දුම්රිය ස්ථානාධිපතිවරුන් අද මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක

අද (09) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් තීරණය කර තිබෙනවා.

දූෂිත චෝදනා ලබා සිටින චන්ද්‍රසේන බණ්ඩාර වෙත වාණිජ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) තනතුර පිරිනැමීමට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි සඳහන් වන්නේ.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සියලුම සේවා වාර වලින් ඉවත් වීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට

පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයක් සඳහා ඉදිරිපත්වීමට ඉස්ලාමාබාද් අධිකරණය වෙත පැමිණි අවස්ථාවේදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ධීවර ජනතාවට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින පීඩන අවපාතය හෙට (10) වනවිට සුළි කුණාටුවක් දක්වා ක්‍රමයෙන් වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ගිනිකොණදිග බෙංගාල බොක්ක සහ දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහු දින ධීවර යාත්‍රා මේ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසයි කාලගුණ දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

මෙම පද්ධතිය නිසා උතුරු අක්ෂාංශ 02 – 15 සහ නැගෙනහිර දේශාංශ 85 – 100 අතර මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 50 – 60 පමණ වන අතර විටින් විට එය පැයට කිලෝමීටර් 70 ක් දක්වා ඉහළ යා හැකි බවයි සඳහන් වන්නේ.

1c936aa3307791ce54f5b56663733ec7

රාජ්‍ය මූල්‍ය කළමණාකරණයට නව පනතක්

රාජ්‍ය මූල්‍ය කළමණාකරණයට නව පනතක් හඳුන්වාදීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව 2025 වර්ෂයේ අයවැයත් සමග ක්‍රියාත්මක වන පරිදි එම පනත හඳුන්වා දීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

22a70e153a972eccc700902c51d2fb49

මහ බැංකු පනත් කෙටුම්පත විවාදයට ගැනීම කල් දැමීමට තීරණය කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත මේ සතියේ පාර්ලිමේන්තුවේ විවාදයට නොගෙන කල්දැමීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

අද (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

ප්‍රදේශ කිහිපයක් සඳහා නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

ප්‍රදේශ කිහිපයක් සඳහා නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, ඇල්පිටිය, බද්දේගම සහ යක්කලමුල්ල යන ප්‍රදේශවලටත් බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රදේශටත් නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

එසේම කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, රඹුක්කන, දැරණියගල, මාවනැල්ල, කෑගල්ල සහ ගලිගමුව ප්‍රදේශවලට සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාවතගම, අලව්ව ප්‍රදේශවලටත් මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලෙපොල ප්‍රදේශයටත් මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රදේශයට මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

එම ප්‍රදේශවල සිටින ජනතාව නායයෑම් සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි දුම්රිය පාලක මැදිරිය පවසනවා.

පානදුර සහ මොරටුව අතර දුම්රිය මාර්ගයේ අලුත්වැඩියාවක් හේතුවෙන් එක් කොටසක පමණක් දුම්රිය ධාවනය කිරීම මෙම ප්‍රමාදයට හේතුව බවයි දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළේ.

කළුතර පාසල් සිසුවියගේ මරණය​ට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

කළුතර පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ගාල්ල ප්‍රදේශයේ සැඟව සිටින බවට ලද තොරතුරක් මත හික්කඩුව ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

සැකකරු අද (09) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

පසුගිය 6 වනදා කළුතර ප්‍රදේශයේ හෝටලයක් පිටුපස තිබියදී පාසල් සිසුවියකගේ මළ සිරුරක් හමුව තිබුණා.

උසස් පෙළ විෂයයන් 12ක ඇගයීම් කටයුතු ආරම්භ වෙයි

පසුගිය උසස්පෙළ විභාගයේ විෂයන් 12කට අදාළ ඇගයීම් කටයුතු ආරම්භ කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.

ඒ අනුව ඉතිරි විෂයන්වල ඇගයීම් කටයුතු ද සම්පූර්ණ කිරීමට පියවර ගන්නා බවයි කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

යුපුන් අබේකෝන්ට පළමු ස්ථානය

”FIRENZE SPRINT FESTIVAL” ජාත්‍යන්තර මලල ක්‍රීඩා උලෙළේ පිරිමි මීටර 200 ඉසව්වෙන් පළමු ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත්වී තිබෙනවා.

ඔහුගේ තරග කාලය දැක්වුනේ තප්පර 20.60 ක් ලෙසයි.

”FIRENZE SPRINT FESTIVAL” ජාත්‍යන්තර මලල ක්‍රීඩා උලෙළේ මෙම තරගය ඊයේ (07) ඉතාලියේදී පැවැත්වී තිබෙනවා.