මහාධිකරණ විනිසුරුවන් සංඛ්‍යාව 85 දක්වා ඉහළට

supreme courts
මහාධිකරණ විනිශ්චකාරවරුන්ගේ සංඛ්‍යාව 85ක් දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ.
ඒ සඳහා අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීම සඳහා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව සඳහන් වෙයි.
මහාධිකරණ විනිශ්චකාරවරුන් 75 දෙනෙකු වර්තමානයේ අධිකරණ සේවයේ කටයුතු කරනු ලබයි.
මෙරට අධිකරණවල විසඳා අවසන් නොකළ නඩු විශාල ප්‍රමාණයක් ගොඩගැසී ඇති බැවින් කඩිනමින් එම නඩු අවසන් කිරීම සඳහා මහාධිකරණ විනිසුරුවරුන් ගේ සංඛ්‍යාව ඉහළ නැංවීමට තීරණය කර තිබේ.
පසුගිය මාර්තු මාසය වන විට සිවිල් අභියාචන මහාධිකරණවල නඩු 5749ක්ද, වාණිජ මහාධිකරණවල නඩු 5580ක්ද, අනෙකුත් මහාධිකරණවල නඩු 16,574ක්ද විභාග වෙමින් පැවති බව අධිකරණ අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.