නව විදේශ ලේකම් ප්‍රසාද් කාරියවසම්

අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති  ප්‍රසාද් කාරියවසම් මහතා නව විදේශ ලේකම්වරයා ලෙස ජනාධිපති විසින් (29) දින පත් කර ඇති බව වාර්තා වෙයි.

මේ අතර හිටපු විදෙස් ලේකම් වන ඇසළ විරකෝන් මහතා සංචාරක ප්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත් කර තිබේ.

වසරකට ආසන්න කාලයක් ඉන්දියාවේ නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස කටයුතු කළ ඇසළ වීරකෝන් මහතා මෙරට තානාපති සේවයේ නිරතව සිටින ජ්‍යේෂ්ඨතම නිලධාරියෙකු වේ.

1988 වසරේදී විදේශ සේවයට එක්ව ඇති ඇසළ වීරකෝන් මහතා මීට පෙර කැනඩාවේ ශ්‍රී  ලංකා මහ කොමසාරිස් ධූරය ඇතුළු විදේශ රටවල් රැසක සේවය කර තිබේ.

අර්ජුන්ගේ ලැප්ටොප්, ජංගම දුරකථන, ටැබ්ලට්, පරිගණක ලබා දෙන ලෙස නියෝග

ආන්දෝලනයට තුඩුදුන් බැඳුම්කර ගනුදෙනුවට අදාළව සිදුකරන පරීක්ෂණ සඳහා අර්ජුන් ඇලෝසියස් මහතා විසින් භාවිතා කළ ලැප්ටොප්, ජංගම දුරකථන, ටැබ්ලට්, පරිගණක ඇතුළු සන්නිවේදන උපකරණ විමර්ශන නිලධාරීන්ට බාරදෙන ලෙස භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් නියෝග කර තිබේ.

අදාළ විමර්ශන කොමිෂන් සභාව හමුවේ අද (24) දිනයේ ලබාදුන් සාක්ෂි අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මෙම උපකරණ ලබාදෙන ලෙස නියෝග කෙරුණු බව අද දෙරණ වාර්තාකරු පවසයි.

සෝමපාල රත්නායක

ප්‍රවීණ සංගීත නිර්මාණ ශිල්පියක් වන සෝමපාල රත්නායක අද(18) අභාවප්‍රාප්ත වී තිබේ. මිය යනවිට ඔහු  69 වැනි වියේ පසුවිය.

හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක්  හේතුවෙන් ඊයේ(17) කොළඹ ජාතික රෝහලට ඇතුළු කිරීමෙන් පසුව හෙතෙම අද(18) අලුයම මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත. ඔහුගේ දේහය වත්තල, උස්වැටකෙයියාව පිහිටි නිවසේ තැන්පත් කර ඇත.

සංගීත නිර්මාණ ශිල්පි සෝමපාල රත්නායක ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායකගේ සොහොයුරෙක්ද වේ.

හන්තානේ කතාව, හඳයා. දුටුගැමුණු කාටුන් චිත්‍රපටය සහ උතුමාණනී, සාගරයක් මැද, කොටි වළිගය, නොමියෙන මිනිස්සු මෙන්ම අන්තිම රැය ඔහුගේ සංගීත අධ්‍යක්ෂණය කරන ලද  චිත්‍රපට කිහිපයකි.

අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිට රට යන්න අවසර

අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාට විදෙස්ගත වීම සඳහා අවසර ලබා දී තිබේ.

කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් අදාළ අවසරය ලබාදී ඇති අතර එය සති 8ක කාලයක් සඳහා බව වාර්තා වෙයි.

කොළඹ ප්‍රෙද්ශයේ මුස්ලිම් කඩ ගිනි තැබූ අයට වැඩ වරදී

කොළඹ ප්‍රෙද්ශයේ මුස්ලිම් කඩ 4ක් ගිනි තැබීමේ සැකකරු වශයෙන් හදුනා ගත් පුද්ගලයෙකු  අද දින නුගේගොඩ, මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාල කඩසාප්පුවල තිබූ සීසී ටී.වී කැමරා දර්ශන ආධාරයෙන් සැකකරු හදුනා ගැනීමට පොලිසිය සමත්ව ඇත.  බොදු බලසේනා   මගින් පවත්වන ලද රැස්වීම් කිහිපයකටම සහභාගී වී ලද මානසික විපර්යාසය මුල්කොටගෙන ඔහු විසින් හොර රහසේ තනිව මෙම ගිනි තැබීම් කර ඇති බව වාර්තා වේ

 බස්නාහිර පළාත් දකුණ, නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ මහතා, නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප්‍රසාද් රණසිංහ මහතා යන නිළධාරීන්ගේ මෙහෙයුම යටතේ  මූලස්ස්ථාන පොලිස්පරීක්ෂක විජේවර්ධන සහ මූලස්ස්ථාන පොලිස්පරීක්ෂක  ජයවර්ධන ඇතුළු නිළධාරීන් විසින් මොහුව අත්අඩංගුවට ගෙන ඇත. 

විපතට පත් ජනතාවට ඇමරිකාවෙන් මිලියන 350ක ආධාර

ආපදා වලින් විපතටපත් ජනතාව සඳහා සහන සැලසීම සඳහා රුපියල් මිලියන තුන්සිය පනහක අධාර ලබාදෙන බව අමරිකානු තානාපති අතුල් කේෂප් මහතා පවසයි.
(3) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවෙමින් අමරිකානු තානාපතිවරයා මේ බව පවසා තිබේ.

ගංඟා කිහිපයක ජල මට්ටම් පහල බැස යයි – නමුත් ජනතාව අවදානයෙන් පසුවන්න

ගංඟා කිහිපයක ජල මට්ටම් මේ වන විට අඩු වෙමින් පවතින බව වාර්මාර්ග අධ්‍යක්ෂිකා ජානකී මීගස්තැන්න මහත්මිය පවසයි.
මේ අතර අද (29) දිනයේ පළාත් කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා කියා සිටියේය.
ගංඟාවල ජල මට්ටම් අඩු වුවද අවදානම් ප්‍රදේශවල සිටින ජනතාව අවදානයෙන් පසුවිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය  අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

රට වටා ජල ගැලීම් හා විපත් – තොරතුරු යාවත්කාලීන වෙමින් පවතී

අයහපත් කාලගුණය හා හදිසි ආපදා තත්ත්වයන් හේතුවෙන් දකුණු පළාතේ පාසල් පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් උදාවී ඇත්නම් ඒවා වසා දැමීමට ක්‍රියා කිරීම සඳහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට උපදෙස් ලබාදී ඇති බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්‍ර මහතා පවසයි.

ඒ ඒ අධ්‍යාපන කලාපවල තත්ත්වයන් කෙරෙහි සැලකිල්ල දක්වා ගත යුතු ක්‍රියා මාර්ග ඔවුන් විසින් ගනු ඇති බව පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.

පෙ.ව 06.47 – ගිං ගඟ පිටාර ගැලීමත් සමග ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, තවලම, නාගොඩ, වැලිවිටිය, දිවිතුර යන ප්‍රදේශවල ජල ගැලීම් තත්ත්වයක් හටගෙන තිබේ. නිල්වලා ගඟ අවට පහත්බිම් වල සිටින ජනයා අවධානයෙන් සිටිය යුතු බවත්, කොක්දූව,මාලිම්බඩ, අකුරැස්ස,පිටබැද්දර, ඌරාව,පානදුගම ප්‍රදේශවල ජනයා ඉවත්විය යුතුව ඇති බවත් දිස්ත්‍රික් ලේකම්වරයා විසින් නිවේදනය කර ඇත.  කැලණි ගඟ පිටාර මට්ටමට පැමිණ ඇති අතර කඩුවෙල, කොටිකාවත්ත, කැලණිය, කැලණි මුල්ල, කොළොන්නාව, දොම්පෙ, හංවැල්ල, පාදුක්ක ,අවිස්සාවේල්ල ජනයා අවධානයෙන් සිටිය යුතු බව දැනුම්දීම.

(පෙ.ව 8.09) සබරගමු පළාතේ සියලුම පාසල් වසා දැමීමට තීරණය කර ඇත.

(පෙ.ව. 08.15) අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනයා මුදව‍ා ගැනීමට හා ඔවුන්ට සහයවීමට ත්‍රිවිධ හමුදා භට පිරිස් යොදවා තිබේ. නෙළුව, මොරවක, කඹුරුපිටිය යන ප්‍රදේශවලට ඩිංගි බෝට්ටු 04ක් යොදවා ඇති අතර මාතර දිස්ත්‍රික්කය සඳහා ඩිංගි බෝට්ටුවක් ද කළුතර, කලවාන ප්‍රදේශය සඳහා ඩිංගි බෝට්ටු 02ක් ද යොදවා ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.
ගුවන් හමුදාව විසින්  සහන සැලසීම සඳහා බෙල් 212 සහ එම්.අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා දෙකක් යොදවා ඇත.

(පෙ.ව 8.42) බෙලිඅත්ත-කහවත්ත ප්‍ර දේශයේ ජල පහරකට හසුවීමෙන් පුද්ගලයෙකු අතුරුදහන් වී තිබේ.

බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන රක්ෂිත බන්ධනාගාරයට

අත්අඩංගුවට ගත් බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන මහතා මැයි 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.

ඒ, ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත්  D.A.රුවන්පතිරණ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

පිරිසිදු පානීය ජලය ඉල්ලා රතුපස්වල ප්‍රදේශවාසීන් සිදුකළ උද්ඝෝෂණයට වෙඩි තැබීමට අණ දුන් බව කියන බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන මහතා රහස් පොලීසිය විසින් අද අත්අඩංගුවට ගත්තේය.

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා රහස් පොලීසියට පැමිණි අවස්ථාවේදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසා සිටී.

පිරිසිදු පානීය ජලය ඉල්ලා රතුපස්වල ප්‍රදේශවාසීන් සිදුකළ උද්ඝෝෂණයට වෙඩි තැබීමට අණ දුන් බව කියන බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන මහතා රහස් පොලීසිය විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.

2013 වසරේ අගෝස්තු මස පළමුවනදා වැලිවේරිය නගරයේදී රතුපස්වල ප්‍රදේශවාසීන් සිදුකළ මෙම උද්ඝෝෂණයට වෙඩි තැබීමේ සිද්ධියෙන් පුද්ගලයින් තුන් දෙනෙකු මියගිය අතර තවත් පිරිසක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබීය.

එජාප මැති ඇමතිවරුන් විශේෂ සාකච්ඡාවකට අරලිය ගහ මැදුරට

එක්සත් ජාතික පක්ෂයේ සියලුම මැති ඇමතිවරුන් අද(21) රාත්‍රී 9ට විශේෂ සාකච්ඡාවක් සඳහා අරලිය ගහ මන්දිරයට කැඳවා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර මේ වන විට විශේෂ සාකච්ඡාවක් ආරම්භ වී ඇති බව වාර්තා වෙයි.