ONMAXDT පිරමිඩ වංචාවට සම්බන්ධ තවත් සැකකරුවෙක්ට වරෙන්තු

onmax-court

ONMAXDT (pvt) Ltd යන නමින් වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් නීති විරෝධී ආකාරයේ පිරමීඩ මූල්‍ය ජාවාරමක් සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධව තවත් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විසින් ඊයේ (11) වරෙන්තු නිකුත් කළා.

මෙම මූල්‍ය ජාවාරම සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් ONMAXDT ආයතනයේ අධ්‍යක්ෂකවරුන් 5 දෙනෙකු මේ වනවිට ඇප මත මුදා හැර සිටිනවා.

මෙහිදී රුපියල් කෝටි 3000ක පමණ මූල්‍ය වංචාවක් සිදුව ඇති බවත්, එම මුදල් මගින් සැකකරුවන් හෝටල්, ඉඩම්, වාහන ඇතුළු රුපියල් කෝටි ගණනක් වටිනා දේපළ මිලදීගෙන ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට දැනුම් දුන්නා.

මෙම පිරමීඩ මූල්‍ය වංචාවට පුද්ගලයන් දෙලක්ෂ විසි දහසකට ආසන්න පිරිසක් ගොදුරු වී ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ.

එසේම මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති පරිගණක, දුරකථන ඇතුළු භාණ්ඩ පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය වෙත යොමු කර වාර්තාවක් කැඳවීමටද අධිකරණය අවසර ලබාදුන්නා.