ඔස්මන්ගෙන් එළියට ආ තොරතුරු – පද්මේගේ කළු සල්ලිත් සුදු කරලා……

Osman

ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් ඔස්මන් ගුණසේකර හෙවත් ගම්පහ ඔස්මන් නමැත්තාගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වලදී, කෙහෙබද්දර පද්මෙගේ කළු සල්ලි සුදු කිරීම මෙරට තුළ සිට සම්පූර්ණයෙන්ම මෙහෙයවා ඇත්තේ ඔහු විසින් බව අනාවරණ වී ඇත.

අදාළ ඝාතනය සඳහා භාවිත කළ ගිනිඅවිය ලබාදීමේ චෝදනාවට ඔස්මන් ගුණසේකර හෙවත් ගම්පහ ඔස්මන් නැමැත්තා පසුගිය 13වැනිදා කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

ගම්පහ, ශ්‍රී බෝධි පාර ප්‍රදේශයේ නිවසේදි අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබී විදේශ රටක නිෂ්පාදිත රීපීටර් වර්ගයේ ගිනි අවියක්, ජීව පතරොම් 10 ක් හා පතරොම් ගැබ් 02 ක්ද පොලිසිය විසින් සොයා ගැනුණි.

ඒ අනුව සැකකාර ගම්පහ ඔස්මන් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ දිසා අපරාධ කොට්ඨාසය කටයුතු කළේය.

එම කාලය අවසන් වීමෙන් අනතුරුව සැකකරු තවත් දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ දිසා අපරාධ කොට්ඨාසය අද (16) අවසර ලබාගෙන තිබේ.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්නකිරීම්වලදි හෙළි වී ඇත්තේ ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන කෙහෙල්බද්දර පද්මේ සමඟ ඔහු සමීප සබඳතාවක් පවත්වා ඇති බවය.

එමෙන්ම සමාජය හා පොලිසිය නොමඟ යැවිමේ අරමුණින් ඔවුන් දෙදෙනා එක්ව තමන් අතර දැඩි විරසකයක් ඇති බවට කාලයක සිට හඟවා ඇති බවත් පොලිස් විමර්නවලදි අනාවරණ වි ඇත.

මේවන විට විමර්ශන නිලධාරීන් අනාවරණ කර ගෙන ඇත්තේ කෙහෙල්බද්දර පද්මෙගෙන් ගම්පහ ඔස්මන්ට මරණ තර්ජන ඇති බවට පැවසුවද එවැනි කිසිඳු තර්ජනයක් නොතිබූ බවය.

එමෙන්ම පද්මෙගේ ගෝලයින් අවස්ථා කිහිපයකදි ගම්පහ ඔස්මන් ඝාතනය කිරීමට සූදානම්ව සිටියදි පොලිස් අත්අඩංගුවට ගැනුණ ද ඒ සියල්ල රඟපෑම් බව හෙළි වී ඇත.

පද්මෙගේ කළු සල්ලි සුදු කිරීම මෙරට තුළ සිට සම්පුර්ණයෙන්ම මෙහෙයවා ඇත්තේ ගම්පහ ඔස්මන් විසින් බව ද විමර්ශන නිලධාරීන් අනාවරණ කරගෙන ඇත.

සැකකරු ඔහුගේ ව්‍යාපාර හරහා එම කටයුතු සිදු කර ඇති බව ද පොලිසිය පැවසුවේය.

කෙසේ වෙතත් ගනේමුල්ල සංජිව ඝාතනය සම්බන්ධයෙන් කෙහෙල්බද්දර පද්මේගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ ප්‍රශ්න කිරීම්වලදි මොහු පිළිබඳ කිසිවක් අනාවරණ නොවු අතර පසුගියදා අසර්බයිජානයේ සිට මෙරටට රැගෙන ආ බටුවත්තේ චාමරගෙන් සිදු කළ ප්‍රශ්න කිරිම්වලදි සැකකාර ගම්පහ ඔස්මන් පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවණ වී තිබුණි.

ප්‍රධාන වශයෙන්ම ගම්පහ ඔස්මන් විසින් ගනේමුල්ල සංජිව ඝාතනයට භාවිත කළ ගිනි අවිය ලබාදුන් බවට ද එහිදි අනාවරණ විය.

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාගේ සෘජු අධීක්ෂණයෙන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.