මියන්මාර් සරණාගතයින්ගේ සත්‍ය කථාව මෙන්න – අඩහැරය

සටහන: රජිත් කීර්ති තෙන්නකෝන් – (අඩහැරය)

අප බෝට්ටුවෙන් එන අසරණයින්ටත් බිය ජාතියකි…අපට රටේ නීතිය හා ව්‍යවහාරය පිළිබද අවබෝධය අල්පය!

මෑත ලංකා ඉතිහාසයේ කිසිදු විදේශිකයෙකුට ලංකාවේ ස්ථිර පුරවැසි බව ලැබී නැත.  දෙන්නට නීතියක් ද නැත.

මහ මුහුද මැද බෝට්ටුවක අතරමං වී සිටි මියන්මාර් වැසියන් 30 දෙනෙකු ලංකාවේ නාවික හමුදාව විසින් බේරාගෙන ගොඩබිමට ගෙන එනු ලැබීය.  ඔවුන් උතුරුකරයේ කාලයක් රැදී සිට පසුව කොළඹට ගෙන එනු ලැබූවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙනි.

ලංකාවට බුරුමයෙන් මුලින්ම සරණාගතයින් පැමිණියේ 2012 වසරේ ය.  ඒ පිරිස 100 කට වැඩිය.  එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත්වී ඒ පිරිස ඇමරිකාවේ සහ කැනඩාවේ සරණාගත තත්වය ලබාදී ඔවුන් ලංකාවෙන් පිටත් වී ගොස්  ජාත්‍යන්තර නීතිය හා පහසුකම් සහිතව නව ජීවිත අරඹා ඇත.
1948 අංක 20 දරණ ‘ආගමික හා විගාමික පනත‘ අනුව ලංකාවේ රජයට කිසිම පුද්ගලයෙකුට ස්ථිර පුරවැසිභාවය හෝ   PR යැයි කියන තත්වය ලබාදීමට නීතිමය හැකියාවක්  ලංකාවේ නැත. ඒ නිසා මියන්මාර් වැසියන්ට ලංකාවේ පුරවැසි භාවය ලැබීම හිතලුවක් පමණී.
ලංකාව, ලෝකයේ ස්ථිර පුරවැසි භාවය ලබාදීමට නීතිමය ප්‍ර‍තිපාදන නොමැති රාජ්‍යයන් කිහිපයකින් එකකි.  ඒ නිසාම ලංකාවට ලෝකයේ කිසිදු සරණාගතයෙකු බාර ගැනීමට හැකියාව නැත.  බාරගෙන ඇත්තේ ද නැත.  එක්සත් ජාතීන්ගේ සංවිධානයට එවැන්නක්  කිරීමට හෝ ඉල්ලා සිටීමට ද හැකියාවක් නැත. ඉල්ලා ද නැත.  ආගමන විගමන පාලක විරසේකර මහතා මේ බව සහතික කරයි.

මෙම නීතිය කොරතම් බලවත් ද යන්නේ නම්, ලංකාවේ පුරවැසියෙකු විදේශිය කාන්තාවක් හා විවාහකර ගත්තේ වුව ද, ඇයට, ස්ථිර පුරවැසි බව ලැබෙන්නේ නැත. ඇයට හිමිවන්නේ ද, ‘කාලාථයාගේ විසා බලපත්‍ර‍ය‘ කි.

ලංකාවේ දැන් සිටින මියන්මාර් සරණාගතයින් පිරිස අතර පිරිමි 7 ක්, ගැහුණු 7 ක් හා ඉතිරි පිරිස දරුවන් වෙති.  එකතුව 30 කි.  එයට අමතරව ලංකාවේ දී එක් දරුවෙකු උපත ලබා ඇත.  අඩුම ගානේ ඒ දරුවාට ලංකාවේ පුරවැසි බව ලබාදෙන්නට හෝ නීතියෙන් ඉඩක් නැත!  මෙයට අමතරව ‘ව්‍යාජ පාස්පෝට්‘ භාවිත කරමින් පැමිණි 4 දෙනෙකු ද වෙනම මේ පිරිස සමග සිටී. එකතුව 35 කි.

ජාත්‍යන්තර නීතියට අනුව මේ පිරිස රැදී සිටිනේනේ ‘එක්සත් ජාතීන්ගේ රැකවරණය‘ යටතේ ය.  ඔවුනට කන්නට බොන්නට අදින්නට දෙන්නේ ද, පුංචි දරුවන්ට සෙල්ලං බඩු, පෑන් පැන්සල් දෙන්නේ ද, ලංකා රජය නොව එක්සත් ජාතීන්ගේ සංවිධානය යි.   ඔවුන්ට රැකවරණය දීමට බටහිර රාජ්‍යයන් කිහිපයක් සමග එක්සත් ජාතීන්ගේ සාකච්ඡා සිදුවේ.  අද දිනය පුරාම කොළඹ එක්සත් ජාතීන්ගේ පමණක් නොව බටහිර තානාපති කාර්යාල සිදුවන දේ ගැන වාර්තා කරමින් සිටිනවාට සැක නැත.  බොහෝ විට මේ 35 දෙනාට ද, මෙයට පෙර 2012 දී සිදු වූ ලෙසම, ඇමරිකාව හා කැනඩාව සරණාගත පහසුකම් සැපයීමට ඉඩ ඇත. එය එසේම වේවා! ඉක්මනින් වේවා!!

මා මේ සටහන තබන්නේ වෙනත් හේතු නිසාය. පළමුවැන්න, අප බෝට්ටුවෙන් එන අසරණයින්ටත් බිය ජාතියකි.  දෙවැන්න, ලංකාවේ බංකොලොත් දේශපාලනය ජීවිතය පරදුවට තබා මහ සයුරේ සටන් කර දිවි බේරාගන්නා මිනිසෙකුට හෝ අනුකම්පා නොකරන බංකොලොත් දේශපාලන නරුම රැළකගේ උසිගැන්වීමට අන්ධානුසාරයෙන් ගොදුරුව සිටී.   තෙවනුව, අපට රටේ නීතිය හා ව්‍යවහාරය පිළිබද අවබෝධය අල්පය.  සරණාගත මංකොල්ලකරුවෙකු වූ විජය ලංකාවට ගොඩ බසින විට 1948 අංක 20 දරණ ‘ආගාමික හා විගාමික පනත‘ තිබුණේ නැත. අවසානාවකි.  මිහිදු හිමියන් එන විට තිබුණේ ද නැත.

ඛෙදවාචකයකි!
1983 න් පසුව ලාංකිකයින් ලක්ෂ 18 කට වැඩි පිරිසකට බටහිර රාජ්‍යයන් සරණාගත තත්වයන් ලබාදී රැක බලාගෙන ඇත.  ඇත්තටම එක්කෝ බටහිරට පිස්සු ය. නැතිනම් අපිට පිස්සු ය.

සිදුවීම් විසින් ‘සමාජය නිරුවත් කරන්නේ‘ ය.  මම අද සිදු වූ දෙයට කැමති ඒ නිසාය.  අප කුමන ආකාරයෙන් මිනිසුන් පිරිසක් ද යන්න ක්‍රියාවෙන් ඔප්පු කොට අවසන් ය.

ආණ්ඩුවට මහජන සබඳතා ටොක්කක් ආදරෙන්

සටහන :  අමිල ජයචන්ද්‍ර ලියනආරච්චි

ආණ්ඩුව නුවරඑළියෙ තැපැල් කන්තෝරුව හෝටලයක් කරන්න ගිය ව්‍යාපෘතිය අසාර්ථකයි. ඒකෙන් වුනේ ආණ්ඩුව තව ටිකක් මඩ නාගෙන අපහසුතාවයට පත්වුන එක විතරයි. හැබැයි හරි මහජන සබඳතා ක්‍රමෝපායන් පාවිච්චි කරානම් නුවරඑළියෙ තැපැල් කන්තෝරුව හෝටලයක් කිරීම අපහසු දෙයක් නෙවෙයි. විරෝධතා එල්ල වෙන එක මගහැරගෙන ඒක පහසුවෙන්ම කරන්න තිබුණා. ඒකට වැදගත් වෙන්නෙ මහජන මතය හදන්නෙ කොහොමද කියන එක. ජාත්‍යන්තරව කෙසේ වෙතත් මේ ආණ්ඩුවෙ දේශීය මහජන සබඳතා අංශය විභාගෙන් අසමත්වීම නිසා ඒකට ඕනෙ කරන පදනම දාගන්න බැරි වුණා.

නුවරඑළියෙ තැපැල් කන්තෝරුව අධිරාජ්‍යවාදී පාලනය කාලෙ ඉදිකරපු ගොඩනැගිල්ලක්. දැන් ඒක සෑහෙන පරණයි. ඒ ගොඩනැගිල්ලෙ ගෘහ නිර්මාණශිල්පය තවදුරටත් ආණ්ඩුවෙ කන්තෝරුවකට ගැලපෙන්නෙ නැහැ. හැබැයි ඒක හෝටලයකට විශේෂයෙන්ම ගැලපෙනවා.

ආණ්ඩුවට මුලින්ම කරන්න තිබුනෙ ඒ ගොඩනැගිල්ල පරණ, අබලන් සහ නඩත්තුවට අපහසු බවට මතයක් හදන එක. ගොඩනැගිල්ලෙ දිරාපත් තැනක දෙකක පිංතූර ටිකක් එක්ක නිව්ස් ටිකක් යැව්ව නං මිනිස්සු හිතන්න ගන්නවා මේක දැං පරණයි සහ අබලන් ස්ථානයක් නේද කියලා. නුවරඑළිය තැපැල් කාර්යාල සේවක පිරිස අනතුරේවගේ හෙඩිමක් එක්ක නිව්ස් ටික ගියානම් හරියට හරි.

ඊට පස්සෙ අලුත් ගොඩනැගිල්ලක් ඕනෙ කියන අදහස නිකංම එනවා. ඉතිං අලුත් ගොඩනැගිල්ලක් හදල ඒකට තැපැල් කන්තෝරුව ගෙනියනවා. තවත් ටික කාලයක් යද්දි පරණ ගොඩනැගිල්ල තව ටිකක් ජරාවාස වෙනවා. අන්න එතකොට මතයක් හැදෙනවා මේ ගොඩනැගිල්ල රැකගන්න ඕනෙ සහ ඒක රැක ගැනීම ජාතික අවශ්‍යතාවයක් කියලා. අන්න ඒ මොහොතෙදි ඒක සංචාරක හෝටලයක් කරල හරි රැකගත්තට කමක් නෑ කියන එකයි බහුතර මතය වෙන්නෙ.

එතකොට විරුද්ධ දේශපාලන මතවාදීන්ටත් මේක මාතෘකාවක් කරගන්න කාලයක් නෑ. ඒක ඒ තරමටම අමතක වෙලා ගිය දෙයක් සහ තව දුරටත් එතන තැපැල් කන්තෝරුවක් නැති නිසා.

හෝටලයක් කරන්න මේ ගොඩනැගිල්ලේ පුරාවිද්‍යාත්මක වටිනාකම රැකගනිමින් අලුත්වැඩියා කරන බව මිනිස්සු අතරට ගෙනියන්න ඕනෙ. එතකොට ඒකෙන් රටට එන ආදායම සහ රැකියා උත්පාදනය කියන අනුමාතෘකා මතුවෙනවා.ආණ්ඩුව කරේ මේ ක්‍රියාවලියෙ අවසන් පියවර මුලින් තබපු එක. ඉතිං ප්‍රොජෙක්ට් එක ෆේල් වෙන එක අහන්නත් දෙයක්ද?

මහජන සබඳතාවය නැතිනම් (PR) එක කියන්නෙ තනිපුද්ගලයින්ට,කොම්පැණිවලට වගේම ආණ්ඩුවලටත් අත්‍යවශ්‍ය දෙයක්. අනිකා අපි ගැන විශ්වාසය තබන්න අපේ මහජන සබඳතා පැවැත්වීමේ ක්‍රමෝපාය හරිම වැදගත් වෙනවා.

ජාත්‍යන්තර මහජන සබඳතාවය පවත්වන් යන විදියට දේශීය මහජන සබඳතාවය පවත්වන් යන්න බැහැ කියන එක මුලින්ම අවබෝධ කරගන්න ඕනෙ. අපේ දේ විනාශ කරනවා විකුණනවා කියන එක වෙනුවට අපේ දේ රැකගන්නවා, රටට විදේශ විනිමය වැඩියෙං ගේනවා කියන මතය මෙතෙන්දි හරිම පහසුවෙන් හදන්න තිබුණා.

හෝටලේට අමතරව මේකෙ පැත්තකින් පොඩියට තැපැල් කෞතුකාගරයක් හදන්න තිබුණ නම් ව්‍යාපෘතිය තවත් සාර්ථක වෙනවා. ඒකෙන් හෝටලේ අගය තවත් වැඩිවෙනවා. තැපෑල පරණ වෙන්න, පරණ වෙන්න පෞරාණික වටිනාකම වැඩිවෙනවා. හෝටලයක ගොඩනැගිල්ලක් පරණ වෙන්න පරණ වෙන්න සංචාරක ආකර්ෂණය ඉහළ යනවා.

ආණ්ඩුව මහජන මතය හදන්න හරි විදියට මහජන සබඳතා භාවිතා නොකරපු නිසා තැපැල් කන්තෝරුව තවමත් එතැනමයි. දැං ඉතිං තව කාලයක් යනකන් එතන මුද්දර උඩ සීල් ගහන ‘දඩාං’සද්දෙ නුවරඑළි සීතල කපාගෙන කණට වදියි.

සටහන :  අමිල ජයචන්ද්‍ර ලියනආරච්චි

                        srijayachandra@hotmail.com

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය සහ ත්‍රස්තවාදය

ආගමික, දේශපාලනික, හෝ යම් මතවාදී අරමුණක් වෙනුවෙන් බිය නිර්මාණය කිරීමේ කලාව

ත්‍රස්තවාදය යනු ආගමික, දේශපාලනික, හෝ යම් මතවාදී අරමුණක් වෙනුවෙන් බිය නිර්මාණය කිරීමේ මාධ්‍යයක් ලෙස වගවිභාගයකින් තොරව ප්‍රචණ්ඩත්වය පැතිරවීම යැයි හැදින්විය හැකිය.

එම අර්ථයෙන් හා අප දන්නා ප්‍රසිද්ධ අර්ථයෙන් ත්‍රස්තවාදී සංවිධාන යනු මෙලොව පැවැත්මට අහිතකර බලපෑම් එල්ල කරන සංවිධාන විශේෂයක් බව සමස්ත ලෝක වාසීන්ගේ පිළිගැනීමයි. ඔවුන්ගේ ක්‍රියාදාමයන් හේතුවෙන් අද වන විට විශාල ජීවිත ප්‍රමාණයක් අහිමි වී ඇත. නමුත් ත්‍රස්තවාදය පසුපස සෑම විටම තිබෙන්නේ පවත්නා සමාජ ක්‍රමයේ අර්බුදයි. ත්‍රස්තවාදය යනු නිර්ධනයාගේ න්‍යෂ්ඨික බෝම්බය වේ කියා ජොන්-පෝල් සාත්‍ර පැවසුවේ එම නිසාය. ත්‍රස්තවාදය සෑම විටම ඉලක්ක කරන්නේ පවත්නා පාලකයන් හට සමාජය සුමට ලෙස පාලනය කිරීමේ හැකියාව බිඳ දැමීමයි. ඔවුන් ඒ සදහා තම ක්‍රමවේදය හැටියට භාවිතා කරන්නේ යුදමය ක්‍රියාවලියකි. නමුත් ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාදාමය දෙස වඩා සුපරික්ෂාකාරීව බැලූ විට වඩා අහිතකර බලපෑම එල්ල වන්නේ ලෝක වාසීන්ට වඩා දේශපාලන නායකයන්ට යි.

මෙරට තිස් වසරක යුද්ධය තුළ රජයට දේශපාලනික වශයෙන් ඉතාම බලපෑම් සහගත සංවිධානය වූයේ එල්ටීටීයී සංවිධානය යි. රජයට නිදහසේ හැසිරිය හැකි තත්වය සීමා කිරීම ඔවුන් අතින් සිදු විය.  ආහ්ලාදජනක අත්දැකීමක් ලෙස කියන්නේ නම් 2009 යුද්ධය අවසන් වීමෙන් පසුව පසුගිය රජයේ නිදහසේ හැසිරිමේ සීමාව එය තවදුරටත් තහවුරු කරයි. තවත් ආකාරයට කියන්නේ නම් ඔවුන් ඍජුව මෙරට මිනිසුන්ට වඩා නැති නම් දෙමළ ජනතාවට වඩා මෙරට පාලකයන් වෙත ඔවුන්ගේ අරගලය දියත් කර තිබුණි. පාලකයන් යනු ජනතා නියෝජිතයන් වන අතර ඔවුන්ට එල්ල කරන ප්‍රහාරය ජනතාවට එල්ල කරන ප්‍රහාරයට සමාන යැයි කෙනෙකුට තර්ක කළ හැකිය. නමුත් අද දවසේ ජනතා නියෝජනය හා ජනතාව අතර ඇති දුරස්ථභාවය නැතිනම් දේශපාලඥයනගේ ක්‍රියාදාමයන් සහ ජනතා සිතුම් පැතුම් අතර පවතින නොගැලපීම එම තර්කයේ ප්‍රබලතාව තුනී කරවයි.

ඒ අතර අප විදේශීය ත්‍රස්ත සංවිධාන දෙස ද අවධානය යොමු කිරීමේ දී මෙම තත්වයෙහි බරපතල වෙනස් කම් නැත. මෙයින් අප කියන්නට උත්සහ කරන්නේ ත්‍රස්ත කණ්ඩායම් ලෝකයේ යහපැවැත්මට අවශ්‍ය බව හෝ ඔවුන් ඉතා යහපත් මනුෂ්‍ය කොට්ඨාශයක් බව නොවෙයි. නමුත් එක්තරා අර්ථයකින් ඔවුන් අත්තනෝමතික ආඥාදායක දේශපාලනයට පැවතිය හැකි ඉඩ කඩ සීමා කරන දැනට ලෝකයේ පවතින බලපෑම් සහගත ම දේශපාලන මාදිළිය යැයි කිව හැකි නොවේද ?

මෙම ලිපිය මගින් අප උත්සහ කරන්නේ අද දවසේ ලොව භායානක ම, බලසම්පන්න ම හා ගෝලීය දේශපාලනය වෙත දිශානත වූ ත්‍රස්තවාදී කණ්ඩායම් හා ඇමරිකාව අතර පවතින සම්බන්ධය විදාරණය කිරීමටයි.

අයිඑස්අයිඑස් සංවිධානය එක පොදු ආගමික අරමුණක් වෙනුවෙන් කටයුතු කරයි. ඉරාකය හා සිරියාව තුළ ඔවුන්ගේ සටන් මෙහෙය වන්නේ ඉස්ලාමීය රාජ්‍යයක් බිහි කිරීමේ අරමුණිනි. මෝසුල් නගරය අත්පත් කර ගැනීම, ඇලැප්පෝ අත් පත් කර ගැනීම හා ඒවා අහිමි වීම හරහා ඔවුන් ජීවිත පරිත්‍යාගයෙන් සටන් වැදුණේ එම ආගමික අන්තවාදය මැදපෙරදිග ප්‍රධාන රාජ්‍යයන් හි ස්ථාපිත කිරීමටය. තලෙයිබාන් සංවිධානය ද ඇෆ්ඝනිස්තානයේ ලෝකු උරුමයක් ව පැවති බාමියන් බුදු පිළිම විනාශ කළේ ජාත්‍යන්තර අවධානය දිනා ගනිමින් ඔවුන්ගේ ඉලක්කය වෙත යාමට අවශ්‍ය මග එළි පෙහෙළි කර ගැනීමටය. මේ අර්ථයෙන් මෙම සියලු ත්‍රස්ත සංවිධාන විශාල පොදු දේපළ හානියක් සිදු කරන්නේ කුමන අරුතින්ද ? ඒ ඔවුන්ගේ අරමුණ වෙත යාමට අවශ්‍ය මග නිරාවරණය කර ගැනීමේ මෙහෙයුමක් ලෙසය. එමගින් පවතින රජයට දැරිය නොහැකි පාඩු සිදු වන අතර එය එම රජයේ පැවැත්මට ඍජුව බලපෑම් කරයි. නමුත් මේ සියල්ලේ අවසන් පුරුක ලෙස මහජනතාව විශාල වශයෙන් පීඩාවට පත් වෙයි. ත්‍රස්ත සංවිධාන හා ඔවුන් සමග ගැටෙන රාජ්‍ය සංවිධාන පළමුව මගහැර ඇත්තේ මෙම මානූෂීය ගැටලුවයි.

පැහැදිලිව නැවත කිවහොත් ගෝලීය දේශපාලනය පවත්වාගෙන යාමට ත්‍රස්තවාදය මගින් යම් කාර්යයක් ඉටු කරයි. මොහොතකට ඔබ සිතන්න අයිඑස් සංවිධානය තම ක්‍රියාවලිය නතර කරන්නේ නම්, තලෙයිබාන් සංවිධානය සුණු විසුණු වී යන්නේ නම් ඇමරිකාව එදිනට ඔවුන්ගේ කොලනි අරාබිය තුළ ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘති අරඹන්නේ නැතිව සිටියි ද ? තෙල් සම්පත ඔවුන් අතට නොගෙන සිටියි ද ?

අද දවසේ ලෝක බලවතුන් ලෙස සැලකිය හැකි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල් සියල්ල යම් ත්‍රස්ත සංවිධාන සමග යුදමය වශයෙන් අභිමුඛ වී සිටියි. ජර්මනිය චීනය පුළුල් වශයෙන් නොවුණත් ඔවුන් ඒ පිළිබද යම් අත පෙවීමක් නොයෙක් මට්ටමින් සිදු කරයි. මෙම ප්‍රධාන රාජ්‍යයන් තම විදේශ ප්‍රතිපත්තිය හසුරුවන්නේ මෙම ත්‍රස්ත සංවිධාන පසුබිමෙහි තබාගෙනය.

ඒ අතර අප මාතෘකාවට ගන්නා ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්ති පුදුමාකාර අයුරින් විවිධ වේශයන් ගනියි. මෑතකදී ඔවුන් විසින් සිරියාවට එල්ල කළ ප්‍රහාරය ප්‍රජාතාන්ත්‍රික හෝ එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය හිමි රාජ්‍යයක් හැටියට සිදු කළ නොහැක්කකි (සිරියානු යුද්ධය පිළිබඳව වැඩි තොරතුරු මෙතැනින්). විෂ වායු ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය යම් කාර්යයක් ඉටු කරමින් සිටිනා මොහොතක ඒ සදහා සිරියාවට අඩම්තේට්ටම් කිරීමට ඇමරිකාවට ඇති සුවිශේෂී බලය කුමද්ද ? ට්‍රම්ප් රජයේ හිතුවක්කාරී ක්‍රියා ලෙස එය අපට ලඝු කළ නොහැක. මන්ද ඔබාමා පාලනය විසින් බින් ලාඩන් ඝාතනය කළේ පාකිස්ථානයට කිසිදු දැනුම් දීමක් සිදු නොකරමින් ඔවුන්ගේ ගුවන් සීමා හා පාකිස්ථානයේ සියලු නීති රීති උල්ලංඝනය කරමින් ය. බුෂ් පාලනය ද ඊට දෙවැනි නැත. මේ ආකාරයට ඇමරිකාව සතු මෙම බලය ත්‍රස්තවාදය හා සම්බන්ධ වන ආකාරය වෙනත් කිසිදු සංවිධානයකට හෝ රාජ්‍යයකට පාලනය කළ නොහැක. තලෙයිබාන්, අල්-කයිඩා, අයිඑස්අයිඑස් සංවිධාන වෙනත් රාජ්‍යවල සිටියදී ඔවුන් ප්‍රහාර එල්ල කරන්නේ ඔවුන්ගේ හිතු මනාපය ට ය. එහිදී ඔවුන්ට ජනතාව එහි වාසය කරන්නේ ද යන්න අදාළ නොවන්නේ වෙනත් රාජ්‍යයන් හා ත්‍රස්තවාදීන් අතින් සාමාන්‍ය ජනතාව ඝාතනය වූ විට ඔවුන් ගන්නා ප්‍රවේශය සමග විශාල පරස්පරතාවයක් ඇති කරමිනි. මෙම තත්ත්වය ග්‍රාම්‍ය උදාහරණයකින් කියන්නේ නම්, ගමේ චන්ඩියාගේ භූමිකාව ඇමරිකාව විසින් ඉටු කරමින් සිටියි. ඇමරිකාවේ පත් වුණු සියලු පාලකයන්ගේ විදේශ ප්‍රතිපත්තියේ පොදු සාධකය වන්නේ මේ චණ්ඩියාගේ භූමිකාව යි.

මෙරට යුද්ධයට අත පෙවීමට ඇමරිකාව, රුසියාව ප්‍රංශය විශේෂයෙන් චීනය අලස වූයේ එල්ටීටීඊ සංවිධානය ගෝලීය වශයෙන් වෙනත් කිසිදු රාජ්‍යයක විදේශ ප්‍රතිපත්තියට හෝ වෙන යම් දෙයකට බලපෑම් එල්ල නොකරන බැවිනි. අනෙක් කාරණය ඔවුන් සටන් කළ භූමියේ අද්විතීය ස්භාවික සම්පතක් නොමැති වීමය. උතුරේ යුද්ධයේ බලපෑම එල්ල වූයේ ඉන්දියාවට පමණි. ඉන්දියාව ඒ සදහා විවිධ අවස්ථාවල විවිධ ක්‍රියාමාර්ග ගැනීමට උත්සහ කළේය. ඒ අතර මෙරට රජයේ තත්ත්වය ගණනකට නොගත් අවස්ථා තිබුණි. එසේ නම් ඇමරිකාව වැනි ප්‍රබල රාජ්‍ය ද තම ත්‍රස්ත විරෝධය ආරම්භ කරන්නේ ඔවුන්ගේ රාජ්‍යයට ඇති වන බලපෑම මත පමණි. සෝමාලියානු සිවිල් යුද්ධය ඇතුළු අප්‍රිකානු කලාපයේ යුද්ධ ඔවුන්ට තරම් නොවේ. නමුත් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ඇමරිකානු හෝ යුරෝපීය නැවක් ප්‍රාණ ඇපයට ගත් මොහොතක ඔවුන් මුහුදු කොල්ලකරුවන් තුරන් කිරීමට සාකච්ඡා කරයි. තවද ඔවුන් යුදමය වශයෙන් මැදිහත් නොවන සිවිල් අර්බුද සදහා ඔවුන් ප්‍රවේශ වන්නේ ඒවායේ මානව අයිතීන් උල්ලංඝනය වීම් පිළිබද යි. මේ සියලු කරුණු සළකා බැලීමේදී ඇමරිකාවේ විදේශ ප‍්‍රතිපත්තිය යනු කුමක්ද ?

අප වැනි තුන්වැනි ලෝකයේ සංවර්ධනය වන රටකට මෙම තත්වය සාමාන්‍ය තත්වයක් බව කිව හැකිය. මහින්ද රාජපක්ෂ සමයේ වැඩි නැඹුරුතාවයක් චීනය වෙත පැවති අතර යුරෝපා සංගමය හා ඇමරිකාව සමග සම්බන්ධතා සවිමත් එකක් නොවීය. අද දවසේ ජාතික ආණ්ඩුව යටතේ එය කන පිට ගැසී ඉන්දියාව වෙත වැඩි නැඹුරුතාවයක් දක්වයි. පසුගිය ආණ්ඩුව චීන සමාගම් සමග වැඩි මිත්‍රත්වයකින් කටයුතු කිරීමත් ඒ හරහා ඔවුන්ගේ දේශපාලන ස්ථාවරත්වය ගොඩ නගා ගත හැකි වීම තුළ ඔවුන් චීනය සමග මිත්‍රශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළෝය. වර්තමානයේ එම අරමුණින් ම එය වෙනත් දිශානතියක් තුළ සිදු වෙයි. තුන්වන ලෝකයේ රටක් හැටියට ශ‍්‍රී ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තිය කේන්ද්‍ර වන්නේ පැහැදිලිව ම ආර්ථිකය කේන්ද්‍ර කොට ගෙනය. නමුත් ඇමරිකාවේ මෙය මූලිකව ආරක්ෂාව සමග බැදේ. එම නිසා ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්තිය එම මොහොතේ පවතින ගෝලීය යුද වාතාවරණය මත පිහිටයි.

ඒ සඳහා ආසන්නතම උදාහරණය වන්නේ ඉහත සදහන් කළ පරිදි සිරියානු යුද්ධය වෙත ට‍්‍රම්ප් අභිමුඛ වූ ආකාරය යි. තවත් අවස්ථාවක් ලෙස ඔසාමා බින් ලාඩන්ගේ ඝාතනය හැඳින්විය හැකිය. එහිදී ඇමරිකානු ගුවන් හමුදාවේ ක‍්‍රියාන්විතය අවසන් වූවා ට පසුවයි පාකිස්තානු ජනපතිවරයා මෙම තත්වය පිළිබඳ දැනගන්නේ. වෙනත් ස්වාධීන රාජ්‍යයක යුද කටයුතු පැවැත්වීම හා ගුවන් සීමා අයතු ලෙස භාවිතා කිරීම ඇමරිකානු විදේශ ප‍්‍රතිපත්තියේ කොයි ආකාරයට තහවුරු කර ඇද්ද ? මේ දිනවල කාල් වින්සන් යාත‍්‍රාව දකුණු චීන මුහුදේ නවතා ඇත. ඒ තමුන්ගේ නියෝගවලට අවනත නොවුණු උතුරු කොරියාවට එරෙහි යම් ක‍්‍රියාමාර්ගයක් ගැනීම සඳහා ය. (උතුරු කොරියාවේ ව්‍යපෘතිය ද මින් සාධාරණීකරණය නොකරනව බව කිව යුතුය.) ඒ සඳහා ජපානයෙන් හා දකුණු කොරියාවෙන් සහයෝගය ද ලැබෙයි. මේත් සමග තලෙයිබාන් කණ්ඩායම සමගත් ඇමරිකාව ඇෆ්ඝනිස්ථානයේ විශාල යුද්ධයක් සිදු කරගෙන යයි. එකවර යුද්ධ තුනක් වෙත අභිමුඛ වීමේ මහා බලවතා සතු බලය විදාරණය කිරීම යනු ඇමරිකාවේ විදේශ ප‍්‍රතිපත්තිය තමුන්ගේ ආරක්ෂාව පිළිබද සිතන ආකාරය ගැන අදහසකි.

ඇමරිකාව කියන්නෙ 200 කට ආසන්න රටවල් සංඛ්‍යාවක් සමග තම විදේශ සම්බන්ධතා පවත්වාගෙන යන රාජ්‍යයකි. තම රාජ්‍ය සතු ආර්ථික දේශපාලන යුදමය වැනි විවිධ පාර්ශවයන්හි බලය වර්ධනය කර ගැනීම ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්තියේ අවසන් අරමුණ ලෙස හැදින්විය හැකිය. ඇමරිකානු නිදහස් සටනින් පසුව ඔවුන් බලවත් යුරෝපීය රාජ්‍යයක් ලෙස පැවතීමට උත්සහ කළෝය. අවසාන අරුතින් ඇමරිකාව සතු බලය ලෝක ජනතාවගේ සුබ සිද්ධියට හේතු වන හෝ වෙනත් ආකරයකට ලෝකයට පැමිණිය හැකි බලවේගයක් වෙනුවෙන් ඉදිරිපත් වන බලයක් හැටියට ප්‍රතීයමාන නොවේ. ඇමරිකාව සිරියානු යුද්ධය පිළිබද සංවේදී වන්නේ ඔවුන්ගේ ප්‍රධාන සතුරෙකු වන රුසියාව ඊට සම්බන්ධ වී සිටිනා නිසාය. පොදුවේ ගෝලීය තෙල් සම්පත නතු කර ගැනීම, න්‍යෂ්ටික කෙෂ්ත්‍රයේ බලවතා වීම, සියලු පාලනයන් ඔවුන්ට හිතැති සුහද පාලනයක් බවට පත් කර ගැනීමට යි.

අප මුල දී පෙන්වා දුන් ත්‍රස්ත කණ්ඩායම්වල ප්‍රධාන ක්‍රියාකරම් සියල්ල ඔවුන් සිදු කරන්නේ කිසිදු වගවිභාගයකින් තොර ප්‍රචණ්ඩ අයුරිනි. ත්‍රස්ත කණ්ඩායම්වල මූලික ප්‍රතිපත්තිය වන්නේ තමන්ට අවැසි තමුන්ගේ අරමුණ වෙත ළගා වීමට අවශ්‍ය කටයුතු ප්‍රචණ්ඩත්වය තුළින් ළගා කර ගැනීමය. ඒ අර්ථයෙන් ඇමරිකානු හැසිරීම හා ත්‍රස්ත කණ්ඩායම්වල හැසිරීම අතර විශාල වෙනස් කමක් නැති බව අපට කියන්නට සිදු වන්නේ දෙපාර්ශවයේම ක්‍රමවේදය බොහෝ අයුරින් සමපාත වන බැවිනි.

නමුත් මෙහි දී අසමාන වන දෙයක් ද තිබේ. ඒ තමයි මේ දෙපාර්ශවයේ එක් පැත්තක් විසින් මේ පවත්නා ක්‍රමයේ වරප්‍රාසාදිත පාලකයන් නියෝජනය කරන අතර අනෙක් අන්තයේ සිටින්නේ ගෝලීය ක්‍රමයක් විසින් පිටුවහල් කර ඇති මිනිසුන් ය. පීඩිතයා පෙළෙමින් සිටියි, හව්හරණක් නැතිව ලෝක ගෝලයෙන් ඉවතට තල්ලු වෙමින් සිටියි, බොහෝ විට අවසන් සාධාරණතම විසදුම ඔවුන්ට සාපේක්ෂව යුදමය ක්‍රියාවලියක් වීම නොවැලැක්විය හැකි තත්ත්වයන් ලෝක ඉතිහාසයේ හමු වෙයි. ඒ සදහා පිළිතුරු දෙන ඇමරිකානු ක්‍රමවේදය අතිශය අසාර්ථක බව අද දවසේ ලිබියාව, ඉරාකය, ඇෆ්ඝනිස්ථානය, ඊජිප්තුව දෙස බැලූ විට මනාව තහවුරු වෙයි. අවසාන අරුතින් අපට කියන්න සිදු වන්නේ මෙයයි. ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ බැරෑරුම් ප්‍රජාතන්ත්‍රකරණයක් සිදුවන තුරු ගෝලීය සාමය යනු ළඟා විය නොහැකි ඉලක්කයක් බවයි. නමුත්, මේ ආකාරයේ ප්‍රජාතන්ත්‍රීයකරණයක් ඇමරිකානු දේශපාලනයේ සිදු වීම යනු, අවසන් අර්ථයෙන්, ධනවාදයට එරෙහිව පමණක් ඇති විය හැක්කකි.

රංග මනුප්‍රිය

හඩක් නැත්තන්ගේ අයීතීන් වෙනුවෙන් හඩ නගන පින්බර උද්ඝෝෂකයෝ

By නිරාශා පියවදනි

කේතුමතියේ මනරංජන වැඩවර්ජන උද්ඝෝෂණ නිමක් නැත. හතර දෙසින්ම ඇසෙන්නේ ඉල්ලීම් සහ අයිතීන් වෙනුවෙන්  සටන් වැදෙන විප්ලවවාදින්ගේ ඝෝෂාවන්ය. 

මේ කියන්නේද උද්ඝේෂණයක් ගැන කතාන්දරයක් බව සැබෑය. එහෙත් මේ අපූරු උද්ඝෝෂකයන් සිය වටිනා කාලය හා ශ්‍රමය කැප කරමින්  පෙළ ගැසුනේ තමන්ගේ ඉල්ලීම් හෝ අයිතීන් වෙනුවෙන්නම් නොවේ. ඉල්ලීම් තබා බෙල්ල මිරිකා මරා දමා ගියත් කට අරින්නට අයිතියක් නැති අන්ත අසරණයින් පිරිසකගේ හදතුළ නැගෙන වේදනාවට  හඩක් වෙනුවෙනි.
d 2
 
 වෙඩි කා හෝ වස කවීමෙන් පණ අදින  ඒ අසරණ හදවත් වලට දැනෙන වේදනාව තම හදවතින් නිශ්චය කරමින් බැනර් සහ පුවරුවලට අකුරු කරගත් විසල් පිරිසක් මැයි 06 වන දින කොළඹ 07 නිදහස් චතුරශ්‍රයට පෙල ගැසුණු අයුරු පින්බර දසුනක්ම විය.
 
 මහ මග පෑගෙන දූවිල්ලක් තරමට මායිමට ලක් නොවෙන වීදි සුනඛයන් රහසේ මරා දැමෙන ඛේදාන්තය මේ පුන්‍ය භූමියට අලුත්ම අලුත් නාටකයක් නොවේ. නමුත් හදවත් ඇත්තන්ගේ ඝර්ජනාවලට පින් සිදු වන්නට එය කලක් පුරා නැවතී තිබූණි.නැවතී ඇති බවක් පිටතට පෙනෙන්නට තිබුණද යළි යළිත් ඒ අප්‍රසන්න උපායවල් වරින් වර වාර්තා වන විට මනුෂ්‍යත්වයේ සැබෑ හිමිකරුවන්එ හට තවත් ඇස් කන් පියාගෙන සිටීමට නොහැකි විය.
FB_IMG_1494142900886 (1)FB_IMG_1494142828492
 
 එවැනි උතුම් මිනිස් දියණියක වන මනොජා වීරකෝන් මේ අපූරු උද්ඝෝෂණයේ සුල මුල අවධි කළේ මෙලෙසිනි.
 
” අපි සෑහෙන කාලයක ඉදන් මේ වීදි සුනඛයන් ආරක්ෂා කරන වැඩ පිළිවෙලවල් අපිට හැකි අයුරින් කළා. පසුගිය දවස්වල ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සිසු සිසුවියන් පිරිසක් සරසවි බිමේ ජීවත් වෙනවීදි සුනඛයන් කිහිප දෙනෙක්  තමන්ගේ පෞද්ගලික වියදම් දරාගෙන අවශ්‍ය එන්නත් වර්ග ලබා දීලා කෑම බීම දෙමින්  හොදින් රැක බලාගෙන තිබෙනවා. පසුව ඇසින් දුටු සාක්ෂි සහිතව ඔවුන්ට දකින්න ලැබිලා තියනවා වාහනයකින් ඇවිත් මේ සතුන් රැගෙන ගොස් ඇති අයුරු. එහෙම අරන් යන්නෙ බොහෝ දුරටම මරන්න මිසක් නිවාස සොයා දීලා ඔවුන්ව රැක ගන්න නෙවෙයි. මේ එක සිදුවීමක් විතරයි.මෙවැනි සිදුවීම ්ගොඩක් වාර්තා වෙනවා අපිට.
FB_IMG_1494142806779
 
අපි මේ වන විට සොයාගෙන යනවා මේ විදිහට අහිංසක සුනඛයන් මරන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ හැක්කේ කෙසේද සහ ගත හැකි නීතිමය පියවර මොනවද කියලා.
 
සතුන්ටත් නිදහසේ ජීවත් වෙන්න අයිතියක් තිබෙනවා. ඒත් ඔවුන්ගේ අයීතීන් කඩ කරනකොට ඒ වෙනුවෙන් නීතිමය පියවර ගන්න උසාවි ගානෙ යන්න අඩුම තරමෙ මෙහෙම කරන්න එපා කියලා කෑ ගහලා කියන්නවත් ඔවුන්ට ශක්තියක් නැහැ. මිනිසුන් ලෙස එවැනි අසරණ සතුන් මරා දැමීම ගැන ලජ්ජා විය යුතුයි. මහජනයාට කරදරයක් නොවන ලෙස ඔවුන්ව රැක ගත හැකි ක්‍රම ඕනතරම් තිබෙනවා.”
4 (1)
 
අතට හසුවෙන දෙයක් කා ජීවිතේ ගැට ගසා ගන්නට වෙර දරන වීදි සුනඛයන් දෛනිකව මුහුණ දෙන දහසකුත් හිරිහැර නිමක් නැත.දුටු සැණින් සිත් ඇදගන්නා ප්‍රිය මනාප පෙනුමවත් උරුම කර ගැනීමට පින් නොකළ මේ අසරණයන් හදා වඩා ගැනීමට බහුතර අපේ සිත් නොදෙන්නේ පිරිපුන් රූපයට නොසෑහෙන ලෙස ඇතුළත හිස් නිසා වන්නට ඇත.
 
එහෙත් භාග්‍යයකට මෙන් මනුසත් බවින් ඇතුළාන්තය පිරි මෙවන් මිනිසුන් මිහිමත වෙසෙනතාක්කල් ඔවුන්ගේ ඉරණම එතරම්ම අවසනාවන්ත නැත.
 
මෙවැනි උතුම් උද්ඝෝෂකයන්ට බොස්ටන් ලංකා ඉඩ හසර විවර වන්නේ නිතැතිනි. දිවයිනේ කුමන හෝ කෙළවරක මෙැනි සද් ක්‍රියාවක් සිදු වන්නේනම් bostonlankanew@gmail.com   හරා  ඒ අපිළිබද අපව දැනුවත් කරන්න අමතක කරන්න එපා.
 
විශේෂ ස්තුතිය – ඡායාරූප සහ සම්බන්ධීකරණයෙන් සහය වූ විනෝද් ඛන්නා සොහොයුරාට

ආදරය අල හොද්දකි…. Sex බොකුටු හැන්දකි…

Damith Wilegoda 

ලංකාවේ උයන් වතු පෙම්වතුන් ට තහනම්ය, අත්පටලා උයන් වතුවල ඇවිදයාම තහනම්ය, හාදු දීම කිසිසේත්ම තහනම්ය..

ආදරය අපේ රටේ හරිම අමුතු මාතෘකාවකි.ආදරය යන වදනය ඇසූ සැනින් අපේ හිතට එන්නේ වරදකාරී හැඟීමකි.ගෑණු පිරිමි හැඟීමකි.

මාතෘ ස්නේහනයක්, දාරක ප්‍රේමයක් අපිට ආදරය කියන වචනය ඇතුලේ දැනෙන්නේම නැත.දැනෙන්නේම ස්ත්‍රී පුරුෂ හැඟීමක් පමණි .ඊට ඔබේත් මගේත් වැරැද්දක් නොමැත.ඒ අපේ කොදෙව්වේ සිතිවිලි රටාවේ වැරැද්දකි.
 

ප්‍රේමයේ ප්‍රභේද ගොඩක් ඇත.මාතෘ දාරක පීතෘ නැදිමලයන් ආදී අනේක විධ ප්‍රේමයේ ප්‍රබේධ ඇතත් සුලබ මාතෘකාවක් වන නව යොවුන් ආදරය ගැන සංවාද කලයුතු කාලයක් එළඹ ඇත.

ඉස්සරනම් ගමේ ගෑණු පිරිමි හවහට ගංතොටේ පැන්තොටේ හමුවිය.ගම්මඩුවේ දෙවොල්මඩුවේ හමුවිය.යන එන මග තොටේ හමුවිය.
හමුවූවාට වඩා හමුවීමේ අවස්ථා සුලබ විය. ඉන්පසු හතර වරිගේ කැමති නම් කැන්දාගෙන ගියාය.නැතිනම් උන් උන් ගේ මනාපෙට හඳපානේ ගියාය.දැනට වඩා නව යොවුන් ආදරය ගැන සංස්කෘතිකමය ලිහිල් ප්‍රතිපත්තියක් ආදරය සම්බන්ධයෙන් තිබූ බව අපට සිතෙන්නේ ඒකාලේ වැඩිහිටියන්ගේ කියුම් කෙරුවා කතා අහද්දී⁣ය.
ආදරය ⁣යනු පරිත්‍යාගයකි.නමුත් වර්තමානයේ ආදරය පරත්‍යාග කර නැවත පෙරලා ආදරය බලා පොරොත්තු වෙයි.ආපසු නොලැබුන විට මිනීමැරුමකින් වුව කෙලවර වන තත්ත්වයක් දක්නට ඇත.ඒ ආදරයද ආත්මාර්ථය ද යන්න මනසින් විමසීම නුඹලා ට බාර දෙමි.පසුගිය කාලයේ ආදරය නිසා මිනීමරා ගැනීම් කීයක් අප දුටුවාද?විශේෂයෙන් ඒ අතර හමුදා හා පොලිසියේ උන්නාන්සේලා සිටීම කණගාටුවට කරුණකි.
මාහට හිතෙන පරිදි ආදරය යනු අල හොද්දකි.ලිංගිකත්වය යනු බොකුටු හැන්දකි.අල හොද්ද පහසුවෙන් බෙදාගැනීමට බොකුටු හැන්ද මහෝපකාරී වෙයි.
ඉතිං ආදරයෙන් බැඳෙන නව යොවුන් පෙම්වතුන් ගැන විශේෂයෙන් නව යොවුන් පෙම්වතුන් ගැන ඔබ නානාප්‍රකාර මත දරනවා වෙන්නට පුළුවන.”අපේ කාලෙනම් ඔහොම උනේ නෑ අපේ හාමුදුරුවනේ “කියනා සුදනංගේ හදවතට තට්ටුවක් දැම්මොත් හංඟාගත් ආදර සිතුවිලි කොතෙකුත් ප්‍රමාණයක් දෝරේ ගලයිද?නව යොවුන් වියේ ⁣කිරීමට ඇති දේවල් වයසට ගිහින් කරනවිට සමාජයෙන් ගුටි කන්නට සිදුවේ.
ලංකාවේ උයන් වතු පෙම්වතුන් ට තහනම්ය.අත්පටලා උයන් වතුවල ඇවිදයාම තහනම්ය . හාදු දීම කිසිසේත්ම තහනම්ය.උයන් පල්ලන් හා පොලිස් කාරයෝ එසේ කරනා පෙම්වතුන් කුදලාගෙන ගොස් දෙමාපියන් කැඳවා කසාද බන්දා දෙති.ප්‍රේමයේ කෙලවර කසාදය නොවේ.පොලීසියේ සංස්කෘතික කොට්ඨාසය ඇත්තේ පෙම්වතුන් අල්ලා හිරේ දැමීමට ය.බරපතලම කාරණාව මතුවන්නේ දැන්ය.පෙම්වතුන් නිතරම හුදකලාව හා නිදහස සොයයි.
 
උයනක මගතොටේ ප්‍රේමය තහනම් වනවිට පෙම්වතුන් තම හුදකලාව තීව්‍ර කරගැනීම උදෙසා තෝරාගන්නා අකාරයන් බරපතල සමාජ ප්‍රශ්නයක් බවට පත්ව ඇත.රුපියල් දෙතුන්සීයට කාමර කුලියට දෙන තැං එමට ඇත.සල්ලි කාර ඇත්තන් සමාජ ශාලාවකට හෝ යනු ඇත.ඈත පිටිසර කොල්ලන් කෙල්ලන් පඳුරු බඩවැටි ගානේ රිංගනවා ඇත.එතනදීද පොලිසිය විසිං කුදලාගෙන යන්නේ අර පඳුරු ගානේ රිංගන එවුන් හා දෙතුන්සීයේ කාමර වලට යන වුන් පමණි.
 
සමාජශාලා කාමර හෝ පඳුරු ගානේ සැඟවී පෙම්කෙලින විට ඒ පෙම් කෙලිය රති කෙලියක් දක්වා දුරදිග යාමේ හැකියාව වැඩිය.එවිට මා පෙර සඳහන් කල ආදරයේ අල හොද්ද හොඳටම බොර වෙයි.සමාජ ශාලා හෝ සුවපහසු කාමර වලට කවදාවත් පොලිසියෙන් පනින්නේ නැත.මන්ද මුදල් ඉදිරියේ පොලිසියේ උන්නාන්සේලා නීතිය කණේ වැලි ගෑවෙන්න නවන බැවිනි.
නිශ්ශබ්දතාවය
දෑත බිම ඔබා,
පස්සට වාරුවී
නිසලව හුන්
ඇගේ ලිහිල් කෙස් රොදක්,
නිහඬව හමන සුළඟින් එසවී,
මා මුහුණෙහි හැපෙත්ම,
ඇගේ රන්වන් මුහුණ දෙස බැලූ මම
ඇසීමට දිගු කලක් පුළ පුළා සිටි
කිසිවක් ඇසීමට සිතීමි.
මසකු හඬ නඟා දැඟලූයෙන්,
ගං ඉවුර අස පන් ගසින් යුත්
නොගැඹුරු බොර දිය කැළඹිණ.
ඈත ඉවුරෙහි උසට වැඩුණු
මහ උණ පඳුරින් අහසට නැඟුණු
කොබෙයියෙක් කෑගාගෙන
පියාඹා ගියේය.
ඉක්බිතිව මහා නිශ්ශබ්දතාවයක් පැතිරිණ.
ඇගේ රන්වන් දිගටි මුහුණ දෙස බැලූ මම
ඇසීමට දිගු කලක් පුළ පුළා සිටි කිසිවක් ඇසීමට යළික් සිතිමි. නිශ්ශබ්දතාවය දැඩි විය.
පෙදෙස වසාගෙන පැතිරුණු
නිහඬ බැවින් මිරිකුණු මම
ඇයගේ රන්වන්, දිගටි,
නිසල මුහුණ දෙස බලා කරබා ගතිමි.
[පලිගැනීම- 1946 /ජී බී සේනානායක]
හදවත තුල මිරිකෙන හදවත රිදුම් දෙන හදවත තුල සියුම් වේදනා හටගන්නා ගැඹුරුම ආදරය නම් මෙයයි.ආදරයේ පරත්‍යාගය යනු මෙයයි.ආදරයේ තිගැස්ම මෙයයි.හිරගෙවල් හතක දැම්මත් පෝරක හතක එල්ලා මරා දැමිමට හැදුවත් ප්‍රෙමය අමරණීයය.
ඉතිං මහත්වරුනි පෙම්වතුන් නිදහසේ ප්‍රේමයේ උත්කර්ෂය විඳීනම්,අත්පටලා ගං දෑලවල උයන් තීරවල මුහුදු වෙරළේ ඇවිදයා නම් ⁣කෙතරම් සෞන්දර්යාත්මක දැයි මෙහොතක් හිතන්න.
ඉතින් උයන් පල්ලනි,පොලිස් කාරයිනි සංස්කෘතිය ද පරිනාමණය වෙයි.මිනිසා ද පරිනාමණය වෙයි.
 
සංස්කෘතිය පරිනාමණය වන විට update වීමට නොහැකි තැනත්තා ඇවිදින මළ කඳකි.ආදරයේ අලහොද්ද බොර කර ඇත්තේ සංස්කෘතික පොලිස් කාරයන්ය.පරිනාමණය නොවූ මානව සෙවණැලි ය.පෙම්වතුන් ට ආදරයේ අල හොද්ද අල පොඩි කර ගන්නේ නැතිව බොකුටු හැන්දෙන් අල බෙදාගන්නට ඉඩ හරිමු.එවිට ඔවුන් හොද්ද ඇඟේ හලා නොගන්නවා ඇත.
නැවත මෙසේ කියමි….. ආදරය අල හොද්දකි…. Sex යනු බොකුටු හැන්දකි…
Damith Wilegoda – damithwilegoda@gmail.com

මැරිච්ච මිනිස්සුන්ගෙත් සල්ලි හොයන මිනී කාක්කෝ

නදීෂ නිර්මාණ හේරත්

අමාවක වුනත් කොළඔ අහස පහල ලස්සන විදුලි බුබුලු දැල්විලා තිබුනා.මේ කතාවට පාදක වෙන්නේ අද සමාජයේ පවතින එක්තරා ශොකාන්තයක් අතර බඩ වඩා ගන්නා අධම මිනිසුන්ගේ ක්‍රියාවලියක්.

රාත්‍රිය මැදියම් වත්ම එහි නිහඬතාවය වැඩි වෙමින් තිබුනා.නගරයේ මැදින් වූ කුඩා මාර්ගය අතර තිබුනු කනත්ත අසල වූ මාර ගස අසල මං ආපු ත්‍රීවිල් එක නැවත්තුවට පස්සේ මං කලේ හරි වෙලාව වෙනකන් කනත්ත ට දුරින් වූ කෙටි මාර්ගය අසල බලා ඉන්න එක.ඒ මොහොත ලං වුනා.කුඩා ලොරියක් කනත්ත අසල නතරකල අතර එහි තාප්පයෙන් පැනගත් එක් අයෙක් අනෙකාව එගොඩ කලා.අනතුරුව ඔවුන් ට සවල් උදලු ආදිය ලබා දුන්නේ පල්ලෙහා හිටිය තුන්දෙනයි.දැන් මේ හැමෝම කනත්තෙ.මෙතරම් රෑ බෝ වී ඔවුන් සිදුකරන්නේ කුමක්ද? ඔවුන්ගේ වෑයම කුමක්ද යන ප්‍රශ්නාර්ථ ය ඔබටත් ඇති.


මිනී කාක්කෝ එහෙම නැත්නම් අවමංගල්‍යය අධ්‍යක්ෂකවරයන් ගැන ලංකාව ඇතුලෙ ලොකු කතාබහක් නොමැති වුනත් බාබර් සාප්පු නැතිවී සැලෝන් ඇතිවනවා මෙන් මිනීපෙට්ටි සාප්පු ද වර්ධනය වී ඇත.තමන්ගේ මව පියා,සැමියා,බිරිද,ඥාතියා ගේ අවමංගල්‍යය මැනවින් ඉටු කරගැනීම සදහා අවමංගල්‍යය අධ්‍යක්ෂකවරයෙකුට භාර දීම අද වන විට සාමාන්‍ය පාන්තිකයෙකු පවා පෙළඹෙන කාර්යයකි.රේමන්ලා ගේ කර්තව්‍යය අතිශය අනර්ඝ ලෙස වටිනා දැවමය පෙට්ටියක මල සිරුර සතපවා මිහිදන් කිරීමය.⁣එහෙත් ගමේ මිනී පෙට්ටි කාරයා නම් සාමාන්‍ය දැවයෙන් නිමකල පෙට්ටිවල මලකද බහාලයි.ඒ අනුව අවමංගල්‍යය ද එකින් එක පන්තියේ වත්පොහොසත්කම් අනුව බෙදී පවතී.


මීනි පෙට්ටි සැල් වල අරමුණු වඩාත් හොදින් ඉටු වුනේ පහුගිය යුධ සමයේදීය.පෙට්ටි ගාන කීයද? පෙටිටි වැඩි කල යුතු ප්‍රදේශය කුමක්දැයි දැනගැනීමට ඔවුන් දිනපතා පුවත්පත් නැරඹූහ.එහිදී පෙට්ටිය හදන ලීය කුමක්ද යන්න ඔවුනට වැදගත් නොවුනු අවස්ථාව ද නැතුවාක් නොවේ.ධනපති සමාජයන්හි මිනිසුන් ට නම් අත්‍යවශ්‍ය වන්නේ එකී අවමංගල්‍යය උත්සවය ජයටම සිදුකිරීමය.එවන් අවස්ථාව මෙන්ම ප්‍රභූ පන්තියේ දේශපාලඥයන් ගේ අවමංගල්‍යය තුලින්ද අවමංගල්‍යය අධ්‍යක්ෂකවරයන් ද ලොකු ඉපයීමක් කරයි.


අවමංගල්‍යය අධ්‍යක්ෂකවරයන් ඉතා ප්‍රායෝගකාරී අකාරයට තම අලෙවි කටයුතු සිදුකරයි.රෝහල් අසල සිටින ත්‍රීරෝද රථ රියැදුරන් ට ගානක් දී රෝහලට එන අසාධ්‍ය රෝගීන් ගේ තත්වය ගැන ඇහැගහගෙන සිටින ලෙස පවසන ඔවුහු හට රෝගියා අසාධ්‍ය  වී මිය යන අවස්ථාවකදී අදාල අවමංගල්‍යය ආයතනය සම්බන්ධ කරවීමට ඔවුන් වග බලා ගනී.මිය ගිය මොහොතකදී පවා ලග සිටින්නට තරම් තම ජාලය සවිමත් කරගැනීමට ඔවුන් උපක්‍රමශීලීය.

එමෙන්ම ඇතැම් විටවටිනා පෙට්ටියක වල දමන මලසිරුරු එදිනම රාත්‍රියේ ගොඩ දමන ඔවුන් එහි පෙට්ටිය පමණක් නොව වටිනා ආභරණ ආදිය ද එහි තැම්පත් කර ඇතැනම් ඒවාද ගෙන නැවත එම වල තිබුනු ආකාරයට ම සැකසීමට වග බලා ගනී.ජීවත්ව සිටින අපට වඩා මිය ගිය මිනිසුන් ගෙන් මුදල් හොයන මිනී කාක්කන් ගේ ගොදුරක් වන වුන් ට එය සදාකල් රහසක් වන නිසා මෙම ජාවාරම කිසිදු බාධාවක් නැතිව කරගෙන යාමම තවත් ඛේදාන්තයක්ම වන්නේය.

කොළඹ පොෂ්ද???

By Sanka Rambukwella

” මචං කොළඹ සමාජ තත්ත්වය අනූව තමයි කෙනෙක් පොෂ් ද නැද්ද කියලා කියන්නේ.

සමහරවිට සමාජ තත්ත්වය තීරණය කරන්නේ එක පරම්පරාවකින් නෙවෙයි.පරම්පරා කීපයක් ආපස්සට බලනවා,

උඹට උදාහරණයක් විදිහට මම මෙහෙම කියන්නම්…හිතපන් මම දැන් රෝයල් එකට යනවා,ඊට පස්සේ අපේ අම්මයි තාත්තයි ඉස්කෝලේ ගියේ කොහෙද බලනවා,ඊටත් පස්සේ සමහර විට ආච්චී සීයයි ඉස්කෝලේ ගියේ කොහෙදත් බලනවා” කියලා කොළඹ පොෂ් ජීවිත ගැන මගේ යාළුවෙක් මේ ළඟදි දවසක මට කියාගෙන කියාගෙන යනවා.

එහෙම පරම්පරා ගාණක් ගැන සැලකිල්ලක් දක්වලාලු කොළඹ පොෂ් මට්ටමේ මිනිස්සු නිර්මාණය වෙන්නේ කියලා ඔහු කියද්දී කවදාවත් මම පොෂ් පොරක් නම් වෙන්න වෙන්නේ නෑ කියලා මට හිතුණා…..මට නෙවෙයි මගේ ළමයෙක්ට වත් පොෂ් පෝරක් වෙන්න බෑ කොළඹ.

මොකද පොඩි එකාව මම කොළඹ ලොකු ඉස්කෝලෙකට දැම්මත් මම ගියේ ගමේ ඉස්කෝලෙට ! ඉතින් පොඩි එකා එතනම ඩවුන් !

කෙනෙක්ට කොළඹ ගැන පැහැදිලි චිත්‍රයක් ගන්න ඕනනම් ඒ මනුස්සයාට ගොඩ වදින්න සුදුසුම තැන තමයි කොළඹ කො‍ටුව ගුණසිංහ පුර බස් ස්ටෑන්ඩ් එක.ඔබට උදේ පාන්දර දෙකට තුනට ගුණසිංහපුර බස් ස්ටෑන්ඩ් එකට යන්න පුළුවන්නම් එක්දහස් නවසිය පනස් ගණන්වල කළුසුදු චිත්‍රපටියක රූපරාමු සජීවීව නරඹන්න පුළුවන්.

බස් ස්ටෑන්ඩ් එකට ඇතුල්වෙන තැනින් පටන්ගත්තම අවසාන වෙන තැන දක්වා සියලුම හෝල්ට් යට ගැහැණු පිරිමි බේදයකින් තොරව මිනිස්සු තැන තැන වැටිලා නිදි.මහවැස්ස වැටිලා හෝල්ට් එකේ වතුර හෝ ගාලා ගැලුවත් ඒ ජීවිත ඒ නින්දෙන් ඇහැරෙන පාටක් පේන්න නැති නිසා මම සමහර මිනිස්සුන්ගේ ඇඟට උඩින් පැනලා වගේම සමහර මිනිස්සු මඟහැරලා නිල් පාටටට එකට එකතු කරලා තිබුණ පු‍ටු පේලියේ මැද පු‍ටුවක වාඩි වුණා.

එහෙම වාඩි වුණ මට කෙලින්ම පේන්නේ ඉලෙක්ට්‍රෝනික් විදිහට රී ලෝඩ් දාන ජංගම උපකරණය.ඊට එහාපැත්තෙන් ඕස්ට්‍රේලියාවේ ඇපල්,දොඩම් විකුණන ජංගම වෙළඳ සැල.

එකකට එකක් බැඳුණ එහෙත් එකකට එකක් නොගැලපෙන දේ සෑහෙන්න තියෙන බස් ස්ටෑන්ඩ් එකේ වම් පැත්තෙන් “රූං” ගාලා ආව රූං පෙත්තක් මගේ කකුල් දෙක ගාව වැ‍ටුණා.

මම ඒක අහිදින්න නැමෙනකොටම කලිසමක් වත් නැති පොඩි එකෙක් දුවගෙන ඇවිල්ලා ඒ රූං පෙත්ත අහුලගෙන ගියා…..

ඊට විනාඩියකින් දෙකකින් ආයෙත් මේ කොල්ලා දුවගෙන ඇවිල්ලා රූං පෙත්ත අහුලගෙන යනවා.

දිගින් දිගටම මේ දේ වෙන නිසා වෙන්නේ මොකක්ද කියලා බැලුව මට හෝල්ට් ඒකේ අයිනට වෙන්න ඉන්න තාවකාලික පවුලක් දැක්කා. ඒ පුංචිම පුංචි හෝල්ට් මුල්ලේ පුංචි එවුන් දෙන්නෙක් තර‍ඟෙට රූං පෙති යවනවා.

පොඩි උන් දෙන්නා යවන රූං පෙති සමහර වෙලාවට ඈතින් ඈතටම යනවා. තවත් ඒවා එහෙ මෙහෙ ඇවිදින මිනිස්සුන්ගේ ඇඟේ වැදිලා බිම වැටෙනවා.ඒත් ඒ පොඩි උන් දෙන්නාට වගේ වගක්වත් නැතිව රූං පෙත්ත ගොඩක් දුර ගියාම පෙන්නන හිනාවම රූං පෙත්ත එකම තැන බිම වැටෙනකොටත් පෙන්නනවා.

ඔබට අහන්න පුළුවන් රූං පෙත්තකින් කරන්න පුළුවන් මළ ඉලව්ව මොකක්ද කියලා.රූං පෙත්තකින් ඒ පොඩි උන් දෙන්නට පොෂ් වෙන්න බෑ..

රූං පෙත්තක් යවපු ජීවිතයකට කවදාවත් කොළඹ ලොකු ඉස්කෝලෙකට යන්න බැරි වෙයි,කිසිම අවස්ථාවක තමන්ගේ නිකැලැල් පරම්පරාවක් පිළිබඳව අදහසක්  අරන් පෙන්නන්න කවදාවත්ම බැරිවේවී.

ඒත් ගොඩක් අමාරුවෙන් පෙන්නන්න හදන පොෂ් ජීවිතයකට වඩා ඒ මොහොතේ ලැබෙන සතුට ගැන ලොකු පාඩමක් බස් හෝල්ට් එකේ මුල්ලකට වෙලා ඒ පුංචි උන් දෙන්නා ඉගෙනගනීවී.

sanka 2

ජීවිතේ සතුට තියෙන්නේ සල්ලිවලවල ,සමාජ තත්ත්වයේ කියලා ගොඩක් දෙනා හිතුවට ඇත්තම සතුට තියෙන්නේ, සතු‍ටුවෙන්න ලැබෙන අවස්ථාව යොදාගන්න විදිහෙන් කියලා පොඩි උන් දෙන්නගෙන් පාඩමක් ඉගෙන ගන්න ගමන් මම 190 බස් එක ගන්න පු‍ටුවෙන් නැගිටලා පාවෙන වෙළඳ සංකීර්ණය පැත්තට යන්න ගියා…….

 

සංඛ රඹුක්වැල්ල

(Sanka Rambukwella: m_sankarambukwella@yahoo.com )