවත් කරන තුරු බලා සිටින බවත් එසේ නොමැතිව තමන් ඉවත් නොවන බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ.

උසස් පෙළ ඇගයීම් කටයුතු සඳහා අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කෙරේ

උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු සඳහා ගුරුවරුන්ට Online ක්‍රමය මඟින් අයඳුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

ඒ අනුව හෙට (04) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා එම කාලය දීර්ඝ කළ බවත් ගුරුවරුන්ට ඇගයීම් කටයුතු සඳහා තවදුරටත් අයඳුම් කිරීමේ හැකියාව පවතින බවයි ඔහු සඳහන් කළේ.

උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු සඳහා ගුරුවරුන්ට Online ක්‍රමය මඟින් අයඳුම්පත් කැඳවීමේ කාලය ඊයේ දිනයෙන් අවසන්වීමට නියමිතව තිබුණා.

ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානියා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක

ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාම් චෞද්රි ඇතුළු දූත පිරිසක් නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.

ඔහු හා ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ අතර නිල හමුව ගුවන් හමුදා මුලස්ථානයේදී අද (02) පවත්වා තිබෙනවා.

ගුවන් හමුදා මුලස්ථානයට පැමිණි ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී සහ ශ්‍රි ලංකා ගුවන් හමුදාපතිතුමන් නිල සාකච්ඡාවක නිරතවූ අතර එහිදි කළාපීය ගුවන් හමුදාවන් අතර සහයෝගීතාවය වර්ධනය කරගැනීම ඒකාබද්ධ පුහුණුවීම් හා තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනිම මෙන්ම, සමුද්‍රිය ආවේක්ශණ මෙහෙයුම් පුළුල් කිරිම පිළිබඳ සාකච්ඡා කර ඇති බවයි සඳහන් වන්නේ.

සුඩානයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 11 දෙනෙක් ඉවත් කර ගැනේ

සුඩානයේ යුද ගැටුම් අතරතුර ඉවත් කර ගැනුණු තුන්වන ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම ලෙස ලාංකිකයින් 11 ක් ජෙඩා නුවරට ළඟා වී ඇති බව විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්රි පවසනවා.

ඒ අනුව මේවන විට ශ්‍රී ලාංකිකයින් 31 දෙනෙකු සුඩානයෙන් ඉවත් කරගැනීමට හැකිව ඇති බවයි සඳහන් වන්නේ.

සුඩානයේ නීත්‍යනුකූල නොවන සන්නද්ධ හමුදා කණ්ඩායම් සහ සුඩාන රාජ්‍ය හමුදාව අතර ගැටුම් තවදුරටත් අඛණ්ඩව සිදුවීම හේතුවෙන් රට තුළ අස්ථාවර තත්ත්වයක් ඇතිවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

a09afb659891d8b6bda86ada081a8d04