jandj
දැනුම්දෙන තුරු Johnson and Johnson ළදරු පුයර ආනයනය නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බව රොයිටර් පුවත් සේවය  වාර්තා කරයි. මෙම වාරණය Johnson and Johnson ළදරු පුයර නිෂ්පාදනවල පිළිකා කාරක ඇස්බැස්ටෝස් අඩංගු නොවන බවට තහවුරු කරන තුරු බලපැවැත්වෙන බව සඳහන් වේ. ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ළදරු පුයර නිෂ්පාදිතවල පිළිකාකාරක ඇස්බැස්ටෝස් අඩංඟු බවට පසුගිය කාලයේ දී ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකින්ම වාර්තා විය.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක කමල් ජයසිංහ විසින් රොයිටර් පුවත් සේවය වෙත පවසා ඇත්තේ මෙම ආනයන අත්හිටුවීම පිළිබඳව අධිකාරිය විසින් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ළදරු පුයර මෙරට බලයලත් බෙදාහරින්නා වන ඒ. බවර් සහ සමාගම වෙත දැනුම් දී ඇති බවයි. එහි සඳහන් වන්නේ මෙම නිෂපාදිත මෙරටට ආනයනය සඳහා පිළිකාකාරක ඇස්බැස්ටෝස් අඩංගු නොවන බව තහවුරු කිරීමට තවදුරටත් පරීක්ෂණ කළ යුතු බවයි.
මේ අතර මෙම නිෂ්පාදිතය ආනයනය සඳහා ඒ. බවර් සහ සමාගම වෙත තිබුණු බලපත්‍රය පසුගිය දෙසැම්බර් මාසය අවසානයේ දී කල් ඉකුත් වී ඇති බව රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර සිටී.
මෙම තහනම පිළිබඳව ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ඉන්දියා සමාගම වෙත දන්වා ඇති බවත් නියාමන ගැටළුවලට අදාළ සියලු කරුණු ඉන්දියානු සමාගම විසින් සෘජුව මෙහෙයවනු ඇති බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ. බවර් සහ සමාගමේ පාරිභෝගික භාණ්ඩ අංශ ප්‍රධානී ශාලුත පෙරේරා විසින් රොයිටර් පුවත් සේවය වෙත පැවසූ බව මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.