ආදරය අල හොද්දකි…. Sex බොකුටු හැන්දකි…

Damith Wilegoda 

ලංකාවේ උයන් වතු පෙම්වතුන් ට තහනම්ය, අත්පටලා උයන් වතුවල ඇවිදයාම තහනම්ය, හාදු දීම කිසිසේත්ම තහනම්ය..

ආදරය අපේ රටේ හරිම අමුතු මාතෘකාවකි.ආදරය යන වදනය ඇසූ සැනින් අපේ හිතට එන්නේ වරදකාරී හැඟීමකි.ගෑණු පිරිමි හැඟීමකි.

මාතෘ ස්නේහනයක්, දාරක ප්‍රේමයක් අපිට ආදරය කියන වචනය ඇතුලේ දැනෙන්නේම නැත.දැනෙන්නේම ස්ත්‍රී පුරුෂ හැඟීමක් පමණි .ඊට ඔබේත් මගේත් වැරැද්දක් නොමැත.ඒ අපේ කොදෙව්වේ සිතිවිලි රටාවේ වැරැද්දකි.
 

ප්‍රේමයේ ප්‍රභේද ගොඩක් ඇත.මාතෘ දාරක පීතෘ නැදිමලයන් ආදී අනේක විධ ප්‍රේමයේ ප්‍රබේධ ඇතත් සුලබ මාතෘකාවක් වන නව යොවුන් ආදරය ගැන සංවාද කලයුතු කාලයක් එළඹ ඇත.

ඉස්සරනම් ගමේ ගෑණු පිරිමි හවහට ගංතොටේ පැන්තොටේ හමුවිය.ගම්මඩුවේ දෙවොල්මඩුවේ හමුවිය.යන එන මග තොටේ හමුවිය.
හමුවූවාට වඩා හමුවීමේ අවස්ථා සුලබ විය. ඉන්පසු හතර වරිගේ කැමති නම් කැන්දාගෙන ගියාය.නැතිනම් උන් උන් ගේ මනාපෙට හඳපානේ ගියාය.දැනට වඩා නව යොවුන් ආදරය ගැන සංස්කෘතිකමය ලිහිල් ප්‍රතිපත්තියක් ආදරය සම්බන්ධයෙන් තිබූ බව අපට සිතෙන්නේ ඒකාලේ වැඩිහිටියන්ගේ කියුම් කෙරුවා කතා අහද්දී⁣ය.
ආදරය ⁣යනු පරිත්‍යාගයකි.නමුත් වර්තමානයේ ආදරය පරත්‍යාග කර නැවත පෙරලා ආදරය බලා පොරොත්තු වෙයි.ආපසු නොලැබුන විට මිනීමැරුමකින් වුව කෙලවර වන තත්ත්වයක් දක්නට ඇත.ඒ ආදරයද ආත්මාර්ථය ද යන්න මනසින් විමසීම නුඹලා ට බාර දෙමි.පසුගිය කාලයේ ආදරය නිසා මිනීමරා ගැනීම් කීයක් අප දුටුවාද?විශේෂයෙන් ඒ අතර හමුදා හා පොලිසියේ උන්නාන්සේලා සිටීම කණගාටුවට කරුණකි.
මාහට හිතෙන පරිදි ආදරය යනු අල හොද්දකි.ලිංගිකත්වය යනු බොකුටු හැන්දකි.අල හොද්ද පහසුවෙන් බෙදාගැනීමට බොකුටු හැන්ද මහෝපකාරී වෙයි.
ඉතිං ආදරයෙන් බැඳෙන නව යොවුන් පෙම්වතුන් ගැන විශේෂයෙන් නව යොවුන් පෙම්වතුන් ගැන ඔබ නානාප්‍රකාර මත දරනවා වෙන්නට පුළුවන.”අපේ කාලෙනම් ඔහොම උනේ නෑ අපේ හාමුදුරුවනේ “කියනා සුදනංගේ හදවතට තට්ටුවක් දැම්මොත් හංඟාගත් ආදර සිතුවිලි කොතෙකුත් ප්‍රමාණයක් දෝරේ ගලයිද?නව යොවුන් වියේ ⁣කිරීමට ඇති දේවල් වයසට ගිහින් කරනවිට සමාජයෙන් ගුටි කන්නට සිදුවේ.
ලංකාවේ උයන් වතු පෙම්වතුන් ට තහනම්ය.අත්පටලා උයන් වතුවල ඇවිදයාම තහනම්ය . හාදු දීම කිසිසේත්ම තහනම්ය.උයන් පල්ලන් හා පොලිස් කාරයෝ එසේ කරනා පෙම්වතුන් කුදලාගෙන ගොස් දෙමාපියන් කැඳවා කසාද බන්දා දෙති.ප්‍රේමයේ කෙලවර කසාදය නොවේ.පොලීසියේ සංස්කෘතික කොට්ඨාසය ඇත්තේ පෙම්වතුන් අල්ලා හිරේ දැමීමට ය.බරපතලම කාරණාව මතුවන්නේ දැන්ය.පෙම්වතුන් නිතරම හුදකලාව හා නිදහස සොයයි.
 
උයනක මගතොටේ ප්‍රේමය තහනම් වනවිට පෙම්වතුන් තම හුදකලාව තීව්‍ර කරගැනීම උදෙසා තෝරාගන්නා අකාරයන් බරපතල සමාජ ප්‍රශ්නයක් බවට පත්ව ඇත.රුපියල් දෙතුන්සීයට කාමර කුලියට දෙන තැං එමට ඇත.සල්ලි කාර ඇත්තන් සමාජ ශාලාවකට හෝ යනු ඇත.ඈත පිටිසර කොල්ලන් කෙල්ලන් පඳුරු බඩවැටි ගානේ රිංගනවා ඇත.එතනදීද පොලිසිය විසිං කුදලාගෙන යන්නේ අර පඳුරු ගානේ රිංගන එවුන් හා දෙතුන්සීයේ කාමර වලට යන වුන් පමණි.
 
සමාජශාලා කාමර හෝ පඳුරු ගානේ සැඟවී පෙම්කෙලින විට ඒ පෙම් කෙලිය රති කෙලියක් දක්වා දුරදිග යාමේ හැකියාව වැඩිය.එවිට මා පෙර සඳහන් කල ආදරයේ අල හොද්ද හොඳටම බොර වෙයි.සමාජ ශාලා හෝ සුවපහසු කාමර වලට කවදාවත් පොලිසියෙන් පනින්නේ නැත.මන්ද මුදල් ඉදිරියේ පොලිසියේ උන්නාන්සේලා නීතිය කණේ වැලි ගෑවෙන්න නවන බැවිනි.
නිශ්ශබ්දතාවය
දෑත බිම ඔබා,
පස්සට වාරුවී
නිසලව හුන්
ඇගේ ලිහිල් කෙස් රොදක්,
නිහඬව හමන සුළඟින් එසවී,
මා මුහුණෙහි හැපෙත්ම,
ඇගේ රන්වන් මුහුණ දෙස බැලූ මම
ඇසීමට දිගු කලක් පුළ පුළා සිටි
කිසිවක් ඇසීමට සිතීමි.
මසකු හඬ නඟා දැඟලූයෙන්,
ගං ඉවුර අස පන් ගසින් යුත්
නොගැඹුරු බොර දිය කැළඹිණ.
ඈත ඉවුරෙහි උසට වැඩුණු
මහ උණ පඳුරින් අහසට නැඟුණු
කොබෙයියෙක් කෑගාගෙන
පියාඹා ගියේය.
ඉක්බිතිව මහා නිශ්ශබ්දතාවයක් පැතිරිණ.
ඇගේ රන්වන් දිගටි මුහුණ දෙස බැලූ මම
ඇසීමට දිගු කලක් පුළ පුළා සිටි කිසිවක් ඇසීමට යළික් සිතිමි. නිශ්ශබ්දතාවය දැඩි විය.
පෙදෙස වසාගෙන පැතිරුණු
නිහඬ බැවින් මිරිකුණු මම
ඇයගේ රන්වන්, දිගටි,
නිසල මුහුණ දෙස බලා කරබා ගතිමි.
[පලිගැනීම- 1946 /ජී බී සේනානායක]
හදවත තුල මිරිකෙන හදවත රිදුම් දෙන හදවත තුල සියුම් වේදනා හටගන්නා ගැඹුරුම ආදරය නම් මෙයයි.ආදරයේ පරත්‍යාගය යනු මෙයයි.ආදරයේ තිගැස්ම මෙයයි.හිරගෙවල් හතක දැම්මත් පෝරක හතක එල්ලා මරා දැමිමට හැදුවත් ප්‍රෙමය අමරණීයය.
ඉතිං මහත්වරුනි පෙම්වතුන් නිදහසේ ප්‍රේමයේ උත්කර්ෂය විඳීනම්,අත්පටලා ගං දෑලවල උයන් තීරවල මුහුදු වෙරළේ ඇවිදයා නම් ⁣කෙතරම් සෞන්දර්යාත්මක දැයි මෙහොතක් හිතන්න.
ඉතින් උයන් පල්ලනි,පොලිස් කාරයිනි සංස්කෘතිය ද පරිනාමණය වෙයි.මිනිසා ද පරිනාමණය වෙයි.
 
සංස්කෘතිය පරිනාමණය වන විට update වීමට නොහැකි තැනත්තා ඇවිදින මළ කඳකි.ආදරයේ අලහොද්ද බොර කර ඇත්තේ සංස්කෘතික පොලිස් කාරයන්ය.පරිනාමණය නොවූ මානව සෙවණැලි ය.පෙම්වතුන් ට ආදරයේ අල හොද්ද අල පොඩි කර ගන්නේ නැතිව බොකුටු හැන්දෙන් අල බෙදාගන්නට ඉඩ හරිමු.එවිට ඔවුන් හොද්ද ඇඟේ හලා නොගන්නවා ඇත.
නැවත මෙසේ කියමි….. ආදරය අල හොද්දකි…. Sex යනු බොකුටු හැන්දකි…
Damith Wilegoda – damithwilegoda@gmail.com

මැරිච්ච මිනිස්සුන්ගෙත් සල්ලි හොයන මිනී කාක්කෝ

නදීෂ නිර්මාණ හේරත්

අමාවක වුනත් කොළඔ අහස පහල ලස්සන විදුලි බුබුලු දැල්විලා තිබුනා.මේ කතාවට පාදක වෙන්නේ අද සමාජයේ පවතින එක්තරා ශොකාන්තයක් අතර බඩ වඩා ගන්නා අධම මිනිසුන්ගේ ක්‍රියාවලියක්.

රාත්‍රිය මැදියම් වත්ම එහි නිහඬතාවය වැඩි වෙමින් තිබුනා.නගරයේ මැදින් වූ කුඩා මාර්ගය අතර තිබුනු කනත්ත අසල වූ මාර ගස අසල මං ආපු ත්‍රීවිල් එක නැවත්තුවට පස්සේ මං කලේ හරි වෙලාව වෙනකන් කනත්ත ට දුරින් වූ කෙටි මාර්ගය අසල බලා ඉන්න එක.ඒ මොහොත ලං වුනා.කුඩා ලොරියක් කනත්ත අසල නතරකල අතර එහි තාප්පයෙන් පැනගත් එක් අයෙක් අනෙකාව එගොඩ කලා.අනතුරුව ඔවුන් ට සවල් උදලු ආදිය ලබා දුන්නේ පල්ලෙහා හිටිය තුන්දෙනයි.දැන් මේ හැමෝම කනත්තෙ.මෙතරම් රෑ බෝ වී ඔවුන් සිදුකරන්නේ කුමක්ද? ඔවුන්ගේ වෑයම කුමක්ද යන ප්‍රශ්නාර්ථ ය ඔබටත් ඇති.


මිනී කාක්කෝ එහෙම නැත්නම් අවමංගල්‍යය අධ්‍යක්ෂකවරයන් ගැන ලංකාව ඇතුලෙ ලොකු කතාබහක් නොමැති වුනත් බාබර් සාප්පු නැතිවී සැලෝන් ඇතිවනවා මෙන් මිනීපෙට්ටි සාප්පු ද වර්ධනය වී ඇත.තමන්ගේ මව පියා,සැමියා,බිරිද,ඥාතියා ගේ අවමංගල්‍යය මැනවින් ඉටු කරගැනීම සදහා අවමංගල්‍යය අධ්‍යක්ෂකවරයෙකුට භාර දීම අද වන විට සාමාන්‍ය පාන්තිකයෙකු පවා පෙළඹෙන කාර්යයකි.රේමන්ලා ගේ කර්තව්‍යය අතිශය අනර්ඝ ලෙස වටිනා දැවමය පෙට්ටියක මල සිරුර සතපවා මිහිදන් කිරීමය.⁣එහෙත් ගමේ මිනී පෙට්ටි කාරයා නම් සාමාන්‍ය දැවයෙන් නිමකල පෙට්ටිවල මලකද බහාලයි.ඒ අනුව අවමංගල්‍යය ද එකින් එක පන්තියේ වත්පොහොසත්කම් අනුව බෙදී පවතී.


මීනි පෙට්ටි සැල් වල අරමුණු වඩාත් හොදින් ඉටු වුනේ පහුගිය යුධ සමයේදීය.පෙට්ටි ගාන කීයද? පෙටිටි වැඩි කල යුතු ප්‍රදේශය කුමක්දැයි දැනගැනීමට ඔවුන් දිනපතා පුවත්පත් නැරඹූහ.එහිදී පෙට්ටිය හදන ලීය කුමක්ද යන්න ඔවුනට වැදගත් නොවුනු අවස්ථාව ද නැතුවාක් නොවේ.ධනපති සමාජයන්හි මිනිසුන් ට නම් අත්‍යවශ්‍ය වන්නේ එකී අවමංගල්‍යය උත්සවය ජයටම සිදුකිරීමය.එවන් අවස්ථාව මෙන්ම ප්‍රභූ පන්තියේ දේශපාලඥයන් ගේ අවමංගල්‍යය තුලින්ද අවමංගල්‍යය අධ්‍යක්ෂකවරයන් ද ලොකු ඉපයීමක් කරයි.


අවමංගල්‍යය අධ්‍යක්ෂකවරයන් ඉතා ප්‍රායෝගකාරී අකාරයට තම අලෙවි කටයුතු සිදුකරයි.රෝහල් අසල සිටින ත්‍රීරෝද රථ රියැදුරන් ට ගානක් දී රෝහලට එන අසාධ්‍ය රෝගීන් ගේ තත්වය ගැන ඇහැගහගෙන සිටින ලෙස පවසන ඔවුහු හට රෝගියා අසාධ්‍ය  වී මිය යන අවස්ථාවකදී අදාල අවමංගල්‍යය ආයතනය සම්බන්ධ කරවීමට ඔවුන් වග බලා ගනී.මිය ගිය මොහොතකදී පවා ලග සිටින්නට තරම් තම ජාලය සවිමත් කරගැනීමට ඔවුන් උපක්‍රමශීලීය.

එමෙන්ම ඇතැම් විටවටිනා පෙට්ටියක වල දමන මලසිරුරු එදිනම රාත්‍රියේ ගොඩ දමන ඔවුන් එහි පෙට්ටිය පමණක් නොව වටිනා ආභරණ ආදිය ද එහි තැම්පත් කර ඇතැනම් ඒවාද ගෙන නැවත එම වල තිබුනු ආකාරයට ම සැකසීමට වග බලා ගනී.ජීවත්ව සිටින අපට වඩා මිය ගිය මිනිසුන් ගෙන් මුදල් හොයන මිනී කාක්කන් ගේ ගොදුරක් වන වුන් ට එය සදාකල් රහසක් වන නිසා මෙම ජාවාරම කිසිදු බාධාවක් නැතිව කරගෙන යාමම තවත් ඛේදාන්තයක්ම වන්නේය.

කොළඹ පොෂ්ද???

By Sanka Rambukwella

” මචං කොළඹ සමාජ තත්ත්වය අනූව තමයි කෙනෙක් පොෂ් ද නැද්ද කියලා කියන්නේ.

සමහරවිට සමාජ තත්ත්වය තීරණය කරන්නේ එක පරම්පරාවකින් නෙවෙයි.පරම්පරා කීපයක් ආපස්සට බලනවා,

උඹට උදාහරණයක් විදිහට මම මෙහෙම කියන්නම්…හිතපන් මම දැන් රෝයල් එකට යනවා,ඊට පස්සේ අපේ අම්මයි තාත්තයි ඉස්කෝලේ ගියේ කොහෙද බලනවා,ඊටත් පස්සේ සමහර විට ආච්චී සීයයි ඉස්කෝලේ ගියේ කොහෙදත් බලනවා” කියලා කොළඹ පොෂ් ජීවිත ගැන මගේ යාළුවෙක් මේ ළඟදි දවසක මට කියාගෙන කියාගෙන යනවා.

එහෙම පරම්පරා ගාණක් ගැන සැලකිල්ලක් දක්වලාලු කොළඹ පොෂ් මට්ටමේ මිනිස්සු නිර්මාණය වෙන්නේ කියලා ඔහු කියද්දී කවදාවත් මම පොෂ් පොරක් නම් වෙන්න වෙන්නේ නෑ කියලා මට හිතුණා…..මට නෙවෙයි මගේ ළමයෙක්ට වත් පොෂ් පෝරක් වෙන්න බෑ කොළඹ.

මොකද පොඩි එකාව මම කොළඹ ලොකු ඉස්කෝලෙකට දැම්මත් මම ගියේ ගමේ ඉස්කෝලෙට ! ඉතින් පොඩි එකා එතනම ඩවුන් !

කෙනෙක්ට කොළඹ ගැන පැහැදිලි චිත්‍රයක් ගන්න ඕනනම් ඒ මනුස්සයාට ගොඩ වදින්න සුදුසුම තැන තමයි කොළඹ කො‍ටුව ගුණසිංහ පුර බස් ස්ටෑන්ඩ් එක.ඔබට උදේ පාන්දර දෙකට තුනට ගුණසිංහපුර බස් ස්ටෑන්ඩ් එකට යන්න පුළුවන්නම් එක්දහස් නවසිය පනස් ගණන්වල කළුසුදු චිත්‍රපටියක රූපරාමු සජීවීව නරඹන්න පුළුවන්.

බස් ස්ටෑන්ඩ් එකට ඇතුල්වෙන තැනින් පටන්ගත්තම අවසාන වෙන තැන දක්වා සියලුම හෝල්ට් යට ගැහැණු පිරිමි බේදයකින් තොරව මිනිස්සු තැන තැන වැටිලා නිදි.මහවැස්ස වැටිලා හෝල්ට් එකේ වතුර හෝ ගාලා ගැලුවත් ඒ ජීවිත ඒ නින්දෙන් ඇහැරෙන පාටක් පේන්න නැති නිසා මම සමහර මිනිස්සුන්ගේ ඇඟට උඩින් පැනලා වගේම සමහර මිනිස්සු මඟහැරලා නිල් පාටටට එකට එකතු කරලා තිබුණ පු‍ටු පේලියේ මැද පු‍ටුවක වාඩි වුණා.

එහෙම වාඩි වුණ මට කෙලින්ම පේන්නේ ඉලෙක්ට්‍රෝනික් විදිහට රී ලෝඩ් දාන ජංගම උපකරණය.ඊට එහාපැත්තෙන් ඕස්ට්‍රේලියාවේ ඇපල්,දොඩම් විකුණන ජංගම වෙළඳ සැල.

එකකට එකක් බැඳුණ එහෙත් එකකට එකක් නොගැලපෙන දේ සෑහෙන්න තියෙන බස් ස්ටෑන්ඩ් එකේ වම් පැත්තෙන් “රූං” ගාලා ආව රූං පෙත්තක් මගේ කකුල් දෙක ගාව වැ‍ටුණා.

මම ඒක අහිදින්න නැමෙනකොටම කලිසමක් වත් නැති පොඩි එකෙක් දුවගෙන ඇවිල්ලා ඒ රූං පෙත්ත අහුලගෙන ගියා…..

ඊට විනාඩියකින් දෙකකින් ආයෙත් මේ කොල්ලා දුවගෙන ඇවිල්ලා රූං පෙත්ත අහුලගෙන යනවා.

දිගින් දිගටම මේ දේ වෙන නිසා වෙන්නේ මොකක්ද කියලා බැලුව මට හෝල්ට් ඒකේ අයිනට වෙන්න ඉන්න තාවකාලික පවුලක් දැක්කා. ඒ පුංචිම පුංචි හෝල්ට් මුල්ලේ පුංචි එවුන් දෙන්නෙක් තර‍ඟෙට රූං පෙති යවනවා.

පොඩි උන් දෙන්නා යවන රූං පෙති සමහර වෙලාවට ඈතින් ඈතටම යනවා. තවත් ඒවා එහෙ මෙහෙ ඇවිදින මිනිස්සුන්ගේ ඇඟේ වැදිලා බිම වැටෙනවා.ඒත් ඒ පොඩි උන් දෙන්නාට වගේ වගක්වත් නැතිව රූං පෙත්ත ගොඩක් දුර ගියාම පෙන්නන හිනාවම රූං පෙත්ත එකම තැන බිම වැටෙනකොටත් පෙන්නනවා.

ඔබට අහන්න පුළුවන් රූං පෙත්තකින් කරන්න පුළුවන් මළ ඉලව්ව මොකක්ද කියලා.රූං පෙත්තකින් ඒ පොඩි උන් දෙන්නට පොෂ් වෙන්න බෑ..

රූං පෙත්තක් යවපු ජීවිතයකට කවදාවත් කොළඹ ලොකු ඉස්කෝලෙකට යන්න බැරි වෙයි,කිසිම අවස්ථාවක තමන්ගේ නිකැලැල් පරම්පරාවක් පිළිබඳව අදහසක්  අරන් පෙන්නන්න කවදාවත්ම බැරිවේවී.

ඒත් ගොඩක් අමාරුවෙන් පෙන්නන්න හදන පොෂ් ජීවිතයකට වඩා ඒ මොහොතේ ලැබෙන සතුට ගැන ලොකු පාඩමක් බස් හෝල්ට් එකේ මුල්ලකට වෙලා ඒ පුංචි උන් දෙන්නා ඉගෙනගනීවී.

sanka 2

ජීවිතේ සතුට තියෙන්නේ සල්ලිවලවල ,සමාජ තත්ත්වයේ කියලා ගොඩක් දෙනා හිතුවට ඇත්තම සතුට තියෙන්නේ, සතු‍ටුවෙන්න ලැබෙන අවස්ථාව යොදාගන්න විදිහෙන් කියලා පොඩි උන් දෙන්නගෙන් පාඩමක් ඉගෙන ගන්න ගමන් මම 190 බස් එක ගන්න පු‍ටුවෙන් නැගිටලා පාවෙන වෙළඳ සංකීර්ණය පැත්තට යන්න ගියා…….

 

සංඛ රඹුක්වැල්ල

(Sanka Rambukwella: m_sankarambukwella@yahoo.com )