චෙන්නායි සහ UAEහි සිදුවූ මූල්‍ය අක්‍රමිකතා ගැන ශ්‍රීලංකන් කරුණු පහදයි…..

News Iamges.00_00_00_15.Still2544

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ආයතනයකට සිදුකළ මුදල් ගෙවීම සහ සමාගමේ චෙන්නායි කාර්යාලයේ සිදුවූ මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් පළවන වාර්තාවන් ගැන ශ්‍රීලංකන් ගුවන් සමාගම කරුණු පැහැදිලි කිරීමක් සිදුකර ඇත.

නිවේදනයක් නිතුත්කරමින් එම සමාගම අද (16) දන්වා සිටියේ,  ඩුබායි හි පිහිටි සේවා සපයන ආයතනයක නිල ඊමේල් (Email) ගිණුම තෙවන පාර්ශවයක් විසින් වෙනස් කර ඇති බවය.

ඒ හේතුවෙන් එම වංචනික ඊමේල් පණිවිඩ මඟින් ලබාදුන් බැංකු ගිණුම් තොරතුරු මත, තම සමාගම ඩිරාම් 974,000ක මුදලක් එම වැරදි ගිණුමකට ගෙවූ බව එහි දැක්වේ.

කෙසේ නමුත් මෙම වංචාව හඳුනාගත් වහාම එම ගිණුමට තවදුරටත් මුදල් ප්‍රේෂණය කිරීම අත්හිටුවීමට පියවර ගෙන ඇත.

මේ පිළිබඳව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන්ට සහ මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද (CID) පැමිණිලි කර තිබේ.

මෙම ගෙවීම සිදුකර ඇත්තේ නිල අත්සන් සහිතව, නිවැරදි සන්නිවේදන ක්‍රමවේද ඔස්සේ ලැබුණු උපදෙස් මත බවත් සේවා සපයන්නාගේ විද්‍යුත් තැපැල් පද්ධතිය අවභාවිත වීම ශ්‍රීලංකන් සමාගමේ පාලනයෙන් බැහැරව සිදුවූවක් බවත් එහි දැක්වේ.

ඒ හේතුවෙන් ඔවුන්ට මුදල් නොලැබීම සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගම කිසිදු වගකීමක් බාර නොගන්නා අදාළ නිවේදනයේ සඳහන්ය.

එමෙන්ම තම චෙන්නායි කාර්යාලයේ සිදුවූ මූල්‍ය අක්‍රමිකතාව ගැනද මෙම නිවේදනයෙන් පැහැදිලි කිරීමක් සිදුකළ ශ්‍රීලන්කන් ගුවන් සමාගම දන්වා සිටියේ, එහි මුදල් අංශයේ සේවයකළ ඉන්දීය සේවකයින් පිරිසක් අදාළ වංචාව සිදුකර ඇත බවය.

ඔවුන් විසින් ව්‍යාපාරික ඉන්වොයිස් අත්සන් සහ ගෙවීම් තොරතුරු ව්‍යාජ ලෙස වෙනස් කර කාලයක් තිස්සේ ඉන්දීය රුපියල් මිලියන 22ක මුදලක් අවභාවිත කර ඇති බවට අනාවරණය කරගත් බව මෙහි දැක්වේ.

සිදුකළ අභ්‍යන්තර පරීක්ෂණයකදීද සැකකටයුතු ගනුදෙනු කිහිපයක්ම හඳුනාගැනීමට හැකිවූ බවත්, විමර්ශන ආරම්භ කිරීමෙන් පසු අදාළ සේවකයින් සේවයට වාර්තා කිරීම මේ වනවිට මඟ හැර ඇති බවත් නිවේදනයේ සඳහන්ය.

ඒ අනුව මේ පිළිබඳව වහාම ඉන්දීය නීති බලාත්මක කිරීමේ බලධාරීන්ට දැනුම් දුන් බවත්, සිදුවූ මූල්‍ය අලාභය අයකර ගැනීමට සහ නීතිමය පියවර ගැනීමට කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ශ්‍රීලන්කන් ගුවන් සේවය පවසයි.

අවස්ථා දෙකේම පරීක්ෂණ අඛණ්ඩව සිදුවන බවද නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.