විරෝධතා අතරතුර මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර අත්අඩංගුවට

අද (28) පැවති විරෝධතාවක් අතරතුර මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන කිහිපයක් එක්ව බොරැල්ලේ සංවිධානය කර තිබූ විරෝධතාවක් අතරතුර මොහු අත්අඩංගුවට ගෙන තිබුණා.

අවිස්සාවේල්ල කර්මාන්ත පුරයේ ගින්නක්

අවිස්සාවේල්ල කර්මාන්ත පුරයේ පිහිටි කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්න මැඩ පැවැත්වීම සඳහා පොලීසිය සහ නගර සභා ගිනි නිවීමේ ඒකකය කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.

සේවක අර්ථසාධක අරමුදලේ පොලිය අඩු කිරීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක්

සේවක අර්ථසාධක අරමුදලේ පවතින අරමුදල් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල ආයෝජනය කිරීමේදී ගෙවනු ලබන පොලිය 9% දක්වා අඩු කිරීමට රජය ගත් තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ගොනුකර තිබෙනවා.

අර්ථසාධක අරමුදලේ පවතින අරමුදල් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල ආයෝජනය කිරීමේදී ගෙවනු ලබන පොලිය 9% දක්වා අඩු කිරීමට රජය ගෙන තිබෙන තීරණය තුළින් එහි සාමාජික සේවක සේවිකාවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවයි ඔවුන් සිය පෙත්සම මඟින් පෙන්වා දෙන්නේ.

නිදහස් වෙළෙඳ කලාප පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් හා භාණ්ඩාගාරික නිමල් ප්‍රේමසිරි විසින් එක් පෙත්සමක් ද, මූල්‍ය විශ්ලේෂකයෙකු වන චතුරංග අබේසිංහ විසින් අනෙක් පෙත්සම ද ගොනුකර තිබෙනවා.

ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ විරෝධතා පා ගමනට පොලීසියෙන් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක්

ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ විරෝධතා පා ගමනට බොරැල්ලේදී පොලීසිය විසින් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් අද කොළඹ ජාතික රෝහල ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීමට සැලසුම් කර තිබුණද, අධිකරණය නියෝගයක් මඟින් දුමින්ද නාගමුව ඇතුළු 11 දෙනෙකුට ජාතික රෝහල ඇතුළු ස්ථාන කිහිපයකට ඇතුළුවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබීම හේතුවෙන් ඔවුන් බොරැල්ල ප්‍රදේශයේදී සිය විරෝධතාව පැවැත්වූවා.

ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ විරෝධතාව ඇරඹෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව බැංකු පොලී අනුපාත පහත හෙළීම, සෞඛ්‍ය සේවක හිඟය පියවා ගැනීම සහ ඖෂධ හිඟය ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් මෙම විරෝධතාව පැවැත්වෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

වසන්ත මුදලිගේ ඇපමත මුදා හැරීමට නියෝග

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇප මත නිදහස් කර තිබෙනවා.

ඒ අනුව ඔහු අද (28) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

2020 වසරේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවකදී ඇතිවූ නොසන්සුන්තාවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව නිකුත් කර තිබූ වරෙන්තුවකට අදාළව ඔහු ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබෙනවා

2024 නව පාසල් වාරය ආරම්භය ගැන දැනුම්දීමක්

2024 නව පාසල් වාරය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව 2024 නව පාසල් වාරය පෙබරවාරි 21 වැනිදා ආරම්භ කරන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වැඩිදුරටත් සඳහන් කළේ.

කුවේට්වලින් ශ්‍රී ලාංකිකයින් 62ක් පිටුවහල් කෙරේ

නීති විරෝධී ලෙස කුවේට් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 62 දෙනෙකු යළි මෙරටට පිටුවහල් කර තිබෙනවා.

එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ පිටුවහල් කරන ලද පිරිස අද (28) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් ඇති බවයි සඳහන් වන්නේ.

මෙම පිරිස ගෘහ සේවය සඳහා ගිවිසුම්ගත නිවෙස්වලින් පළා ගොස්, තාවකාලික නේවාසිකාගාරවල රැඳී සිටිමින්, වීසා නොමැතිව නීති විරෝධී ලෙස විවිධ රැකියා සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

ජපාන විදේශ ඇමති හෙට දිවයිනට

ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමසා දෙදින නිල සංචාරයකක් සඳහා හෙට (28) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඔහු සමඟ 22 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් දිවයිනට පැමිණෙන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

එම සංචාරයේදී ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිස ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවීමට නියමිතයි.

කැළෑ ප්‍රදේශවල මාර්ග අසළ ගැවසෙන වන අලින්ට ආහාර දෙන්න එපා – වනජීවි දෙපාර්තමේන්තුව

කැළෑ ප්‍රදේශවල මාර්ග දෙපස ගැවසෙන වන අලින්ට ආහාර ලබාදෙන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව කැළෑබද ප්‍රදේශ හරහා වැටී ඇති මහ මාර්ගවල ගමන් ගන්නා වාහන මඟින් මාර්ගය දෙපස ගැවසෙන වන අලින් සඳහා ආහාර ලබාදීම හේතුවෙන් එම සතුන් මාර්ගයට පැමිණීමට පුරුදු වී සිටින බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් එම මාර්ගවල ගමන්ගන්නා වාහනවලට බාධා කරමින් වන අලින් ආහාර ලබා ගැනීමට පුරුදු වන බැවින් කැළෑබද ප්‍රදේශ හරහා වැටී ඇති මහ මාර්ගවල ගමන්ගන්නා අවස්ථාවල දී වන සතුන්ට ආහාර ලබාදීමෙන් වැලකී සිටින ලෙසයි වනජීවි සංරක්ෂන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.