වෙසක් සිරි නැරඹීමට ගිය ජීප් රථයක් පෙරළී සිදුවූ අනතුරකින් 10 කට තුවාල

වෙසක් තොරණ නැරඹීම සඳහා පැමිණි පිරිසක් යළි නිවෙස් වෙත යමින් සිටියදී අනතුරක් සිදුව තිබෙනවා.

පානදුර, වලාන මංසන්ධියේ අද (07) උදෑසන සිදුවූ මෙම රිය අනතුරෙන් පුද්ගලයින් 10 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අදාළ පිරිස රැගත් ජීප් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් අද උදෑසන 5.30 ට පමණ ජීප් රථ මාර්ගයේ පෙරළී ගොස් අනතුර සිදුව තිබෙනවා.

තුවාලකරුවන් අතර කුඩා ළමුන් තිදෙනෙකු ද සිටින අතර අනතුරට පත් පිරිස මතුගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි සඳහන් වන්නේ.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක්

මෙරටට විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ සහ කාර්යක්ෂම කිරීමේ වැඩපිළිවෙළට අවශ්‍ය සහය ලබා දීමට පැමිණ සිටින ආසියානු සංවර්ධන බැංකුවේ උපදේශක සේවා අධ්‍යක්ෂවරයා ඇතුළු විශේෂ නියෝජිත කණ්ඩායම සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට අවශ්‍ය තාක්ෂණික සහය, විදුලිබල සමාගම් බවට පරිවර්තනයේදී රාජ්‍ය-පෞද්ගලික හවුල් ව්‍යාපාර ක්‍රමවේද අනුගමනය සහ එයට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීම පිළිබඳව සාකච්ඡාවට ලක්වී තිබෙනවා.

එසේම, පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති වෙනුවෙන් අවශ්‍ය හිතකර පරිසරයක් නිර්මාණය කිරීම සහ පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගැනීම, එම ව්‍යාපෘති හඳුනාගැනීමට සහ ක්‍රියාත්මක කිරීමට විශේෂ ඒකකයක් අමාත්‍යංශය තුළ පිහිටුවා අවශ්‍ය තාක්ෂණික සහය ලබා දීම, එම ව්‍යපෘති සහ අනෙකුත් පුනර්ජනනීය ව්‍යපෘති වෙනුවෙන් අවශ්‍ය මුල්‍ය සහය ලබා දීම පිළිබඳවද මෙහිදී අවධානය යොමුව ඇති බවයි සඳහන් වන්නේ.

පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට ජනපති එක්වෙයි

පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල රාජ්‍ය නායක හමුවක් තෙවන චාල්ස් රජුගේ සහභාගීත්වයෙන් පැවති අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහද ඊට එක්වී තිබෙනවා.

එහිදී ජනාධිපතිවරයා තෙවන චාල්ස් රජු වෙත සුබපැතුම් එක් කරමින් සුහද කථා බහක නිරත වූ අතර එම අවස්ථාවට මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහද එක්වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල නායකයන් හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ, තරුණ සහභාගිත්වය දිරිමත් කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා පොදුරාජ්‍ය මණ්ඩලය වඩා විශාල කාර්යභාරයක් ඉටු කළ යුතු බවයි.

එසේම ඩිජිටල්කරණය තුළින් සබඳතා ශක්තිමත් කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී පොදුරාජ්‍ය මණ්ඩලයෙන් ඉල්ලා සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

eed6ea8713d812a49bea2fe71984fe40

චාල්ස් කුමරුන්, තෙවන චාල්ස් රජු ලෙසින් රාජාභිෂේකය ලබයි

දෙවන එළිසබෙත් රැජිනගේ අභාවයෙන් පසුව මහ බ්‍රිතාන්‍යයේ රජු ලෙස පත් වූ චාල්ස් කුමරුන් අද (06) දිනයේ නිල වශයෙන් රාජාභිෂේකය ලබාගත්තා.

ඒ අනුව ලන්ඩන් හි වෙස්ට්මින්ස්ටර් ඇබේ දේවස්ථානයේ දී 03 වන චාල්ස් රජු ලෙස චාල්ස් කුමරුන් ඔටුනු පැළඳුවා. චාල්ස් කුමරුන්ගේ බිසව වන කැමිලා ආර්යාව බ්‍රිතාන්‍යයේ රැජින ලෙසත් මෙහිදී කිරුළ පළඳිනු ලැබුවා.

එහි විශේෂ අවස්ථාවන් කිහිපයක් පහතින්,

525a8d80667a56870122868f398930e2 cf092bf9107cb128940973e002967416

කොවිඩ්-19 තවදුරටත් ලෝක සෞඛ්‍ය හදිසි තත්ත්වයක් නොවෙයි – WHO

‍ලෝකයටම බලපෑ කොවිඩ්-19 වසංගත තත්ත්වය තවදුරටත් ලෝක සෞඛ්‍ය හදිසි තත්ත්වයක් නොවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙද්‍රස් ඇඩ්හැනොම් ප්‍රකාශයට පත් කොට තිබෙනවා.

කෙසේ වෙතත් වෛරසය තවමත් ලෝකයෙන් තුරන් වී නොමැති බවත්, එය තවදුරටත් ලෝක සෞඛ්‍ය ක්ෂේත්‍රයට තර්ජනයක් විය හැකි බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පවසා ඇත්තේ.

95aa72878fbc118effd26bc6d44d1de8

මහා බ්‍රිතාන්‍යයේ 03 වන චාල්ස් රජුන්ගේ රාජාභිෂේකය අද

දෙවන එලිසබෙත් රැජිනගේ අභාවයෙන් පසුව මහා බ්‍රිතාන්‍යයේ රජු ලෙස තේරීපත් වූ චාල්ස් කුමරුන්ගේ රාජාභිෂේකය අද (06) දිනයට යෙදී තිබෙනවා.

ඒ අනුව ලන්ඩන් අගනුවර වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී චාල්ස් කුමරුන්, තුන්වන චාල්ස් රජුන් ලෙස රාජාභිෂේකය ලැබීමට නියමිතයි.

මේ සඳහා රාජ්‍ය නායකයින් 100 දෙනෙකු ඇතුළු ආරාධිතයින් 2000කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතව ඇති බවත් වාර්තා වනවා.

පාපැදිවලින් වෙසක් සිරි නරඹන්න යන අය ආරක්ෂාව ගැන සැලැකිලිමත් වෙන්න – පොලීසිය

වෙසක් සතිය නිමිත්තෙන් රටපුරා ක්‍රියාත්මක ආරක්ෂක වැඩපිළිවෙළ තවදුරටත් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා පොලීසිය පවසනවා.

මේ අතර පොලීසිය පවසා සිටියේ පාපැදි භාවිත කරමින් වෙසක් සිරි නැරඹීමට යන පිරිස් ආරක්ෂාව පිළිබඳව ඉතාමත් සැලැකිල්ලෙන් කටයුතු කළ යුතු බවයි.

වැසිබර කාලගුණ තත්ත්වය තවදුරටත්

ශ්‍රී ලංකාව ආශ්‍රිතව මධ්‍ය වායු ගෝලයේ පවතින කැලඹිලි ස්වාභාවය හේතුවෙන් දිවයින පුරා බොහෝ ස්ථානවල පවතින වැසිබර තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ, නැගෙනහිර සහ උතුරු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට තරමක් වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

සෙසු ප්‍රදේශවල ද ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර තද සුළං ඇතිවිය හැකි බවද සඳහන්.

මේ අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

වෙසක් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 988 කට නිදහස

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව පිරිනමා තිබෙනවා.

ඒ අනුව අපරාධමය වැරදි නොවන පිරිමි සිරකරුවන් 982 ක් සහ ගැහැණු සිරකාරියන් 06ක් ද ඇතුලුව පුද්ගලයින් 988 දෙනෙකු දිවයිනේ සෑම බන්ධනාගාරයක් ම ආවරණය වන පරිදි නිදහස් කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊට අමතරව පොහෝ දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් හට අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ද ලබා දී ඇති අතර ඒ අනුව අද සහ හෙට දින දෙක තුළ සිරකරුවන් සඳහා අමුත්තන් බැලීමට අවස්ථාව ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.

රැඳවූවන්ගේ ඥාතීන් විසින් රැගෙන එනු ලබන ආහාර පාර්සල සහ රසකැවිලි එක් අයෙකුට පමණක් ප්‍රමාණවත් වන අයුරින් ලබාදීමට ද එම දින දෙක තුළ අවස්ථාව ලබා දී ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

වෙසක් පොහොය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක්

දිවයිනේ සියලු වෙසක් කලාප ආශ්‍රිත ප්‍රදේශ සහ විශේෂ පුජනීය ස්ථාන ආවරණය වන පරිදි විශේෂ බස් රථ සේවාවක් අද සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

ඒ අනුව වෙසක් සතිය තුළ උදෑසන 6.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මෙම ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

එමෙන්ම වෙසක් පොහොය නිමිත්තෙන් විශේෂ දුම්රිය කිහිපයක් ද ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැළසුම් කර ඇති බවයි දුම්රිය නියෝජ්‍ය සාමානාධිකාරී එම්. ජේ ඉදිපොලගේ සඳහන් කළේ.