යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට නම් 6ක් !

Sri_Lanka_Army_Logo

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් චන්න ගුණතිලක මහතා පසුගිය මාර්තු 1 වන දින විශ්‍රාම ගැනීම හේතුවෙන් පුරප්පාඩු වී තිබෙන එම ධුරය වෙනුවෙන් මේජර් ජෙනරාල්වරු 6 දෙනකුගේ නම් යෝජනා වී ඇත. මේ වන විට එම නම් 06 ආරක්ෂක ලේකම්වරයා වෙත යොමු කොට ඇති අතර සුදුසු අය පත් කිරීම ජනාධිපතිවරයා විසින් තීරණය කරනු ඇත.

සාමාන්‍යයෙන් මෙම තනතුර සඳහා හමුදාපතිවරයා විසින් යුද හමුදාවේ සිටින වඩා සුදුසුම නිලධාරියකු නම් කර යැවීම සම්ප්‍රදාය වූවත් මෙවර 6 දෙනකුගේ නාම යෝජනා  ලබා දීම හමුදාව තුළ වන බලපොරය පෙන්වන්නක් බව ආරක්ෂක අංශ විචාරකයෝ පෙන්වා දෙති. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර සාමාන්‍යයෙන් සැලකෙන්නේ මීළඟ හමුදාපති ධුරයට පත් වීමට ඉහළම සුදුසුකම් සැපිරීමක් ලෙසය. ඒ අනුව චන්න ගුණතිලක මහතාව නම් කරනු ලැබුවේ ද වත්මන් හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා විසිනි. එහෙත් ගුණතිලක මහතාට වයස අවුරුදු 55 සම්පූර්ණ වීම පසුගිය මාර්තු 01 වන දින සිදු වීම නිසා ඔහුට විශ්‍රාම ගැනීමට සිදු විය.

ඒ කෙසේ නමුත් මේ වන විට නම් කර තිබෙන මේජර් ජෙනරාල්වරු 6 දෙනා අතර වන බොනිපස් පෙරේරා මෙම වසරේ දෙසැම්බර් මාසයේ දී විශ්‍රාම ගැනීමටත් උපුල් විතානගේ මේ වසරේ ජුනි මාසයේදීත්, සුදන්ත රණසිංහ ලබන වසරේ ජනවාරි මාසයේදීත්, මහේෂ් සේනානායක මේ වසරේ අගෝස්තු මාසයේදීත්, ජනක වල්ගම මේ වසරේ මැයි මාසයේදීත්, උදය පෙරේරා ලබන අප්‍රේල් මාසයේදීත් වයස 55 සපුරා විශ්‍රාම ගැනීමට නියමිතය.

මේ අතර හමුදා ආරංචි මාර්ග පවසන්නේ මෙම මේජර් ජෙනරාල්වරු අතරින් තිදෙනකුට වංචා දූෂණ හා කාන්තාවන්ට අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවය. ඇතැමකු සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ චෝදනා විමර්ශනය කිරීම ද මේ වන විට සිදු වෙමින් තිබේ.

එසේම මෙම නිලධාරීන් අතුරෙන් දෙදෙනකු යුද්ධය හේතුවෙන් විශේෂ බඳවා ගැනීමේ ක්‍රමවේදයක් වන Short Service Commission ක්‍රමයට බඳවා ගත් අය නිසා ඔවුන්ට හමුදාපති තනතුර සඳහා සුදුසුකම් නොමැත. එසේම මෙම නිලධාරීන් දෙදෙනාවම ඊට අදාළ විභාගවල දී කිහිප වතාවක් අසමත් වී ඇති බව ද වාර්තා වේ.

මෙම ක්‍රමයට හමුදාවට ඇතුළත් වන අයට මෙරට දී මේජර් ජෙනරාල් තනතුර දක්වා උසස්වීම්  මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේ දී ලබා දී ඇති නමුත් බොහෝ රාජ්‍යයන්වල දෙවන ලුතිනන් තනතුරෙන් ඉහළ පත්වීම ලබා නොදේ.  හමුදාපතිවරයකු ලෙස පත්වීම ලබන්න කැඩෙට් නිලධාරියකු ලෙස හමුදාවට එක් වී නියමිත ලෙස ඉහළ තනතුරුවලට පත්වීම සිදු විය යුතුය. එසේම මේජර් ජෙනරාල් තනතුර ලබා ගැනීමේ දී දක්වා ඇති ජ්‍යෙෂ්ඨත්වය ද මෙහි දී සලකා බැලේ.

ඒ අනුව මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක 2009 ජූලි මාසයේ දී මේජර් ජෙනරාල් තනතුරට පත්ව ඇති ජ්‍යෙෂ්ඨතමයා වන අතර අනෙක් මේජර් ජෙනරාල්වරු ඊට වසර එකහමාරකට පසුව එම තනතුරුවලට පත්ව ඇත.