අන්තරේට කොළ​ඹ ස්ථාන කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් නියෝගයක්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් කොළඹ දී අද (10) සංවිධානය කර ඇති විරෝධතාවය සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඒ අනුව උද්ඝෝෂකයින්ට කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයට, ජනාධිපති මන්දිරයට, අගමැති කාර්යාලයට, ගාලුමුවදොර පිටිය ඇතුළු ස්ථාන කිහිපයකට ඇතුළු වීම වළක්වාලමින් කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝගයක් නිකුත් කර ඇති බවයි සදහන් වන්නේ.

රාජ්‍ය නිලධාරීන්ට අයුතු අවහිරයක් සිදු නොකරන ලෙස නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා මහජනතා‍වට ද අයුතු අවහිරයක් සිදු නොකරන ලෙසත් සාමකාමීව උද්ඝෝෂණ සිදුකළ හැකි බවයි වැඩිදුරටත් නියෝග කර තිබෙන්නේ.

ඉදිරියේදී රජයේ රෝහල්වල MRI ඇතුළු පරීක්ෂණ සේවා නතරවීමේ අවදානමක්

ඉදිරි මාස කිහිපය තුළ රජයේ රෝහල්වල CT scan, MRI සහ PET scan ආදී පරීක්ෂණ සේවාවන් නතරවීමේ අවදානමක් පවතින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා.

විකිරණ තාක්ෂණවේදීන්ගේ පවතින හිඟය හේතුවෙන් මෙම සේවා ක්‍රියාත්මක කරවීම ගැටලු සහගත වී ඇති බවයි එහි සභාපති චානක ධර්මවික්‍රම සඳහන් කළේ.

මේ වනවිටත් 40%ක පමණ හිඟයක් සමඟ සේවය පවත්වාගෙන යන බවත්, මාසයකට නිලධාරීන් 3-4 ක ප්‍රමාණයක් විදේශගත වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවත් ඔහු සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් මාස ගණනාවක සිට සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර ඇතත් සෞඛ්‍ය අමාත්‍යාංශය එම බඳවා ගැනීම් ප්‍රමාද කරමින් සිටින බවයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

HIV අවදානම වළක්වා ගන්න නව ප්‍රතිකාර ක්‍රමයක් හඳුන්වා දෙයි

HIV අවදානමක් ඇති පුද්ගලයින් හට එම අවදානම වළක්වා ගැනීම සඳහා “ප්‍රෙප්” නැමති නව ප්‍රතිකාර ක්‍රමයක් හඳුන්වාදී ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්දන වැඩසටහන පවසනවා.

දිවයින පුරා ඇති ලිංගාශ්‍රිත රෝග සායනවලින් මෙම ප්‍රතිකාර ලබාගත හැකි බවයි එහි අධ්‍යක්ෂිකා වෛද්‍ය ජානකී විදානපතිරණ සඳහන් කළේ.

තමන් HIV අවදානමට ලක්වීමට අවදානම් හැසිරීම් තියෙන කෙනෙක් නම් වෛද්‍යවරයෙක් හමුවී තමාගේ අවදානම ගැන දැනුවත් කර ප්‍රතිකාර ලබාගත හැකි බවයි ඇය පෙන්වා දෙන්නේ.

මේ සඳහා කරනු ලබන පරීක්ෂණ සහ ලබාදෙන ඖෂධ නොමිලේ ලබාදෙන බවයි වෛද්‍ය ජානකී විදානපතිරණ වැඩිදුරටත් සඳහන් කළේ.

EPF-ETF කප්පාදුවට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අන්තර් සමාගම් සේවක සංගමය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

ඒ අනුව දීර්ඝ කරුණු විමසා බැලීමකින් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවලදී සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අන්තර් සමාගම් සේවක සංගමය විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

බලහත්කාරයෙන් මහ බැංකුවට ඇතුළු වූ පිරිසට ඇප

බලහත්කාරයෙන් ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට ඇතුලුවීමට උත්සාහ ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් 10 දෙනෙකු ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.

ඒ අනුව සැකකරුවන් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ලක්ෂ 10ක ශරීර ඇප මත මුදා හැරීමටත් සැකකරුවන්ට රාජ්‍ය ආයතනය වෙත අයුතු ලෙස ඇතුලුවීම තහනම් කිරීමටද නියෝග කළා.

ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ සාමාජිකයින් පිරිසක් ඊයේ (08) පෙරවරුවේ බලහත්කාරයෙන් ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට ඇතුලු වූ අතර, පසුව පොලීසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණා.

රෝහල් තුළ සිදුවූ මරණවලින් 05 ක් ඖෂධ ආසාත්මිකතා හේතුවෙන් සිදුවී ඇති බව හෙළිවේ

පසුගියදා රෝහල් තුළ සිදුවූ ආන්දෝලනාත්මක මරණ හයෙන් 05 කට හේතු වී ඇත්තේ ඖෂධ ආසාත්මිකතාවන් බවට ඒ පිළිබඳ සෙවීමට පත්කළ විශේෂඥ වෛද්‍ය කමිටුව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

එම මරණ පිළිබඳ සොයා බැලීම සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක වෛද්‍ය දේදුනු ඩයස්ගේ සභාපතීත්වයෙන් යුත් සත් සාමාජික කමිටුවක් පත් කළ අතර එම කමිටුව සිය නිර්දේශ ඇතුළත් වාර්තාව සෞඛ්‍ය අමාත්‍යංශයට භාරදී තිබෙනවා.

අදාළ විශේෂඥ කමිටු වාර්තාවේ නිගමනය වී ඇත්තේ කමිටුවේ අවධානය යොමු වූ මරණ හයෙන් 05 කට හේතු වී ඇත්තේ ඖෂධ ආසාත්මිකතාවන් බවත්, ඉන් 04 ක් සැකකටයුතු ඖෂධය හේතුවෙන් වීමට බොහෝ විට ඉඩ තිබෙන බවයි.

එමෙන්ම එම ඖෂධය සම්බන්ධ තත්ත්ව පරීක්ෂණ වාර්තා ද නොතිබූ බවද අදාළ වාර්තාවේ දැක්වෙනවා.

64d367f7b9db0 64d367f7ca7d1 64d367f7d2c65

මීරිග​ම දුම්රිය අනතුරෙන් පසු ද්විත්ව දුම්රිය මාර්ගයේ එක් මාර්ගයක් ධාවනයට විවෘත කෙරේ

අද (09) උදෑසන මීරිගම විල්වත්ත ප්‍රදේශයේදී සිදුවු දුම්රිය අනතුරත් සමග ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබු අතර මේ වනවිට එහි ද්විත්ව දුම්රිය මාර්ගයෙන් එක් මාර්ගයක් පමණක් දුම්රිය ධාවනයට විවෘත කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

අනතුරට ලක්වූ දුම්රියට පසු ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය 12 ක් ගාල් කර ඇති බැවින් ඒවා එකින් එක තනි දුම්රිය මාර්ගයේ ධාවනය කරවීමට සලස්වන බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්.ජේ.ඉඳිපොලගේ සඳහන් කළේ.

ඒ අනුව දුම්රිය යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්. ජේ ඉඳිපොලගේ වැඩිදුරටත් සඳහන් කළේ.

නාමල්ගේ විදුලි බිල ගෙව්වාම රටේ විදුලි ප්‍රශ්නය විසඳෙනවා නම් මම බිල ගෙවන්නම් – නාමල්

තමන්ට ගෙවීමට ඇති බවට සඳහන් වූ විදුලි බිල සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයෙන් සිදුකළ විමසීමට තවමත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඒ අනුව තමාට හෝ තම පියාට කිසිදු විදුලි බිලක් මේ වන තෙක් ලැබී නොමැති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කළේ.

තමන්ගේ මංගල උත්සවයට විදුලිය ලබාගත්තේ විදුලි උත්පාදන යන්ත්‍රවලින් බවත්, මංගල උත්සවයට විදුලිය ලබාදෙන ලෙස ඉල්ලීමක් තමා නොකළ බවත්, ආරක්ෂාව සඳහා විදුලිය ලබාදෙන ලෙස ඩී.වී.චානක මන්ත්‍රීවරයා විසින් ඉල්ලීමක් කර තිබූ බවද ඔහු සඳහන් කළා.

විදුලි බිලක් ඇත්නම් එය ලැබීමට සලස්වන ලෙසත් නොලැබුණ විදුලි බිලක් ගෙවීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් සඳහන් කළ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ, නාමල් රාජපක්ෂගේ විදුලි බිල ගෙවූ පසු රටේ විදුලි ප්‍රශ්නය විසඳෙන බවට හෝ විහාරස්ථානවලට නොමිලේ විදුලිය ලබාදිය හැකි බවට කවුරුන් හෝ දේශපාලන වේදිකාවේ ප්‍රකාශ කරන්නේ නම් තමන්ට එවැනි බිලක් නොලැබුනත් එය ගෙවීමට සූදානම් බවයි.

මීරිගම දුම්රිය අනතුරක් – විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලීසියෙන් දැනුම්දීමක්

මීරිගම, විල්වත්ත ප්‍රදේශයේ දී කන්ටේනර් රථයක් දුම්රියේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

ඒ අනුව මේ වනවිට එම ප්‍රදේශයේ වාහන තදබදයක් ඇතිව තිබෙන අතර විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

කොළඹ සිට පස්යාල හන්දියෙන් මීරිගම අධිවේගි මාර්ගය දක්වා ගමන් කරන වාහන පස්යාල හන්දියෙන් ඇතුළුවීමට නොහැකි අතර කොළඹ – මහනුවර මාර්ගය භාවිත කළ හැකි බවත් දිවුලපිටියේ සිට ගමන් ගන්නා වාහන මීරිගම නගරයෙන් වමට හැරී දංඹ්විට හා වරකාපොළ මාර්ගවලට පිවිස කොළඹ – මහනුවර මාර්ගයට පිවිසීීීමටත් හැකියාව පවතිනවා.

මීරිගම අධිවේගි පිවිසුම් මාර්ගයෙන් පිටවී කොළඹ හා දිවුලපිටිය ප්‍රදේශවලට ගමන් කරන වාහන හද්දාමුල්ල හන්දියෙන් වමට හැරී කොළඹ – කුරුණෑගල මාර්ග අංක 5 මාර්ගයට පිවිස ගමන් කළ හැකි බව ද පොලීසිය පවසනවා.

මේ අනතුර හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

64d3108488353

64d3108495ad7

නොරොච්චෝලේ දෙවන ජනන යන්ත්‍රයේ විදුලිය උත්පාදන කටයුතු අත්හිටුවයි

දෝෂයක් හේතුවෙන් නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ විදුලි උත්පාදන කටයුතු අත්හිටුවා තිබෙනවා.

අනුව මෙගාවොට් 270ක විදුලිබල ධාරිතාවක් ජාතික පද්ධතියට අහිමිවනු ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ