නීතිවිරෝධී ජංගම දුරකථන ආනයනය වැළැක්වීමට කඩිනම් ක්‍රියාමාර්ග

mobile-phone-shop-01

නීතිවිරෝධී ආකාරයෙන් සිදු කෙරෙන ජංගම දුරකථන ආනයනය වැළැක්වීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

එම ආනයනයන් හේතුවෙන් රටට විශාල බදු ආදායමක් අහිමි වන බවයි ජංගම දුරකථන ආනයනකරුවන් සමග අද (31) මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

නීත්‍යානුකූලව ආනයනය කෙරෙන සියලුම දුරකථනවල IMEI අංක විදුලි සංදේශ නියාමන කොමිසමේ ලියාපදිංචි කෙරෙන අතර දුරකථන අස්ථානගතවීම් හෝ නීතිවිරෝධී ක්‍රියාවන්වලදී එම දුරකථනය හඳුනා ගනු ලබන්නේ මෙම අංකය භාවිතයෙන් බවයි සඳහන් වන්නේ.

එහෙත් නීතිවිරෝධී ලෙස ආනයනය කෙරෙන දුරකථන එවැනි ලියාපදිංචි කිරීමක් සිදු නොකරන බව එහිදී අනාවරණය වී ඇති අතර මීට අමතරව නීත්‍යානුකූලව ආනයනය කරන සියලු ජංගම දුරකථන සෞඛ්‍ය ආරක්ෂිත බවට තහවුරු කිරීමක් සිදු කෙරුණ ද නීතිවිරෝධී ආනයනයන්වලදී එවන්නක් ද සිදු නොවන බවද අනාවරණය වී තිබෙනවා.

ලබන සඳුදා වනවිට මේ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙසත් නීතිවිරෝධී ආනයනයන් වැළැක්වීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද අමාත්‍යවරයා වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා.