එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පතට (VAT) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) අනුමැතිය හිමිව තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ කමිටු වාරයේදී, ඇතැම් කොන්දේසිවලට යටත්ව මෙම අනුමැතිය ලබා දී ඇත.
මෙම රැස්වීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන් වන කෞෂල්‍යා ආරියරත්න, නිශාන්ත ජයවීර සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා යන මහත්ම මහත්මීන් සහභාගී වූ අතර, මන්ත්‍රීවරුන් වන විජේසිරි බස්නායක, නීතීඥ චිත්‍රාල් ප්‍රනාන්දු සහ නිමල් පලිහේන යන මහත්වරු මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ සම්බන්ධ වූහ.
2002 අංක 14 දරන වැට් බදු පනත සංශෝධනය කිරීමේදී නිර්වාසික සැපයුම්කරුවන් විසින් ඩිජිටල් වේදිකා හරහා සපයනු ලබන සේවා සඳහා බදු පැනවීම කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු විය.
දේශීය හා විදේශීය වශයෙන් ලියාපදිංචි වී මෙරට ක්‍රියාත්මක වන ප්‍රවාහන සේවා (Ride-sharing) සමාගම් දෙකක් සංසන්දනය කරමින් කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේ, බදු සංශෝධනයෙන් පසුවද දේශීය හා විදේශීය සමාගම් අතර යම් අසමානතාවක් පවතින බවය.
ශ්‍රී ලංකාව මුල් කරගත් ඩිජිටල් ව්‍යවසායකයන්ට ගෝලීය වෙළෙඳපොළ තුළ මෙයින් සිදුවන බලපෑම පිළිබඳවද ඒ මහතා කණගාටුව පළ කළේය. කෙසේ වෙතත්, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් ප්‍රකාශ කළේ මෙම බදු ක්‍රමය ඉන්දියාව සහ පිලිපීනය වැනි රටවල ක්‍රියාත්මක වන ක්‍රමයට සමාන බවය.
වැට් බදු ගෙවීම සඳහා වන පිරිවැටුම් සීමාව කාර්තුවකට රුපියල් මිලියන 15 සිට රුපියල් මිලියන 9 දක්වා අඩු කිරීම හේතුවෙන් අලුතින් ව්‍යාපාර 10,000 ක් පමණ වැට් සඳහා ලියාපදිංචි වනු ඇතැයි නිලධාරීහු අපේක්ෂා කරති.
තොග, සිල්ලර, රූපලාවන්‍ය ඇතුළු කුඩා ව්‍යාපාරවලට POS යන්ත්‍ර (POS machines) ලබාගැනීම වෙනුවෙන් රුපියල් 200,000 ක පමණ අමතර වියදමක් දැරීමට සිදුවීම සහ නීති කඩකිරීම් සඳහා වන දඩ මුදල රුපියල් මිලියනයක් දක්වා ඉහළ දැමීම පිළිබඳව කාරක සභාව ප්‍රශ්න කළේය.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට දඩ නොගසා, මෙම ක්‍රමයට අනුවර්තනය වීමට සහාය දෙන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් සහ මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටි අතර, POS යන්ත්‍ර භාවිතය දිරිගැන්වීමට රජය සලකා බලමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා මෙහිදී සඳහන් කළේය.
මෙම වැට් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අනුමත කිරීමෙන් පසු, ඊට අදාළ රෙගුලාසි සකස් කොට ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථම නැවත වරක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ලබාගත යුතු වේ.
විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ ආහාර ද්‍රව්‍ය ආනයනය සම්බන්ධයෙන් නිකුත් කර තිබූ 2026 මාර්තු 31 දිනැති අංක 2482/09 සහ 2026 මැයි 04 දිනැති 2487/02 දරන ගැසට් නිවේදන සඳහාද කාරක සභාවේ අනුමැතිය හිමි විය.
මෙහිදී 2487/02 ගැසට් නිවේදනය මඟින් බඩ ඉරිඟු සඳහා වන බද්ද රු. 25/- සිට රු. 50/- දක්වා ඉහළ නංවා ඇති අතර, ජනතාවගේ ප්‍රෝටීන් ඌනතාවය සැලකිල්ලට ගෙන, බඩ ඉරිඟු බදු ඉහළ නැංවීම මඟින් කුකුල් මස් සහ බිත්තර මිල කෙරෙහි සිදුවන බලපෑම පිළිබඳව අවධානය යොමු කරන ලෙස කමිටුව නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
මීට අමතරව, 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කළ 2026 මැයි 07 දිනැති අංක 2487/29 දරන ගැසට් පත්‍රයේ රෙගුලාසි සඳහා ද කාරක සභාවේ අනුමැතිය හිමිව ඇත.

