ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සමක් ඉදිරිපත් කෙරේ

court-2

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා අන්තර් සමාගම් සේවක සංගමයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ විසින් අද (17) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබෙනවා.

එම පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධානවලින් යුද හමුදාව, පොලීසිය සහ වෙරළාරක්ෂක බළකායට ඕනෑම පුද්ගලයකු සාධාරණ හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමේ බලය ලබාදී තිබෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන පුද්ගල නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඇතුළු මූලික අයිතීන් උල්ලංඝනය වන බවත්, එබැවින් අදාළ පළාත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් එය අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි ඔහු සිය පෙත්සම මඟින් වැඩිදුරටත් ඉල්ලා තිබෙන්නේ.

එහි වග උත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.