පෞද්ගලික විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය හැදැරීමට පොලී රහිත ණය සඳහා අයදුම් කිරීම හෙට ආරම්භ වෙයි

උසස් පෙළ හැදෑරු සිසුන් 5,000 කට පෞද්ගලික විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය හැදැරීමට පොලී රහිත ණය ලබාදීමේ ව්‍යාපෘතිය සඳහා අයදුම් කිරීම හෙට (04) සිට ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව 2019, 2020, 2021 යන වසරවල උසස් පෙළ හැදෑරු සිසුන් සඳහා මෙම අවස්ථාව හිමිවන බවත්, ජුලි 04 වනදා සිට අගෝස්තු 07 වනදා දක්වා මේ සඳහා අයදුම් කිරීමට හැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම ණය මුදලෙහි සම්පූර්ණ පොලිය රජය විසින් ගෙවනු ලබන බවත් රැකියා අභිමුඛ පාඨමාලා සඳහා මෙහිදී ප්‍රමුඛතාව ලබාදෙන බවද ඔහු සඳහන් කළා.

මේ සඳහා තරඟයක් ඇති වුවහොත් දරුවන්ගේ Z-Score එක අනුව තෝරා ගැනීම් සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළා.

මේ වසරේ ඩෙංගු වැළඳීමෙන් පුද්ගලයින් 31 ක් මරුට

මේ වසරේ ගතවු කාලය තුළ ඩෙංගු රෝගය වැළදීමෙන් පුද්ගලයින් 31 දෙනෙකු මිය ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

මේ වසරේ ගතවු කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 49,759 දෙනෙකු හඳුනාගෙන ඇති බවද සඳහන්.

මේ වන විට දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 61 ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස ද හඳුනාගෙන ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ.

අධි ඇසළ පොහොය අදයි

අධි ඇසළ පොහොය අදට (03) යෙදී තිබෙනවා.

සාමාන්‍ය වශයෙන් වසරකට පුර පසළොස්වක පොහොය දොළහක් වන අතර ‘අධි පසළොස්වක’ යනු, ඊට අමතරව ඇතැම් වර්ෂවලදී යෙදෙන පොහොය යි.

ඒ අනුව ඓතිහාසික ශාසනික කිසි සිදුවීමකට මෙම අධි පසළොස්වක පොහොය සම්බන්ධ නොවන බවයි සඳහන් වන්නේ.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට පසුබිම සකස් කිරීම සඳහා දේශීය ආදායම් බදු පනත සංශෝධනය කරන්න වෙනවා – මුදල් රාජ්‍ය අමාත්‍ය

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට පසුබිම සකස් කිරීම සඳහා ඊට සමගාමීව දේශීය ආදායම් බදු පනත සහ විසර්ජන පනත සංශෝධනය කිරීමට සිදු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සියලුම විශ්‍රාමික අරමුදල්වලට ඉදිරියේ දී ආරාධනයක් සිදුකිරීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කළා.

ඉන්පසු ඊට අදාළව ඔවුන්ගේ තීරණය ගැනීමට අවස්ථාව ලබා දෙන බවද, එම තීරණය දැනුම්දුන් පසු මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන හෙට හෝ අනිද්දා ජනතාව සඳහා එළිදක්වනවා – මුදල් අමාත්‍යංශ ලේකම්

හෙට (03) හෝ අනිද්දා (04) යන දිනයන් තුළ දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන ජනතාව සඳහා එළිදැක්වීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන පවසනවා.

සේවක අර්ථසාදක අරමුදල ඇතුළු පාර්ශ්ව කීපයක් වෙත ද ඉදිරියේදී එම වැඩසටහන ඉදිරිපත් කිරීමට නියමිත බවයි මුදල් අමාත්‍යංශය වැඩිදුරටත් පවසන්නේ.

මුතුරාජා විශේෂ ගුවන් යානයකින් යළි තායිලන්තයට

තායිලන්තයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබුණු “මුතුරාජා” හස්තියා අද (02) උදෑසන තායිලන්තය බලා රැගෙන ගොස් තිබෙනවා.

ඒ අනුව විශේෂ රුසියානු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් එම හස්තියා යළි තායිලන්තය බලා රැගෙන ගිය බවයි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත සඳහන් කළේ.

එම ගමන සඳහා තායිලන්තයේ සිට මෙරටට පැමිණි පශු වෛද්‍යවරුන් තිදෙනෙකු, ඇත් ගොව්වෙකු සහ සහයකයින් දෙදෙනෙකු සහභාගී වී තිබෙනවා.

2001 වසරේදී එම හස්තියා මෙරටට පරිත්‍යාගයක් ලෙස ලබා දීමට තායිලන්ත රජය පියවර ගෙන තිබූ අතර හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහීම හේතුවෙන් යළි තායිලන්තයට රැගෙන ගොස් ප්‍රතිකාර කිරීම සඳහා එරට රජය ලංකාවෙන් ඉල්ලීමක් කර තිබුණා.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව සංශෝධන සහිතව සම්මත වෙයි

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව ඡන්ද විමසීමකින් අනතුරුව සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා.

යෝජනාවට පක්ෂව ඡන්ද 122ක් සහ විරුද්ධව ඡන්ද 62 ක් හිමිවී තිබුණා.

ඒ අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව සම්මත වූ බව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දීමටද කටයුතු කර තිබෙනවා.

පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර විසින් අදාළ දැනුම්දීම සිදුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ශ්‍රී ලංකාවට ගිණිකොන දිග මුහුදේ භූ කම්පනයක්

ශ්‍රී ලංකාවට කිලෝමීටර 1260 ක් ගිණිකොන දිග මුහුදේ, අද (01) භූ කම්පනයක් සිදු වී තිබෙනවා.

ඒ අනුව රිප්‍ටර් මාපක 5.8ක අගයකින් එම භූකම්පනය වාර්තාවී ඇති බවයි සඳහන් වන්නේ.

මෙම භූකම්පනය ප්‍රදේශ කිහිපයකට දැනී ඇති බවත් මෙමගින් ලංකාවට බලපෑමක් නොමැති බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය සඳහන් කළේ.

CEYPETCO ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව අඩු වූ සහ වැඩි වූ මිල සහ නව මිල ගණන්  පහතින්  දැක්වෙනවා.

ඉහළ දැමූ ඉන්ධන

* පෙට්‍රල් 92 – රු.10  කින්  (නව මිල රු.328)

* සුපර් ඩීසල් – රු.06 කින් (නව මිල රු.346)

පහළ දැමූ ඉන්ධන

* පෙට්‍රල් 95 – රු.20 කින්  (නව මිල රු.365)

* ඔටෝ ඩීසල්  – රු.02 කින් (නව මිල රු.308)

* භූමිතෙල් – රු.09 කින් (නව මිල රු.236)

649f7abcede89pdf_page_0

හෙට සිට විදුලි ගාස්තු 14% කින් අඩු කෙරේ

හෙට (01) සිට ක්‍රියාත්මක වන පරිදි 14.2% විදුලි ගාස්තු අඩුකිරීම සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා‌ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ගෘහස්ත අංශයේ 0ත් 30 අතර මාසික පරිභෝජනයක් ඇති කාණ්ඩයට 65% ක ගාස්තු අඩුවීමක් සිදුවන අතර ඒකකය රුපියල් 30 සිට රුපියල් 10 දක්වා අඩුවන අතර මාසික ගාස්තු රුපියල් 400 සිට 150 දක්වා අඩු කර තිබෙනවා.

ඒකක 60 ට අඩු කාණ්ඩයේ ඒ්කක  ගාස්තුව රුපියල් 42 සිට 32 දක්වා අඩුකෙරෙන අතර මාසික ගාස්තු රුපියල් 650 සිට 300 දක්වා අඩු කිරීමටද තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒකක 91ත් 120ත් කාණ්ඩය සදහා ඒකකය රුපියල් 42 සිට රුපියල් 35 දක්වා අඩු කෙරෙන අතර මාසික ගාස්තුව රුපියල් 1500 සිට 1000 දක්වා අඩු කිරීමටද තීරණය කර තිබෙනවා.

මේ අතර ආගමික ස්ථාන සදහා සියයට 16ක ගාස්තු අඩුවීමක් සිදුවන බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කරන්නේ.