ගං වතුරෙන් විපතට පත් අයට සමෘධි සහනාධාර

floods SL

පසුගිය දිනවල ඇතිවූ ගං වතුරෙන් හා නාය යාම් වලින් විපතට පත් ජනතාවගේ  නිවාස පිරිසිදු කර ගැනීම සඳහා අවශ්‍ය පිරිසිදු  කිරීමේ උපකරණ හා ද්‍රව්‍ය ඇතුළත් ආධාර පාර්සල් 50000ක් වහාම ලබා දීමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

සමාජ සවිබල ගැන්වීම්  සුබසාධන හා උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍ය එස්බී දිසානායක මහතාගේ උපදෙස් මත සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් නීල් බණ්ඩාර හපුහින්න මහතාගේ අධීක්ෂණය යටතේ මෙම ආධාර වැඩසටහන ක්‍රියාත්මක වන අතර කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත කොට්ඨාශයට ප්‍රමුඛත්වය ලබා දෙමින් ආධාර පාර්සල් 5000ක් අද (10) දෙපාර්තමේන්තුව සතු ලොරි රථ වලින් කළුතර දිස්ත්‍රික්කයට ප්‍රවාහනය කරන ලදි.

වෙළෙඳපොලේ රුපියල් 1250ක් පමන වටිනාකමකින් යුත් දත්බුරුසු, සබන් , බිම පිරිසිදු කිරීමේ බුරුසු, ලයිසෝල් , හාපික් වැනි  ද්‍රව්‍ය මෙම පාර්සලයට අඩංගු බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

ජනාධිපතිවරයා විසින්  ගංවතුරෙන් හා නායයාම් වලින් විපතට පත් අගලවත්ත ප්‍රදේශයේ ජනතාවට සහන සැලසීමේ කමිටුවේ ප්‍රධානියා ලෙස අමාත්‍ය එස්.බී දිසානායක මහතා පත්කරනු ලැබූ අතර පසුගියදා ඇමැතිවරයා අගලවත්ත, වලල්ලාවිට, පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල තත්වය සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකද නිරත විය.

එම ප්‍රදේශ වලට අමතරව දිවයිනේ සෙසු  ප්‍රදේශ වල විපතට පත් ජනතාව වෙනුවෙන්ද සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මෙම පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය පාර්සල් ලබා දෙන බව සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් නීල් බණ්ඩාර හපුහින්න මහතා පවසයි.