බදු අභියාචනා කාලය වසර 2 සිට මාස 6 දක්වා අඩු කිරීමට අවධානය

tax

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා  වෙත බදු අභියාචනයකට ලබාදී තිබු වසර 2ක කාලසීමාව මාස 6 දක්වා අඩු කිරීමට ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව යෝජනා කර තිබෙනවා.

ඒ අනුව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට අභියාචනා විභාග කිරීම සඳහා පවතින වසර දෙකක කාලය වැඩි බවත් එය මාස හයක් දක්වා අඩු කිරීම යෝග්‍ය බවත් ප්‍රකාශවී ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කොමසාරිස් ජනරාල් වෙත බදු අභියාචනය ලැබුණු පසු ඔහුගේ නියෝගය මාස 6ක් තුළ ලබාදිය යුතු අතර බදුකරු එම තීන්දුව හා එකඟ නොවේ නම් මාසයක් ඇතුළත බදු අභියාචනා කොමිෂන් සභාවට අභියාචනා කළ යුතු බව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව දැනුම්දී තිබෙනවා.

එමෙන්ම බදු අභියාචනා කොමිෂන් සභාව ද මාස හයක් ඇතුළත සිය තීරණය ලබාදිය යුතු බවත් වෙනත් නීතිමය ගැටලුවක් පවතී නම් ඒ සඳහා අභියාචනාධිකරණයට අභියාචනා කළ හැකි ආකාරයට ඊට අදාළ පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ද ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.